ප්‍රැන්සිස් (අසීසි) නම ගත් ජේසු නිකායික සුදොතුම් පියතුමන් ගේ සන් ජුසේ සම්බන්ධය

St. Joseph Connection of the Jesuit Pope with a Franciscan Name

 සැතපෙන ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාව (Rome Reports වෙතිනි)

(2018 මාර්තු 19)
අද මාර්තු 19 වනදා කතෝලික සභාව, ශුද්ධවූ සභාවේ ආරක්ෂකයාණන් සහ ශුද්ධවූ පවුලේ ආරක්ෂකයාණන් වන ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යය සමරයි. ශු. ජුසේ මුනිඳුන් වෙත කැපවූ ඓතිහාසික සුවිසල් දෙව්මැදුරක් සමග 'සන් ජුසේ' මුනිඳුනට මහත් බැතියක් සහිත පමුණුගම ජනතාව එතුමන් ගේ මෙම විරුදය හඳුන්වන්නේ "සර්ව සභාව රක්ෂාධිකාර අපගේ පියාණෝ වන ශුද්ධවූ ජුසේ මුනින්ද්‍රයා" යනුවෙනි. (ජා-ඇල සිට මීගමුව දක්වා වෙරළ තීරය ඔස්සේ දිවෙන පිටිපන පාරේ යන විට පමුණුගම හමුවේ.)

එහෙත් මේ සැරසෙන්නේ ජුසේ මුනිඳුන් ගැන කියන්නට නොවේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුළ ඇති ජුසේ මුනි බැතිය  ගැන කියන්නටය. එතුමන් හා ජුසේ මුනිඳුන් අතර ඇති බොහෝ දෙනෙකු නොදන්නා සම්බන්ධය ගැන කියන්නට ය.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පස්  වසරක  දූත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් රිජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. ඉන් පළමුවැන්න  උන්වහන්සේ ප්‍රථම ජේසු නිකායික පාප් වහන්සේය යන්න යි. දෙවැන්න   එතුමා  දුප්පතුන් හා දුප්පත්කම  කේන්ද්‍ර කොටගත් සාන්ත ප්‍රන්සිස් අසීසි තුමන් ගේ නම හා දුත මෙහෙවර සිය ආදර්ශය  කරගෙන ඇත යන්නයි.

එහෙත් මෙම විශ්ලේෂකයන් ගේ අවධානය යොමු නොවූ ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සේවය හා බැඳුනු තවත් සාධකයක් තිබේ. එනම්  ජේසු ගේ සුරැකි පියා වන ශුද්ධ වූ ජුසේ මුනීන්ද්‍රයා යි.

2013 මාර්තු 13 වන දා රෝමයේ රදගුරුතුමන් (පාප් වහන්සේ ගේ නිල තනතුරු නාමය) ලෙස තේරී පත් වූ හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ  කාදිනල් තුමන් ගේ පාප් ධුරයේ පදවි ප්‍රාප්තිය සිදුවුයේ මාර්තු 19 වන දා  යි. එනම් ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේ යි. එතුමන් මේ දිනය සිය පදවිප්‍රාප්තිය සඳහා තෝරා ගත්තේ සිතා මතාම ය. එය එදින දිව්‍ය පුජාවේ දී එතුමන් කළ ධර්ම දේශනයෙන් මනාව පැහැදිලි වේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ශු. ජුසේ මුනිඳුන්ට විශේෂ ආදර භක්තියක් ඇති බව එතුමන් ගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් තහවූරු වී තිබේ. පාප්ධුරයට පත් අලුතම  ජුසේ මුනිඳුන් ගේ නම දිව්‍ය  පුජාවේ යාගික ස්තෝත්‍ර යැදුමේ (Eucharistic Prayer) දේව මාතා වහන්සේ ගේ නම කියැවෙන ස්ථානයට පසුව යොදන ලෙස එතුමා  උපදෙස් දුන්නේ ය.

"අපේ ගැටළු ගැන සිහින දකින" සන් ජුසේ මුනිඳා 

ජුසේ තුමන් තම ජීවිතයට ඇති එක් සමීප  සම්බන්ධයක් ගැන  සුදොතුම් පියතුමා පිලිපීනයට ගිය අවස්ථාවේ මෙසේ විස්තර කළේය. "මගේ කාමරයේ ජුසේ මුනිඳුන් නිදා සිටින ප්‍රතිමාවක් තිබෙනවා. මට ප්‍රශ්නයක් ගැටළුවක් ආවම මම ඒවා කොලයක  ලියල කොලේ නමල ජුසේ මුනිඳුන් ගේ ඒ සුරුවම යටින්  තබනවා, උන්වහන්සේට මා වෙනුවෙන් ඒ ගැන සිහින දකින්නට."

"මගේ කාමරයේ ජුසේ මුනිඳුන් නිදා සිටින ප්‍රතිමාවක් තිබෙනවා"

මෙය සත්‍යයක් බව සුදොතුම් පියතුමා ගේ කාමරයේ  දී එතුමා සම්මුඛ සමග සාකච්ඡාවක්  කල ජේසු නිකායික "ඇමෙරිකා" සඟරාවේ කතුවර පියතුමා පසු කලෙක හෙළි කළේය.  තමා  එතුමන් ගේ කාමරයට ගිය අවස්ථාවේ එහි තිබෙන මෙම ප්‍රතිමාව දුටු බව කතුවර ස්පැඩේරෝ පියතුමා  සිය ලිපියේ සටහන් කළේය. එම ප්‍රතිමාව යට ඇති "ලියුම් තොගය" සුදොතුම් පියතුමා එතුමාට පෙන්නුවේය.  "බලන්න. ජුසේ මුනිඳුන් දැන් ලියුම් මෙට්ටයක් මත නිදා සිටිනවා..." යි සුදොතුම් පියතුමා සිනහසෙමින් කීවේය.

සන් ජුසේ මුනි එඬේරික භූමිකාව  

එහෙත්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ජුසේ මුනිඳුන්ගෙන් ලබන අධ්‍යාපනය සහ ආලෝකය ඊට වඩා ගැඹුරු බව දක්නට ලැබේ. සිය පදවි ප්‍රාප්ති දිව්‍ය පුජාවේ  දේශනයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය තේමාව කරගත්තේ ජේසුගේ සුරැකි පියා ද ශුද්ධ වූ පවුලේ ප්‍රධානියා ද වූ ජුසේ තුමන් ගේ ජීවිතයේ බැලු බැල්මට  නොපෙනෙන, කවුරුත් කතා නොකරන, "එඬේරික ජීවිතයයි". පාප්වහන්සේ සිය එඬේරික දහම් සේවාවේ මාර්ග සැලැස්ම ලෙස යොදාගෙන ඇත්තේ ද සිය දැක්ම කොට ගෙන ඇත්තේ ද ජුසේ මුනි 'එඬේරික' භූමිකාව බව පැහැදිලි වේ. ජුසේ මුනිඳුන් ගේ ජීවිතය ආදර්ශ කොට ගනිමින් සිය දහම් සේවා දැක්ම (vision of his ministry) සුදොතුම් පියතුමා  එම දේශනයේ දී  විස්තර කළේය.

පාප්තුමන් ලෙස තමන් ගේ ද සභාවේ සියලු එඬේරුන් ගේ ද භූමිකාව විය  යුත්තේ කුමක්දැයි ජුසේ මුනි ජීවිතය ගෙන හැර දක්වමින් සුදොතුම් පියතුමා එහිදී පහදා දුන්නේ ය. " සැබෑ බලය යනු සේවය බව අප අමතක නොකළ යුතුයැ " යි එතුමා කීවේය. එය තම ධුරයට ද ආදර්ශයක් බව එතුමා කීවේය: "පාප් වහන්සේ ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ ජීවිත ලක්ෂණය වූ නිහතමානී, ප්‍රායෝගික සහ විශ්වාසවන්ත සේවාවෙන් ආලෝකය ලැබිය යුතුයි. ජුසේ මුනිඳුන් මෙන් පාප්වහන්සේ සිය දෑත් දිගහැර දෙවිඳුන් ගේ සියලු ජනතාව ආරක්ෂා කල යුතුයි; සමස්ත මානව වර්ගයත් - විශේෂයෙන් දුප්පත් ම, දුර්වලම සහ වැදගත්කමින් අඩුම අයත්   - මෘදු වූ සෙනෙහසින් වැළඳ ගත යුතුයි. "
"ජනතාව ආරක්ෂා කල හැක්කේ ප්‍රේමයෙන් සේවය කරන්නන්ට පමණකැයි " එතුමා අවධාරණය කළේය.

සිය පදවි ප්‍රාප්තිය අවස්ථාවේ සිත්තම් කල මෙම "ජෝසේපු සිත්තම" නොහොත් ශු. ජුසේ මුනි දැක්ම හුදෙක් සිත්තමක් නොව සැබෑවක්ම බව ගත වූ පස්  වසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තහවුරු කර තිබේ. සිය ප්‍රථම විශ්ව  ලේඛනය එතුමන් වෙන් කළේ ලෝක ප්‍රසාදයට පත් නුතන විවෘත වෙළෙඳ පොල ආර්ථිකය විසින් ඇතිකර තිබෙන සමාජ ආර්ථික අසාධාරනය ගැන පෙන්වා දෙන්නටය. දුපතුන් සහ මේ ආර්ථික ක්‍රමයෙන් හැලී යන්නන් ආරක්ෂා කර ගැනීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරන්නටය. එපමණක් නොවේ. එතුමා  දයාබර තාත්තා කෙනකු මෙන් දෑත් දිගුකර සියල්ලන් - විශේෂයෙන් දුප්පතුන්, කොන්වුවන්, අබාධිත නොහොත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්  වැළඳ ගනියි .ඔවුන්ට සවන් දෙයි. උපදෙස් දෙයි. ඔවුන් සනසයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  "දේව ජනතාව" යන පදයට  ඇතුළත් වන්නේ කතෝලික ජනතාව පමණක් නොවේ. කතෝලික නොවන කිතුනුවන් ද  රෝමානු  කතෝලිකයන් නොවන සියලු කතෝලිකයන් ද ඊට ඇතුලත්ය. "කිතුනුවන් අතර ඇති භේද දරුණු අපචාරයක්! දරුණු අපචාරයක්!" එතුමා  කිහිප වතාවක් කීවේය.

ගත වූ  පස්  වසර තුළ සභා අතර සංවාදය නැවුම් මුහුණුවරක් හා වඩා උණුසුම් තත්වයකට පත්ව තිබේ.  කතෝලික සභාව සහ පුනරුද සමයේ කතෝලික සභාවෙන් දැවැන්ත බෙදීමක් සනිටුහන් කල ලුතෙරාන සභාව අතර මේ වන විට බෙහෙවින් සමීප සම්බන්ධතාවක් ඇති වී තිබේ. 2017 දී ස්වීඩනයේ පැවති ලුතෙරාන සභා ජුබිලියට සහභාගී වීමට සුදොතුම් පියතුමන්ට ඇරියුම් කර තිබිණ. ඊජිප්තුවට ගිය සුදොතුම් පියතුමා හා කොප්ටික් සභාවේ තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා අතර නව සම්මුතියක් ද අත්සන් කෙරින.එම වසරේ කිතු දන පුබුදුවේ මෙහෙයවීමෙන් වතිකානයේ දී  පැවැත්වුණු ශුද්ධාත්ම රැළියට ඉවැන්ජලිකල් සහ පෙන්තකොස්ත සභා නායකයන් හා නියෝජිතයෝ ද සහභාගී වූහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 'දේව ජනතාව' යන වචනයෙන් අදහස් කරන සීමාව ඊටත්  වඩා ඔබ්බට යයි. ජේසු සමිඳුන් ගේ ගැලවීම සියල්ලන්ට විවෘත යැයි එතුමා කිහිප වතාවක් කීවේය.වෙනෙකක් තබා අදේවවාදීනටත් ගැලවීමේ දොරටුව විවෘත බව උන්වහන්සේ අවධාරණය කළහ.  තම හර්ද සාක්ෂියට අනුව කටයුතු කරන්නේ නම් ඔහු දෙවිඳුන්ට අවනත වන පුද්ලයකු බව අදේවවාදී පත්‍ර කලාවේදියකු සමග පැවති  සාකච්ඡාවකදී එතුමා  පෙන්වා දුන්නේය. මේ වන විට ඇතැම් කතෝලික ශීල ධර්ම පණ්ඩිතයන් අතර දැඩි විවේචනයට ලක්ව තිබෙන "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික හසුනද අර්බුදයට ලක්ව ඇති නුතන පවුල් සංස්ථාවේ "නැති වූ,අතරමං  වූ,පලා ගිය, සහ රෝගී වූ   බැටළුවන්" යලි රළට හෙවත්  සභාවේ සෙවනට ගෙන ඒමට සුදොතුම් පියතුමන්  දරන උත්සාහයේ ප්‍රතිඵලයක් සේ හඳුන්වා දිය හැකිය. මේ සියල්ල "පියකු ලෙස දෑත් දිගහැර සියල්ලන් වැළඳ ගන්නට" එතුමන්  සුදානම් ව සිටින ආකාරය පිළිබිඹු කරයි.

ඒ, ශු. ජුසේ මුනිඳුන් ගේ  සේවා භූමිකාව   ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙතෙක් ඉටුකර  ඇති ආකාරයයි. ඉදිරියේ දී , දේව කැමැත්ත අනුව, කුමක් බලාපොරොත්තු විය හැකි ද?

 මිහිතලයේ ආරක්ෂාව 

ආරක්ෂකයා හෝ සංරක්‍ෂකයා ලෙස ශු. ජුසේ මුනිඳුන්ගේ භූමිකාව හුදෙක් කිතුනු භූමිකාවක් නොවන බව 2013 මාර්තු 19 දා පැවැත්වුණු සිය පදවි ප්‍රාප්ති ධර්ම දේශනාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. " ක්‍රිස්තු ආගමනයට පෙර සිට පැවැති මානව පදනමක් ඊට තබේ.මෙය මැවිල්ල,  මැවිල්ලේ සුන්දරත්වය, සංරක්ෂණය කිරීමයි. උත්පත්ති පොත අපට කියා දෙන ආකාරයට සහ අසීසියේ ප්‍රැන්සිස් තුමන් ජීවත් වූ ආකාරයට අප ජීවත් වන පරිසරය ඇතුළු සෑම දේව මැවිල්ලකටම අප ගෞරව කල යුතුයි."අවසානයේ දී සියල්ල භාර වන්නේ මානව වර්ගයා ගේ ආරක්ෂාව  යටතටයි. එය මානවයන් ලෙස අපගේ වගකීමයි. අපි දෙවියන් වහන්සේ ගේ ත්‍යාග වල ආරක්ෂකයන් වෙමු" යි අදා සාන්ත පීතර චතුරශ්‍රයට  රැස්ව සිටි 200,000 ක් පමණ වූ බැතිමතුන් සහ 131ක් වූ රාජ්‍ය නියෝජිතයන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  එදා කියා සිටියේය.

එදා පරිසරය සම්බන්ධයෙන් තමන් කල මෙම ඉඟිය වසර තුනක් ගත වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉටු කළේය. ඒ, "වේ ප්‍රශංසා" නමැති පරිසර  විශ්ව ලේඛනය එලි දැක්වීමෙනි. එය අතිශයින් අභියෝගාත්මක ලේඛනයක් බවට පත්විය. දෙවි සමිඳාණන් සියල්ල මවා එය ආරක්ෂා කිරීම භාර කලේ මානව සංහතියට  බැවින් මේ වන විට "කසල ගොඩක්" බවට පත්වෙමින් ඇති මිහිතලය විනාශයෙන් ගලවාගෙන ආරක්ෂා කිරීම මෙම පරපුර මත ඇති වගකීමක් බව එම විශ්ව ලේඛනයෙන්  සුදොතුම් පියතුමා මනාව පැහැදිලි කරයි.

 ශු. ජුසේ මුනිඳුන් ගේ "හඳුනා නොගත් එඬේරික භූමිකාව" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දකින්නේ එසේය. සභා නායකත්වයද ජුසේ මුනිඳුන් සේ පිය සෙනෙහසින් හා එඬේරික මෙහෙවරින් සිය ජනතාවට මග පෙන්විය යුතුය යන්න එතුමා පෙන්වා දෙයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය