"ජීවිතය, ආදරය සහ කැඳවීම ගැන දැඩි ප්‍රශ්න අසන්න; අමු සත්‍යය ප්‍රකාශ කරන්න" - සුදොතුම් පියතුමා තරුණ තරුණියන්ට කියයි

"Do not be scared to ask tough questions and to say the raw truth": Pope tells the youth 

සුදොතුම් පියතුමා යොවුන් සම්මන්ත්‍රණයේදී යෞවනයනට සවන් දෙමින් 

(2018 මාර්තු 21)
කිසිවකින් පසු නොබා ජීවිතය, ආදරය සහ කැඳවීම ගැන සිනොඩ් සමුළුවෙන්  "අමු" සහ ඍජු ප්‍රශ්න ඇසීමට බිය නොවන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය පුරා තරුණ තරුණියන් දිරිමත් කරයි.

"ඔබගේ ප්‍රශ්න නිර්වින්දනය නොකර ඒවාට පිටතට පැමිණීමට ඉඩ දෙන්න. ඇතැම් විට අපගේ බලවත් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී කිසියම් ආකාරයකින් ස්වරය බාල කර ඇසීමට හෝ විනීත අන්දමට ඇසීමට හෝ අප පෙළඹෙන්නට පුළුවන්. එහෙත්, නිර්භීත වන්න; දිරිමත් වන්න. ඔබ දකින අමු සත්‍යය ප්‍රකාශ කරන්න. දැඩි ප්‍රශ්න අසන්න" යි එතුමා කීවේය.

එතුමා මේ බව කියා සිටියේ ඉකුත් 19 වනදා සඳුදා සිට රෝමයේ දී මුලුදුන්  යෞවනයන් පිලිබඳ පූර්ව-සිනොඩ් සම්මන්ත්‍රණයට රැස්ව සිටි තරුණ තරුණියන් අමතමිනි. 19 වනදා සිට 24 වනදා දක්වා පැවැති මෙම සමුළුවට ලොව පුරා විවිධ රටවලින් පැමිණි 300කට අධික යොවුන් පිරිසක් එක්ව සිටියහ. ඊට අමතරව පුදදුරුවරුන්, දෙව්සත්හල් සිසුන් සහ පැවිදි නියෝජිතයෝද ඊට සහභාගී වූහ.

මෙම සම්මන්ත්‍රණය පවත්වන ලද්දේ ඔක්තෝබර මාසයේ පැවැත්වෙන යොවුන් ජනතාව පිලිබඳ රදගුරු සිනොඩ් සමුළුවට පූර්ව සුදානමක් ලෙසය. මෙම සිනොඩ් සමුළුව තරුණයන් "පිළිබඳව" කතා කරන සමුළුවක් නොව "තරුණයන් සමග" කතා කරන සමුළුවක් විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කර තිබිණි. මේ අරමුණින් පසුගිය වසර මැද  භාගයේ  අන්තර්ජාලය ඔස්සේ යොවුන් සමීක්ෂණයක් කරන ලදී. රදගුරු සිනොඩ් සමුළුවේ න්‍යාය පත්‍රය සකස් කෙරෙන්නේ එම සමීක්ෂණය සහ මේ සතියේ පැවැත්වුණු සම්මන්ත්‍රණයේදී තරුණ තරුනීයන් දක්වන අදහස් පාදක  කරගනිමිනි. සිනොඩ් සමුළුවේ තේමාව "යොවුන් ජනතාව, විශ්වාසය සහ කැඳවීම" යන්නයි.

ඊට සූදානම් වීම සඳහා මේ සතියේ පැවැත්වුණු සම්මන්ත්‍රණ ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුලදී කෙටි දෙසුක කළේය. ඉන් පසුව එතුමා සුපුරුදු පරිදි තරුණ නියෝජිතයන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

තරුණයනට කතා කරන්න ඉඩ දෙන්න 

 ප්‍රංශ ජාතික ප්‍රසාද ස්නාපනය නොලැබූ තරුණයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ තරුණයනට සිය අදහස් සියල්ල "නිදහසේ ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා දහම් සේවා නායකයන් බිය නොවිය යුතු" බවයි.

"එසේම ඔවුන් සිතන දේ , ඔවුන්ට හැඟෙන දේ ප්‍රකාශ කිරීමට ඉඩ දීමටත්, ඔවුන් නගන ඍජු, අවංක ප්‍රශ්නවලට සවන් දීමටත් දහම් සේවා බලධාරීන් බිය නොවිය යුතුයි. ඔවුන්  අතින් වැරැදි වීම වැලැක්වීම සඳහා ඔවුන් කැටුව යා යුතුයි.

එසේම තම අත්දැකීම් සහ තම ප්‍රශ්න ගැන කතා කිරීම සඳහා "ප්‍රඥාවන්ත" තැනැත්තෙකු සොයා ගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තරුණ තරුණියනට උපදෙස් දුන්නේය.
""ඔබට සෑම දෙයක්ම සෑම කෙනෙකුටම කිව නොහැකියි. මේ නිසා ප්‍රඥාවන්ත, නිර්භීත, සවන් දීමට දන්න සහ ඔබගේ ප්‍රශ්න නිරවුල් කිරීමට හැකි කෙනෙකු සොයා ගන්න. ඔබ තුළ ඇති සියල්ල ඔබ විවෘතව කිව  කල යුතුයි. විවෘත විය යුතුයි.ඔබගේ හැඟීම් ආවරණය නොකළ යුතුයි..." යැයි එතුමා කියා සිටියේය.

තරුණයන්ව බැරෑරුම්ව පිළිගන්න  

සම්මන්ත්‍රණය ආරම්භ කරමින් කතා කළ සුදොතුම් පියතුමා "මෙම සිනොඩ් සමුළුවට ඔබගේ දායකත්වය අත්‍යවශ්‍යයි" යැයි කියා සිටියේය.

"බොහෝ විට සිදුවන්නේ යොවුන් ජනතාව 'ගැන' කතා කිරීමයි. යොවුන් ජනතාවට කතා කෙරෙන්නේ නැහැ. ...මේ නිසා ඔවුන්ගේ අදහස් සහ අභිලාෂයන් බෙදාගත හැකි අන්දමින් 'මුහුණට මූහුණ' හමුවීම සිදුවීම වැදගත්" යි එතුමා කීවේය.

"පණිවිඩ හුවමාරු කරගැනීම හෝ ලස්සන  පින්තුර ගැනීම ප්‍රමාණවත්  වන්නේ නැහැ. තරුණයන් බැරෑරුම්ව පිළිගත යුතුයි. බොහෝ විට තරුණයනට හුදෙකලා වීමට ඉඩ හරිනවා. එහෙත් සභාව එසේ නොකළ යුතුයි" සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය