මරිය මෑණියන් වෙනුවෙන් නව මංගල්‍යයක් - "ශාන්ත සභාවේ මෑණියන් වන භාග්‍යවන්ත කන්‍ය මරිය වහන්සේ" - මංගල්‍ය පෙන්තකොස්ත දිනට පසුදා

Pope Francis establishes a universal feast day for Blessed Virgin Mary Mother of the Church


(2018 මාර්තු 03)
දේව මාතාව වන මරිය මව  වෙනුවෙන්  කැපවූ නව මංගල්‍යයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මාර්තු 3) ප්‍රකාශයට පත්කළේය.

"'ශාන්ත සභාවේ අම්මා වන භාග්‍යවන්ත කන්‍ය මරිය වහන්සේ' (Blessed Virgin Mary, Mother of the Church) වෙනුවෙන්  වූ මෙම මංගල්‍යය රෝමානු දින දර්ශනයට ඇතුළත් කරන ලෙස" අද නිකුත් කරන ලද නියෝග පත්‍රයක් මගින් එතුමා නියම කළේය. එම මංගල්‍යය සෑම වසරකම ශුද්ධාත්ම මංගල්‍ය දිනයට පසු දින සඳුදාට යෙදෙන අතර විශ්ව සභාවට අයත් සෑම දෙව්මැදුරකම එය පවත්වන ලෙසද එතුමා නියම කර තිබේ. සභාව තුළ දේවමාතාවන්ගේ වැදගත්කම සුදොතුම් පියතුමන් විසින් අවස්ථා රැසකදී අවධාරණය කර තිබිණි. මෙම මංගල්‍යය මගින් කතෝලිකයන් තුළ මුල් කාලයේ සිටම පවත්නා මරිය බැතිය ශක්තිමත් කිරීමට හැකිවන අතර සභාවේ මාතෘක භාවය අවධාරණය කිරීමට ද එය ඉවහල් වනු ඇති බවට එතුමා බලාපොරොත්තු පළකර ඇත. 

සුදොතුම් පියතුමා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා අනුමත කරන ලද මෙම නියමයට එතුමන් වෙනුවෙන් අත්සන් තබා තිබෙන්නේ දිව්‍ය වන්දනාව සහ දේව ප්‍රසාද නිධාන ශික්ෂණය පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි රොබට් සේරා කාදිනල් හිමියන් සහ එහි ලේකම් ආතර් රෝචේ අගරදගුරු හිමියන් විසිනි. 

මරිය මෑණියන් කෙරෙහි අද්‍යතන කතෝලික සභාව දක්වන ගෞරවය හා භක්ත්‍යාදරය තුළ එතුමිය "ක්‍රිස්තුන් වහන්සේ ගේ මෑණියන් සේ ම සභාවේ ද මෑණියන් වන්නේය" යන්න නොසලකා හැරිය  නොහැකි බව මෙම නියෝග පත්‍රයේ සඳහන් වේ. සභාවේ මුල් කාලයේ සිට මරිය මව සියලු විශ්වාසකයන් හෙවත් "ක්‍රිස්තුන්  වහන්සේගේ සාමාජිකයන් ගේ අම්මා" ලෙස ගෞරවාදරයට පත්ව තිබු ආකාරය මෙම ප්‍රකාශයේ සඳහන් කර  තිබේ. ශාන්ත අගුස්තීනු තුමන් හා ශාන්ත මහා ලියෝ පාප් වහන්සේ ගේ ලේඛන ඊට සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත. "හිසේ උපත වූ කලී ශරීරයේ ද උපතයි. මේ අනුව මරිය වහන්සේ එක විටම දේව පුත්‍රයා වන ක්‍රිස්තුන් වහන්සේ ගේ අම්මා ද අභිරහස්‍යමය ක්‍රිස්තු දේහය වන සභාවේ ද අම්මා" යයි ශා. මහා ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ. 

මෙවැනි සභා පියවරුන් ගේ ඉගැන්වීම් මත පදනම්ව භා. සවැනි පාවුළු සුදොතුම් පියතුමා දෙවන වතිකාන කතිකාවේ තෙවන සැසිවාරය අවසානයේ 1964 නොවැම්බර 21 වැනිදා භාග්‍යවන්ත කන්‍ය මරිය වහන්සේ "ශාන්ත සභාවේ මෑණියන්" ලෙස ප්‍රකාශයට පත්කළේය. එනම් "එතුමිය සිය දයාබර අම්මා යයි කියන සියලු  කිතුනු ජනතාව, එනම් සියලු විශ්වාසිකයන් හා පුදදුරු වරුන් ගේ මෑණියන්" බව යයි සවැනි පාවුළු පාප් තුමා එම ප්‍රකාශනයේ සඳහන් කළේය. 

ඉන් පසුව විවිධ රටවල කතෝලිකයන් මරිය මෑණියන්ට ශුද්ධවූ සභාවේ මෑණියන්  ලෙස ගෞරවය දක්වන ලද නමුදු එය විශ්ව සභාවේ පොදු පිළිවෙතට ඇතුලත්ව නොතිබූ බව දිව්‍ය වන්දනා පර්ෂදය පෙන්වා දෙයි. මෙම නව මංගල්‍යය ප්‍රකාශයට පත්කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

මෙම මංගල්‍යය සියලු දින දර්ශනවලට ද, රෝමානු මිසල් පොත ඇතුළු ජනවන්දනා පොත් වලට ද යාම යැදුම් වලට ද ඇතුලත් කරන ලෙස පර්ෂදය නියම කර තිබේ. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය