"ඔබ නිහඬ කිරීමට තැත් කලත්, මුළු ලෝකයම නිහඬව සිටියත්, මම ඔබෙන් මෙසේ අසමි: ඔබ හඬ නගනවාද?" සුදොතුම් පියතුමා ගොබ් ඉරිදා ලොව පුරා තරුණ තරුණියන්ගෙන් අසයි

"Cry out, even if others keep quiet!" Pope tells youth on Palm Sunday 



(2017 මාර්තු 27)
ජේසු සමිඳුන් ගේ ස්වාමීත්වය ප්‍රකාශ කරමින් සහ එතුමන් ගේ ආදර්ශය අනුව දුප්පතුන් සහ දුක් විඳින්නන් වෙත ලඟා වෙමින් නොබියව "හෝසන්නා" හඬ නගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා තරුණ ජනතාව දිරිමත් කරයි. එසේම "වෙනත් අය ඔබ නිහඬ කිරීමට තැත් කලත්, කොන් කිරීමට තැත් කලත්, එයින් යටපත් නොවී  ඔබ තුළ ඇති දේ ප්‍රකාශ කරන්න; නිහඬ නොවී සිටීම ඔබ අතේයි" එතුමා කියා සිටියි.

ජේසු සමිඳුන් ජෙරුසලෙමට ඇතුළුවන විට එතුමනට "හෝසන්නා" යයි ජය ඝෝෂා කල ජනයා අතර විවිධාකාරයෙන් සමිඳුන් විසින් ස්පර්ශ කරන ලද පිරිස් සිටි බව සුදොතුම් පියතුමා කීවේය. ජේසු සමිඳුන් තමන්ගේ ජීවිත වල ප්‍රීතියේ උල්පත වූ පිරිස්ද, උන්වහන්සේ විසින් සුව සහනය සහ පව් සමාව ලද පිරිස්ද, සමාජයෙන් කොන් වී සිටියදී උන්වහන්සේ විසින් උණුසුමින් පිළිගන්නා ලද පිරිස්ද ඒ අතර වූහ. එහෙත් මෙයින් කෝපයට පත් පිරිසක් ද වූහ. ඔවුන් කලේ උන්වහන්සේ ගේ අනුගාමිකයන් නිහඬ කිරීමට උත්සාහ කිරීමයි. එසේම අදත් ජේසු සමිඳුන්  නොකඩවා අනුගමනය කරන යෞවනයන් නිහඬ  කිරීමට උත්සාහ කරන ජනතාවක් සිටින බව එතුමා පෙන්වා දුන්නේය. "මන්ද ප්‍රීතියෙන් සිටින යෞවනයන් පාලනය කිරීම අපහසු නිසා" යැයි එතුමා කීවේය.

දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් රැසකගේ ද සහභාගීත්වයෙන්  මාර්තු 25 වැනිදා පැවැති ගොබ් ඉරිදා දිව්‍ය පූජාවේ ධර්මදේශනය කරමින් එතුමා මේ බව කියා සිටියේය. ගොබ් ආශීර්වාදයට පෙර කියවන ලද මාක් සුබ අස්නේ ජේසු සමිඳුන් ජයග්‍රාහීව ජෙරුසලෙමට වැඩම කිරීමේ අවස්ථාව  සහ ඉන් පසුව කියවන ලද ශු  මාක් තුමන්ට අනුව ජේසු සමිඳුන් ගේ දුක්ප්‍රාප්තිය මෙදින එතුමාගේ ධර්මදේශනයට  පාදක වී තිබිණි.

මෙවර ගොබ් ඉරිදාව තවත් අතකින් වැදගත් කමක් ගත්තේය. එනම් තරුණයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවට සුදානම් වීමක් වශයෙන් පැවැති පූර්ව-සයිනෝඩිය  තරුණ සම්මන්ත්‍රණය නිමා වීමයි. මාර්තු 19-24 අතර පවතී මෙම සමුළුවේදී ගන්නා ලද නිගමන ඇතුලත් ලේඛනය තරුණ නියෝජිතයන් විසින් දිව්‍ය පූජාවට පසුව සුදොතුම් පියතුමාට පිළිගන්වනු ලැබිණි.

මෙය සැලකිල්ලට ගනිමින් සුදොතුම් පියතුමා සිය ධර්මදේශනයේදී ලොව පුරා සිටින තරුණ තරුණියන්ද ඍජුවම ඇමතුවේය.

පරිසිවරුන් ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන්ට පරිභව කොට  නිහඬ කිරීමට උත්සාහ ගත්තා  සේ තරුණයන් නිහඬ කොට ඔවුන් ඉවත් කිරීමට ඇතැමකු උත්සාහ දරන බව එතුමා පෙන්වා දුන්නේය.

"තරුණ තරුණියන් නිහඬ කොට ඔවුන් අදෘශ්‍යමාන කිරීමට මාර්ග කිහිපයක් තිබේ. ඔවුන් නිර්වින්දනය කිරීමට, ඔවුන් නිශ්ශබ්ද කිරීමට, කිසිවක් ගැන ප්‍රශ්න කිරීම වැලක්වීමට මාර්ග රැසක් තිබේ. ඔවුන් සම්බන්ධ වීම වැලැක්වීමට, ඔවුන්ගේ සිහින සමතලා කිරීමට මාර්ග ගණනාවක් ඇත."

"එහෙත් ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් ගැන කීවේ 'මොවුන් හඬ නොනැගුවොත් ගල් පර්වත කතා කරනු ඇති' බවයි. එබැවින් නිහඬ වී සිටීමට ඇති පීඩනයට ඉඩ නොදෙන්න. මන්ද හඬ නැගීම ඔබ තුළ පවතින නිසාය."

"හඬ නොගනා නොසිටීම ඔබට බාරය. වෙනත් අය නිහඬව සිටියත්, අප වැනි වයසක අයත් නායකයිනුත් ඔබ නිහඬ කිරීමට තැත් කලත්, මුළු ලෝකයම නිහඬව සිට සිය ප්‍රීතිය නැති කර ගත්තත්, මම ඔබෙන් මෙසේ අසමි: ඔබ හඬ නගනවාද?" යි එතුමා තරුණයන්ගෙන් ප්‍රශ්න කළේය.

ව්‍යාජ ප්‍රවෘත්ති'වලට සුපුවතේ ආනන්දය මැඩපැවැත්විය නොහැකියි 

'ව්‍යාජ ප්‍රවෘත්ති'වල ප්‍රථම ගොදුර බවට පත්වූයේ  ජේසු සමිඳුන් සියල්ලනට පොදුවේ කතා කරමින්  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. ජේසු සමිඳුන්   පිලිබඳ 'ව්‍යාජ පුවත්' පතුරවන ලද්දේ තමන්ගේම ලාබ ප්‍රයෝජනය වෙනුවෙන් පණිවිඩය විකෘති කිරීමට අවශ්‍ය වූ පිරිස් විසිනි. එහෙත් "ඇතැම් කොටස්වල අහංකාරය සහ සැකය මධ්‍යයේ වුවද ජේසු සමිඳුන් ගේ උත්ථානයෙන් කුඨප්‍රාප්ත වූ සුපුවතේ ආනන්දය යටපත් කල නොහැකි" යැයි එතුමා කියා සිටියේය.

"ජේසු සමිඳුන් ජෙරුසලෙමට අතුලුවීමේ සිද්ධි මාලාව එකිනෙකට වෙනස් ඇතැම් විට එකිනෙකට ප්‍රතිවිරුද්ධ මනෝභාවයන් ජනිත කරයි. ප්‍රේමය සහ වෛරය, තමන් ත්‍යාජ  කිරීම සහ උදාසීනත්වය, ජේසු සමිඳුන් පිළිගන්නා ජනයා ගේ ප්‍රීතිය සහ උන්වහන්සේ කුරුසියේ ඇණගැසීමට අවශ්‍යව  තිබූ පිරිසේ  වෛරය එම භාවයන්"  බව එතුමා කීවේය.

මෙම එකිනෙකට පරස්පර මනෝභාවයන් සහිත ජනතාව කවුරුන්දැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය:
"මෙම සුපුවතේ එන ප්‍රීතිය සහ ආදරය ප්‍රකාශ කළ ජනතාව අපට සිහිපත් කරන්නේ සමාජයේ කෙළවරවල, අයින්වල  ජීවත් වන ජනතාවයි. සමාජය විසින් අමතක කරන ලද, නොසලකා හරින ලද ජනතාවයි. එහෙත්, එසේම මේ පිරිස කිසියම් ආකාරයකින් දෙවියන් වහන්සේ විසින් ස්පර්ශ කරන ලද, සුවපත් කරන ලද සහ සමාව දෙන ලද ජනතාවයි."
"ඊට ප්‍රතිවිරුද්ධව, තමන් නීතියට සහ අණපනත්වලට විශ්වාස පක්ෂ බව සිතා සිටින පිරිස්වලට මෙම ප්‍රීතිය සහ ආනන්දය පෙනෙන්නේ අපචාරයේ උල්පතක් ලෙසය. එසේම දුක, වේදනාව සහ දුක්ඛිතබව ඉදිරියේ දැඩි හදවත් ඇතිව සිටින පුද්ගලයනට එම ආනන්දය දරාගත නොහැකිය."
"සුඛ විහරණ විඳින සහ තමන් යහපත් හා ධර්මිෂ්ට යැයි සිතා සිටින  පුද්ගලයනට  දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ ප්‍රීතිය තේරුම් ගැනීම කෙතරම් දුෂ්කරද! තමා පිළිබඳව පමණක් විශ්වාස කරමින් සෙසු ජනයා පහත් කොට සලකන තැනැත්තන්ට මේ ප්‍රීතිය බෙදා ගැනීම කෙතරම් දුෂ්කරද!" යි සුදොතුම් පියතුමා කියා සිටියේය.

"'ඔහු කුරුසියේ ඇණගසනු' යැයි කෑගසන තැනැත්තන් ගේ ඝෝෂාව වූ කලී හෙලා දැකීම්, නින්දා, අපවාද සහ ව්‍යාජ සාක්ෂි දැරීම්වල හඬ ශබ්දය ය. එය අනෙක් තැනැත්තාගේ හොඳ නම ගැන නොසිතා ස්වකීය ලාබ ප්‍රයෝජනය වෙනුවෙන් සත්‍යය විකෘති කොට කතන්දර ගොතන පුද්ගලයන් ගේ හඬය. මෙවැනි ආකල්ප සහිත තැනැත්තන්ට සත්‍යය විකෘති කල හැකිය. ජේසු සමිඳුන් අපරාධකාරයකු ලෙස පෙන්වා දිය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ  බලාපොරොත්තු කඩා බිඳ දමනු ලැබීමයි; සිහින විනාශ කරනු ලැබීමයි; ප්‍රීතිය යටපත් කරනු ලැබීමයි; හදවත වසා දමා දයාව උදාසීන කරනු ලැබීමයි."

"එහෙත්, මෙවන් ආකල්ප ඇති තැනැත්තන් මුණ ගැසුණු විට කළ යුත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය දෙස බලා උන්වහන්සේ ගේ අවසන් මොරගෑමට අපට අභියෝග කිරීමට ඉඩ හැරීමයි. කුරුසිය දෙස බැලීම යනු කෙනෙකු තමාගේ ක්‍රියාකාරකම් සහ තෝරාගැනීම් දෙස බලා ඒවා ගැන ප්‍රශ්න කොට ඒවාට අභියෝග කිරීමයි. අපගේ හදවත යොමු වී තිබෙන්නේ කොතැනටද?  ක්‍රිස්තුන් වහන්සේ අඛණ්ඩවම අපගේ හදවතේ ආනන්දයේ සහ ප්‍රශංසාවේ උල්පතද? නැතහොත් පව්කාරයන්, අල්පවූවන් සහ අමතක කරන ලද්දන් දෙස ලජ්ජාවෙන් බැලීමට අපගේ හදවතේ ප්‍රමුඛතා විසින් අප පොළඹවනු ලබනවාද?" යි එතුමා ප්‍රශ්න කළේය.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය