"දෙවි පියාණන්ට 'තාත්තේ' කියා කතා කරන්න බියවෙන්න එපා": අලුත්ම පොත, 'අපගේ පියාණනි' කෘතියේ සුදොතුම් පියතුමා කියයි

"we must humble ourselves into saying ‘Daddy’"- Pope Francis says in the new book "Our Father" 


(2018 මාර්තු 16)
"පරමණ්ඩල" යාච්ඥාව කියන විට අප දෙවිපියාණන්ට  'ඔබ වහන්සේ' යැයි ඇමතීම කෙතරම් නිවැරදිද? අප අපේ තාත්තාට 'ඔබ වහන්සේ' යැයි කතා කරනවා ද? එසේ කළහොත් අප සහ තාත්තා අතර ඇතිවන දූරස්ථ භාවය කෙතරම් ද? ඒ වෙනුවට  ජේසු සමිඳුන් ම අපට දුන් මෙම සොඳුරු යැදුමේ හරය වටහාගෙන ජේසු සමිඳුන් තුළ අපට ඉතා සමීප වූ මෙම  කරුණාබර පියාණන් ඊට වඩා සමීපව අමතමුද?

මෙම සිතිවිලි සිත තුළ ජනිතවන්නේ මේ මාසයේ දොරට වැඩිය 'පරමණ්ඩල යැදුම' පිලිබඳ අලුත්ම  පොත කියවන විටය.“Our Father: Reflections on the Lord’s Prayer” (අපගේ පියාණනි: සමිඳුන් ගේ යැදුම පිලිබඳ භාවනා) මෙම අලුත් පොතයි.   "ස්වර්ගයෙහි වැඩසිටින" යැදුම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ භාවනා එකතුවක් මෙම පොතට ඇතුලත් වේ. එතුමන් සුදොතුම් පිය ධුරයට පත්ව 5 වසරක් පිරීම සමරමින්  මාර්තු  13 වනදා මෙම පොත  නිකුත් කෙරුණු බව එහි ප්‍රකාශක පෙන්ගුවින් රැන්ඩම්  හවුස් සමාගම කියයි.

දෙවියන් වහන්සේට "අපගේ පියාණනි" කියා ඇමතීමේ වැදගත්කම  කෘතිය ආරම්භයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කරයි.
"'අපගේ පියාණනි. 'තාත්තේ' යන වචනය යනු බලයයි. මෙම වචනය අපට ගෙනහැර පාන්නේ සිය  දූ පුතුන් ගේ මැවුම්කාරයාණන් සහ සිය දරුවන්ගේ  අවශ්‍යතා සපුරාලන්න වූ ඉතා ලෙන්ගතු සහ සමීප දෙවිඳානන් කෙනෙකුගේ ප්‍රතිරූපයයි" යැයි සුදොතුම් පියතුමා එම පොතේ කියයි.

"එබැවින් මා පවසන්නේ මෙයයි: අපි  අපගේ පියාණන්ට "තාත්තේ" ('Daddy') කියා ඇමතීමට තරම් නිහතමානී විය යුත්තෙමු. එසේම දෙවියන් වහන්සේ අප සමග එක්ව ගමන් කරන, අපට සමාව දෙන, අපගේ කුසගින්න නිවාලන, අප ඉල්ලන සියල්ලට සවන් දෙන, උද්‍යාන වල පිපෙන මල්වලට වඩා සුන්දර ඇඳුමින් අප සරසන පියාණන් බව සැබවින්ම විශ්වාස කිරීමට අපි නිහතමානී විය යුත්තෙමු" යි එතුමා අවධාරණය කරයි.

TV 2000 නමැති ඉතාලි රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරන ලද "අපගේ පියාණනි" නමැති වැඩසටහන් මාලාවට ඇතුළත් වූ ප්‍රශ්න සහ පිළිතුරු මෙම පොතට ඇතුළත්ව තිබේ. ඉතාලි ජාතික දේවධර්මවේදියකු  මෙන්ම බන්ධනාගාර සේවාභාර පියතුමකු වූ මාර්කෝ පස්සෝ පියතුමා ප්‍රැන්සිස් සුදොතුමා සමග කරන ලද සම්මුඛ සාකච්ඡා එම වැඩසටහන් මාලාවට පාදක  වී තිබිණි. ඊට අමතරව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්මදේශනා, තුන්කාල ආරාධනා සහ පොදු හමුවලදී කරන ලද භාවනා ද පොතට ඇතුලත් කර තිබේ.

"'අපගේ පියාණනි' යැදුම යාච්ඥා කිරීම මගින් අප වඩාත් ප්‍රේම කරනු  ලබන බවත්, වඩාත් සමා කරනු ලබන බවත් ශුද්ධාත්මයාණන් ගේ පිණිදියෙන්  අප වඩාත් නහවනු ලබන බවත් අප සෑම කෙනෙකුටම දැනෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එසේ වූ විට අපට අපගේ සහෝරද සහෝදරියනටත් පෙරළා ප්‍රේම කරන්නටත් සමාව දෙන්නටත් හැකියාව ලැබේ. ස්වර්ගය කෙබඳු ස්ථානයක්දැයි මෙයින් අපට අදහසක් ලබා ගත හැකියැ"යි . සුදොතුම් පියතුමා මෙම පොතේ හැඳින්වීමෙහි සඳහන් කරයි.

"අපගේ පියාණනි" යාච්ඥාවෙන් ඉස්මතු කෙරෙන සමාජ සාධාරණත්වය, දයාව හා ප්‍රේමය, සමාව දීම සහ සහෝදරත්වය වැනි ගුණාංග ගැනද මෙම කෘතියේ සාකච්ඡා කර තිබේ.

ලොව පුරා කුසගින්නෙන් පෙළෙන ජනතාව කෙරෙහි අනුකම්පා කිරීම හා ඔවුන් වෙනුවෙන් යාච්ඥා කිරීමේ  වැදගත්කම ගැනද මෙහි අවධාරණය කර ඇත. ජේම්ස් තුමන් ගේ ලිපිය උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසන්නේ තම අසල්වාසියේ සහ සමාජයේ කුසගිනිව සහ රෝගීව සිටින ජනතාව ශාරීරික අවශ්‍යතා වලට සිත් යොමු කර ඔවුනට උපස්ථාන නොකර සුබ අස්න නිසිලෙස ජීවත් කල නොහැකි බවයි. 
"සෑම මොහොතකම කෙනෙක් කුසගින්නෙන්, පිපාසයෙන් සිටිති. ඔවුන්ට මා අවශ්‍ය වෙයි. මේ දුප්පත් මිනිසාට මා අවශ්‍ය වෙයි. මගේ උපකාරය, මගේ වචන, මගේ උත්සාහය ඔවුනට අවශ්‍ය වෙයි" යි එතුමා පෙන්වා දෙයි.

සමිඳුන් මේ යැදුම අපට ඉගැන්වූයේ තම  පෙම්බර පියාණන් ගැන තමා සමීපවම දන්නා දැනුම අනුවය. මේ පියාණන් අපට සමීප වීමට දුෂ්කර, මහේශාක්‍ය 'වහන්සේ' කෙනෙක් නොවෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පෙන්වා දෙන ආකාරයට ඒ අපේ කරුණාබර, ප්‍රේමවන්ත 'තාත්තා' ය. උඩරට ජනයා අමතන ආකාරයට "අප්පච්චි' ය. දෙමල ජනතාව කතා කරන අන්දමට "අප්පා" ය. බර්ගර් ජනයාට "ඩැඩි" ය. මේ  පාපය නිසා අප ඉවත්ව ගිය විට අප එන තෙක් මග බලා සිටින තාත්තා ය. ඈත දුර සිට අප දැක අප වෙතට දුවගෙන විත් අප වැළඳගන්නා තාත්තා ය. එසේ වූ ලබැඳි, ළෙන්ගතු, කරුණාබර තාත්තා "ඔබ වහන්සේ" වැනි මහේශාක්‍ය පදයක් නිසා කෙතරම් දුරස්ථ කෙනෙක් වන්නේ ද? කෙතරම් දුකට පත්වනු ඇතිද?  

"අපි  අපගේ පියාණන්ට "තාත්තේ" ('අප්පච්චි') කියා ඇමතීමට තරම් නිහතමානී විය යුත්තෙමු."

වෙනත් භාෂා වලින් "Our Father", "Pater noster"  කියනවා සේ මේ සුන්දර යැදුම හෙළ බසින් "අපගේ පියාණනි" යාච්ඥාව යැයි නිසි නම දීමට ද කාලය පැමිණ තිබේ. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය