ලොව මවිතයට පත්කළ දයාවේ, අන්තර්ග්‍රහණයේ, සේවක-නායකත්වයේ පස් වසර - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අභියෝගාත්මක කැඳවීම

Five Years of stunning Mercy, Inclusiveness and Servant-Leadership: An analysis of Francis Reforms

2018 මාර්තු 13 වනදාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට තෝරා පත්කරගනු ලැබ 5 වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
(2018 මාර්තු 11)
දිනය 2013 මාර්තු 13 වන දා ය. රෝමයේ  වෙලාව රාත්‍රී අටට පමණ ඇත. 

රෝමයට පොද වැස්සක් වැටෙමින් තිබේ.

එහෙත් වැස්ස නොතකා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී තිබේ. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය.

මේ සියල්ලන් බලා සිටින්නේ අද රාත්‍රිය නික්ම යන්නට පෙර පේදුරු තුමා ගේ නව අනුප්‍රාප්තිකයා තෝරාගනු ලබාවිදෝ කියාය. පේදුරු තුමන් ගේ අසුන මෙවර අනපේක්ෂිත ලෙස හිස් වූයේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමට තීරණය කල නිසාය. මේ කම්පනය හා වේදනාවද මෙහි රැස්ව සිටි ජනකායේ මුහුණු තුළ නැත්තේ නොවේ. දවස පුරා විවරව තිබූ රෝමයේ දෙව්මැදුරුවල තරුණ තරුණියන් ගේ සිට වයස්ගත වූවන් දක්වා දිවා රෑ යදිමින් සිටි බවට ද වාර්තා ලැබෙමින්  තිබේ. සිස්ටයින් දෙව්මැදුරේ දුම් කුලුන වෙත යොමු වූ නෙත්වල මහත් බලාපොරොත්තුවක් ද ගැබ්ව ඇත්තේ  ඒ නිසාය.

හිටි හැටියේ කොහේදෝ සිට ඉගිල ආ සුදු පරෙවියෙක් එම දුම් කුලුන මත වසයි. සියල්ලෝ ප්‍රීතිමත්ව, එහෙත් පුදුමයෙන් පරෙවියා දෙස බලා සිටිති. "ඌ කොහේ සිට ආවේ ද? මේ වෙලාවේ...?" ලොව විවධ දෙසින් පැමිණි මාධ්‍යවේදීන් ගේ රූපවාහිනි කැමරා ඒ දෙසට යොමුවෙයි.

කැනඩාවේ CBC TV ජාතික නාලිකාව රෝමයේ සිට මෙම සිද්ධිය සජීවීව ආවරණය කරන එක් ජාත්‍යන්තර මාධ්‍යයකි. එහි තොරතුරු විචාරක ජ්‍යෙෂ්ඨ වාර්තාකරු  පීටර් මෑන්ස්බ්‍රිජ් මෙම විකාශයේ විස්තර විචාරය භාරව සිටියි. කැනඩාවේ  ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට පත් සන්නිවේදකයකු වන බැසිලියාන නිකායික තෝමස් රොසිකා පියතුමා සම්පත් දායකයකු ලෙස මෙම විචාරයට  එක්ව  සිටියි. ඔවුන් ගේ නෙත් ද පරෙවියා දෙස යොමුවේ.

"මෙයා  කොහේ ඉඳලද ආවේ......" මෑන්ස්බ්‍රිජ්  තමාටම කියා ගනියි. පරෙවියා තවමත් කුලුන මතය. මෑන්ස්බ්‍රිජ්ට  සතුටු සිනහවක් පහල වෙයි. "මෙයා යන්නේ නැති පාටයි.... පියතුමෙනි මොනවද ඔබට හිතෙන්නෙ මේ පරෙවියා ගැන?" ඔහු විමසයි.

"පරෙවියා කියන්නෙ ශුද්ධාත්මයානන් ගේ සංකේතය....." රොසිකා පියතුමා දැඩි විශ්වාසයකින්, සතුටු සිනහවක් ද සමග  පිළිතුරු දෙයි.

"ඒ කිව්වේ, ඔබ හිතනවද අපට සුබාරංචියක් ළඟ තිබෙනව කියල, නව පාප්තුමා ගැන?" මෑන්ස්බ්‍රිජ් යලි ප්‍රශ්න කරයි.

පියතුමාට යලි සිනහ පහල වෙයි. "ඇයි? ඔබ හිතනව ද එහෙම නොවේවී  කියල?" පියතුමා පැනයකින්ම පිළිතුරු දෙයි.

කොහේදෝ සිට ආ පරෙවියා හිටි ගමන් යළිත් කොහේටදෝ පියඹා යයි.

පොද වැස්ස හෙමින් තුනී වී යයි.  පාසල් වියේ දරු දැරියන් ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝ දුම් කුලුන දෙස නෙත් යොමා බලා සිටිති. බොහෝ දෙනෙකු අත ජපමාල ය.

තවත් මොහොතක් ගෙවී යයි.

හදිසියේම දුම් කුලුනින් දුමක් නගින්නට පටන් ගනියි.


"කළු ද සුදු ද?" හැමෝම අසති. මුලින් නොපැහැදිලි වූ එම දුම පැහැදිලි සුදට හැරේ.

"අලුත් පාප් වහන්සේ  තේරිලා ....." සෑම  කෙනෙක් තුළම උද්දාමය  දොරේ ගලන්නට පටන් ගනියි.

ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගනියි.

එහෙත් දැන් මුළු ලෝකයම කුතුහලයෙන් වෙලී ගොස් තිබේ. ඒ, නව පාප් වහන්සේ ලෙස තේරී සිටින්නේ කවර කාදිනල් නමද යන ප්‍රශ්නය  කතෝලික-කතෝලික නොවන සමස්ත ලෝකය තුළම නලියන්නට පටන් ගෙන තිබෙන නිසා ය. ඒ නිසා දැන් ගතවන සෑම මිනිත්තුවක් ම දැනෙන්නේ කල්පයක් ලෙසය. අලුත් පාප්තුමා කව්ද? නව පාප්තුමා විය හැකි කාදිනල් හිමිවරුන් ගේ නම් කිහිපයක් ගැන පීටර් මෑන්ස්බ්‍රිජ් සඳහන් කරයි.

“එත්, ඒ කවුද කියල මට හරියටම හිතාගන්න බැහැ…” කැනඩාවේ “Salt+Light” කතෝලික නාලිකාවේ ප්‍රධානියා ද වන රොසිකා පියතුමා තරමක් කල්පනා කාරීව කියයි.

මොහොතකින් සාන්ත පීතර බැසිලිකා සඳලු තලයේ දොර විවර වේ. කාදිනල් නමක් අරුණු දොරෙන් පිටතට පැමිණේ.

දස දහස් සංඛ්‍යාත ජනකාය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙයි.

“Annuntio vobis gaudium magnum; habemus Papam!”

"හබෙමුස් පාපම්!" ("අපට පාප්තුමෙක් සිටියි") එතුමා ප්‍රකාශ කරයි. "ආජන්ටිනාවේ අතිඋතුම් හොර්හේ මාරියෝ කාදිනල් බෙර්ගෝලියෝ  ස්වාමීන්වහන්සේ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත්වී සිටින බව ද  එතුමා 'ප්‍රැන්සිස්' යන නම ගෙන ඇති බවද” එතුමා දැනුම් දෙයි.

ජනතාව අත්පොලසන් දෙති. එහෙත් ඒ අතරින් විමතියක් ද දක්නට ලැබේ. "කවුද බෙර්ගෝලියෝ?" සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමෙන් පසු පාප්වහන්සේ ලෙස තේරී පත්වනු ඇතැයි විශේෂඥයන්  අනාවැකි කී කාදිනල් ලේඛනයේ හෝ, නව පාප් වහන්සේ වෙනුවෙන් ඔට්ටු දැමූ එංගලන්තයේ සූදු පොලවල හෝ 'බෙර්ගෝලියෝ ' නම අහලකටවත් පැමිණ තිබුනේ නැත. "කවුද මේ බෙර්ගෝලියෝ ....?" ප්‍රීතිය අතරින්  කුතුහලය ජනතාව නොඉවසිලිමත් කරයි.

තවත් මිනිත්තු දහයකින් පමණ සඳලු තලයේ දොර යලිත් විවර වේ. කුරුස ප්‍රතිමාව පෙරටු කරගෙන කාදිනල් හිමිවරු දෙදෙනෙක් පැමිණෙති.

පියතුමකු සේ සුදෝ සුදු ලෝගුවක් ඇඳි කෙනෙක් ඔවුන් මැදින් එති. ඒ නව පාප්තුමා ය.

සුදු ලෝගුවක් පමණක්? උන්වහන්සේට වැරදිලාද? වෙනත්  කාට හෝ වැරදිලාද? අමතක වෙලාද?




"නව පාප් වහන්සේ... ප්‍රැන්සිස්... සුදු ලෝගුවෙන් පමණක්? මොකක් ද මේ වෙනස?" CBC රූපවාහිනියෙන් විස්තර ගෙනෙන තෝමස් රොසිකා පියතුමා පුදුමයෙන් කියයි.
“පාප් වහන්සේලා ප්‍රථම වරට ජනතාව ආසිරි ගන්වන්නට පැමිණෙන්නේ එතුමන් ගේ උත්සවාකාර ආයිත්තම් පැළඳගෙන. ඊට අයත් රක්ත වර්ණ මොසෙට්ටාව (උරස් පෙදෙස වැසෙන සේ සුදු ලෝගුවට උඩින් පළඳින සළුව)  ඒ වගේම   ඊට යටින් පළඳින රොචේට්ටාව (දනිස් දක්වා දිග ධවල වර්ණ සිනිඳු සළුව; පියතුමන්ලා මෙහෙයන්හිදී අඳින  'සුප්ලිසය' නම් සලුවට සමානය)  එතුමන් පැළඳගෙන නැහැ.  බැලූ බැල්මට මීසම් සේවක පියතුමෙක් වගෙයි.” පියතුමා විස්තර කරයි. “මට මේ ගැන මොකුත් හිතා ගන්න බැහැ ..."
එතුමන් පාප් වහන්සේ බව සනාථ වන්නේ හිස පළඳින සුදු පැහැති සුකෙට්ටෝව (හිස මැද පළඳින 'හිස්වැස්ම') මගින් පමණය.

නව පාප් වහන්සේ (ඒ මොහොතේ බොහෝ දෙනෙකු හැඳින්වූයේ 'පළමුවන ප්‍රැන්සිස්' යනුවෙනි) සඳලු තලය ඉදිරිට පැමිණ සිට ගනිති. එතුමා එතැන සිට ගෙන බලා සිටිති. සාන්ත පීතර චතුරශ්‍රය වසාගෙන සිටින මහා ජන රාශිය දෙස ඇසි පිය නොහෙලා, කතා නැතිව  බලා සිටිති. තත්පරයෙන් තත්පරය ගත වෙයි.

නිහඬතාව දරාගත නොහැකිය. "මොනවා හරි කියන්න!" රොසිකා පියතුමා නොඉවසිල්ලෙන් මෙන් කියයි.

තවත් තත්පරයක්  ගෙවෙයි.

"බෝනා සේරා!" (සුබ සැන්දෑවක් වේවා!) නව පාප් තුමා ඉතාලි බසින් ප්‍රථම වරට ජනතාවට සුබ පතයි. මුළු චතුරශ්‍රයම දැවැන්ත අත්පොලසන් හා ප්‍රීතිඝෝෂා නාදයකින් ගිගුම් දෙයි.

"හොඳටම වෙනස්! හොඳටෝම වෙනස්!" රොසිකා පියතුමා මහා හඬින් සිනාසෙමින් CBC රුපවානිය ඔස්සේ කියයි. "ඇයි? මොකක්ද වෙනස? මේ සුබ පැතුම වැරදිද?" CBC යේ ජ්‍යෙෂ්ඨ  වාර්තාකරු පීටර් මෑන්ස්බ්‍රිජ් විමසයි. "සුබ පැතුම වැරදි නැහැ. ඒත් සම්ප්‍රදාය ඒක නොවයි. ඒක පාප් වහන්සේලා ගේ සාම්ප්‍රදායික සුබ පැතුම නොවෙයි...." පියතුමා පිළිතුරු දෙමින් සිනාසෙයි. “මට හිතෙන්නෙ එතුමා වෙනස් මගක යන්න හදනව කියල…ඇඳුමින් වෙනස්...සුබ පතුමින් වෙනස්...මහා බලාපොරොත්තුවක්….?”

ප්‍රීති ඝෝෂාව මඳක් තුනී වෙද්දී  නව පාප්තුමා- ප්‍රැන්සිස් පාප් වහන්සේ - යළිත් සිය හඬ අවදි කරති.

"සහෝදර සහෝදරියනි, සසුන් පිය වරණ දැහැනේ වගකීම වුණේ රෝමයට රදගුරු තුමකු දීම. බලන්න! රෝමයේ නව රදගුරුතුමාව සොයා ගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරු ගිහින් තිබෙන දුර. උන්වහන්සේලා ලෝකයේ කෙළවරටම ගිහින් රෝමයට  රදගුරුතුමකු  සොයා ගන්න…..ඔබ මාව පිළිගත්තාට ස්තුතියි. රෝම පදවියේ ජනතාවට දැන් රදගුරුතුමකු සිටිනවා...මුලින්ම මම කැමැතියි - සොළොස්වන බෙනඩික්- අපගේ හිටපු රදගුරු තුමන් වෙනුවෙන් යාච්ඥාවක් ඔප්පු කරන්න...සමිඳුන් එතුමන් ආශීර්වාද කරන ලෙසත් දේව  මෑණියන් එතුමන් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා අපි හැමෝම එක්ව යාච්ඥා කරමු. "

මොහොතක නිහැඬියාවකින් පසුව එතුමා යලි කතා කරයි.

"මම දැන් ඔබව ආසිරි  ගන්වනවා. ඒත් ඊට කලින්, මම ඔබෙන් උදව්වක් ඉල්ලනවා. රදගුරුතුමා ඔබව ආශීර්වාද කිරීමට පෙර මට ආශීර්වාද කරන ලෙස ස්වාමීන් වහන්සේට යාච්ඥා කරන්න කියා මා ඔබෙන් ඉල්ලනවා. අපි නිහඬව මේ යාච්ඥාව කරමු. ඔබ මා වෙනුවෙන් කරන යාච්ඥාව …”

ඊළඟට එතුමා කිසිවෙකුත් නොසිතූ දෙයක් කරයි. එනම් නිහඬව, දෑස් පියාගෙන, රැස්ව සිටින ජනතාව දෙසට හිස නමා ගැනීමයි. 



දස දහස් සංඛ්‍යාත ජනකාය මොහොතකට දැහැන් ගතවෙයි. නිශ්ශබ්ද වෙයි.මීයට පිම්බාක් මෙන් නිහඬ  වෙයි. ජනතාව අතරින් බොහෝ දෙනෙකු ගේ නෙතගින් කඳුළු ගලා යනු රුපවාහිනී සමීප රූප වලින් දක්නට ලැබේ.

ඉන්පසුව නව පාප් වහන්සේ "නගරයටත් ලෝකයටත් සිය ආශීර්වාදය" (Urbi et Orbi) දානය කරති.

"ඔබ මෙහි පැමිණ මෙතෙක් වෙලා බලා සිටීම ගැන ඔබට ස්තුතියි! දැන් ගෙවල් වලට යන්න. ගිහින් හොඳ රාත්‍රී ආහාරයක් ගන්න. මා වෙනුවෙන් යාච්ඥා කරන්න...."

***************************

මීට වසර පහකට  පෙර මාර්තු 13 වනදා රාත්‍රියේ වතිකානයේ සිදු වූ සිද්ධි මාලාවයි ඒ .

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තේරී පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ එකක් විය. කාදිනල් මණ්ඩලය සිස්ටයින් දෙව්මැදුරට ඇතුළුවන විට ‘පේපබිලි’ හෙවත් පාප්ධුරයට පත්විය හැකියැයි නම් කියවුණු හිමිවරුන් අතර එතුමා ගේ නම සඳහන් වූයේ ම නැත. මේ නිසා එතුමා ගේ තෝරාගනු ලැබීම විශ්මිතය. මේ විශ්මිත බවට රහසක් තිබේද?

අන්‍ය ලබ්ධිකයෙකුව සිට, වැඩිහිටියකු වීමෙන් පසුව  විශ්වාසය හා අවබෝධය නිසාම  කිතු දහම වැළඳගත් මිතුරෙකුට සිස්ටයින් දෙව්මැදුරට ප්‍රථම වරට යාමේ භාග්‍යය හිමි විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තේරී පත්වීමෙන් පසුව ඔහු  මේ ලියුම්කරු සමග ඒ ගැන දිනක් කීවේ මෙසේ ය: “සිස්ටයින් දෙව්මැදුර තුළ ඇති මයිකල් ආන්ජලෝගේ මිනිසා මැවීමත් අවසන් තීන්දුවත් යන මහා ජීවමාන සිතුවම් දෙකට මැදි වූ විට ලෞකික දේශපාලනයත් සභා දේශපාලනයත් දැවී යනවා...එතැන හමා යන්නේ ශුද්ධාත්මයානන් ගේ සුළඟයි හුස්මයි  පමණයි. ක්‍රියාත්මක වන්නේ උන්වහන්සේගේ අනුහස පමණයි. එතැනට ගියාම ඒක දැනෙනවා ….”

ශාන්ත අසීසියේ ප්‍රැන්සිස් සහ සුදොතුම් පිය ප්‍රැන්සිස් 

අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් තුමා එකල සභාවට දැඩි අභියෝගයක් එල්ල කළේය. එය කාලීන වෙනසක් මෙන්ම සුබ අස්න  මත පදනම් වූ රැඩිකල් වෙනසක් සඳහා වූ අභියෝගයකි. එම අභියෝගය එතුමනට දුන්නේ අසීසියේ ගරා වැටුණු සන් දමියානෝ පල්ලියේ කුරුසියේ එල්ලී සිටි ජේසු සමිඳාණන් මය. “ප්‍රැන්සිස්! මගේ නිවහන පිළිසකර කරන්න.” එය හුදෙක් ගරා වැටුණු සන් දමියානෝව පිළිසකර කිරීමේ කැඳවීමක් පමණක් වූයේ නැත. අවසානයේ දී එම කැඳවීම  ඒ වන විට ආධ්‍යාත්මිකව ගරා වැටී තිබූ සභා නිවහන ද පිළිසකර කිරීමේ කැඳවීමක් හා අභියෝගයක් ද   වූයේය. 

එම සාන්තුවරයා ගේ නම සිය පාප් ධුරයේ නම ලෙස යොදාගත්  බෙර්ගෝලියෝ කාදිනල් තුමාට ද ලැබුණේ එවැනිම කැඳවීමක්ය යන්න සසුන්වේද සහ වතිකාන විචාරකයන් එදත් අදත් දරන මතයකි. අසීසියේ ප්‍රැන්සිස් තුමන් සේ ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද බාහිර අලංකාරය, ආටෝපය, රාජශ්‍රීය, ධනය සහ බලය ප්‍රතික්ෂේප කර වෙනස් මගක් ගෙන සිටියි. ඒ මගින් පෙන්නුම් කරන්නේ එතුමා මෙම කැඳවීම තේරුම් ගෙන ඇති බවකි.

අනවශ්‍ය රාජශ්‍රීයෙන් යුත් ඇඳුම් ආයිත්තම් වලින් තොර සරල චාම් නව පාප් ධුරයක් ගැන ඉඟි කිරීම, 'රෝමයේ රදගුරු තුමා' යන  නාමයෙන් තමන් හඳුන්වා ගැනීම, 'මා ඔබ ආශීර්වාද කිරීම පෙර, මට ඒ බලය ලබා දෙන ලෙස ස්වාමීන් වහන්සේට යාච්ඥා කරන්න" යනුවෙන් දෙවියන් වහන්සේ මත යැපීම හා  "උන්වහසේගේ නැගීමත් මගේ බැසීමත් සිදුවේවා!" යන ස්නාවක ජුවාම් තුමාගේ දැක්ම තුළ ස්ථාන ගතවීම එම සලකුණු කිහිපයයි.

ගත වූ පස්වසර තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දිනෙන් දින සභාවත් ලෝකයත් මවිතයට පත්කරමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිටියි. එහෙත් වැදගත්ම කරුණ නම් මේ සියල්ල සුපුවත තුළ තරයේ පිහිටා කරන වෙනස්කම් වීමයි. සමිඳුන් ගේ අභියෝගාත්මක කැඳවීම භාරගෙන එතුමා ලෝකයට හා සභාවට කරන අභියෝග ද එතුමා ගේ තේරී පත්වීම සේම විශ්මිතය.

ලෝකය පිලිබඳ දැක්ම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශ්මිත ලෙස දයා ගුණයෙන් යුක්තව  සිටින අතර කුළුණු  ගුණයෙන් අසීමිත වූ දෙවි පියාණන් වෙත හැරී එනමෙන් සියල්ලනට ඇරයුම් කරයි. “ඔබට කතා කරන සුදු සළු ඇඳ සිටින මම පව්කාරයෙක් …” සිරකරුවන් අමතමින් කියයි. ලිංගිකත්වය ගැන විමසන වාර්තාකරුවන්ට අවංකව පිළිතුරු දෙමින් “දෙවිඳුන් ඉදිරියේ ඔවුන් විවෘත වනවා නම්, විනිශ්චය කරන්නට මම කවුද?” යි අසයි. “පුද්ගලයකු සමලිංගිකයකු වීම නිසා ජේසු සමිඳුන් ඔහු එලවා දමන්නේ නැහැ” යි විවෘතව පිළිතුරු දෙයි. සභාවේ කටයුතුවලදී  ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශද බැහැර නොකළ යුතු බව අවධාරණය කරන අතර කිසිදා කාදිනල් හිමිවරුන් පත් නොවුන ප්‍රත්‍යන්ත ප්‍රදේශ වලට කාදිනල් හිමිවරුන් දෙමින් ඔවුන් ගේ  විශ්වාසයට පිළිගැනීමක් ලබා දෙයි. “පුදැදුරු අධිපතිවාදයෙන් මිදී සමාජය ගිණි දල්වන්න”, “සමාජය අවුල් කරන්න” යයි යෞවනයන්ට අභියෝග කරයි. “ඔබේ මේ ක්‍රියාකාරීත්වයේ  ව්‍යවස්ථාව විය යුත්තේ මතෙව් සුබ අස්නේ 25 පරිච්ඡේදය” යයි ද ඔවුන්ට අවධාරණය කරයි. දුප්පතුන් වැඩි නොකරන, දුර්වලයන් කොන් කර නොදමන ආර්ථිකයක් වෙත හැරෙන්නැයි ධනවත් සහ සංවර්ධනය වන ලෝකයට අභියෝග කරයි. පල්ලියෙන් විවාහ වීමට අවස්ථාව නොලද නිසා සිවිල් විවාහ කරගත්, එහෙත් ඊට කැමැත්ත දක්වන කතෝලික යුවල් ගුවන් යානා තුළ ආශීර්වාදකාර බන්ධනයට ඇතුලත් කරයි.

“වර්තමානයේ දෙවිඳුන් වැඩසිටින්නේ සරණාගතයන්, දුප්පතුන්, යුද්ධයෙන් හා සමාජ විෂමතාවලින් බැටකන දරුවන් තුළ” යයි කියමින් ධනවත් කතෝලික රටවලට අභියෝග  කරයි. මුස්ලිම් සරණාගතයන් තමාගේම ගුවන් යානයෙන්  වතිකානයට රැගෙන එයි. “තාප්ප ඉදිකරන්නන් කිතුනුවන් නොවේ; කිතුනුවකු නම් පාලම්  ඉදි කල යුතුයි” යැයි වර්ගවාදී අන්තවාදී  දේශපාලන නායකයන්ට එඩිතරව අභියෝග කරයි. "සභාවට කිලිටි සල්ලි එපා!.....ලෙයින් කිලිටි වූ ඔබේ සල්ලි සභාවට පුදා ස්වර්ගයේ දොරටු ඇරගන්න සිතනවා නම්, ඔබට වැරදිලා..!” යි මත්ද්‍රව්‍ය සහ මිනිස් ජීවිත මත සිය ධනය ගොඩනගන මාෆියා කල්ලිවලට ඔවුන්ගේ නගරයේ දීම තරවටු  කරයි.

සභාව පිලිබඳ දැක්ම  සහ කිතුනු සභා අතර සමගිය 

එදා වැරහැලි ඇඳ සිඟමනේ ගොස් සභාවට ආදර්ශයක් දුන්  අසීසියේ ප්‍රැන්සිස් තරුණයා සේ කතෝලික සභාව ද සිය බලපරාක්‍රමවාදී මුහුණුවරින්  ඉවත් විය යුතු බවට ප්‍රන්සිස් සුදොතුම් පියතුමා අභියෝග කරයි. “අත්හැරදමන ලද, අමතක කරන ලද හා දුර්වල ජනතාවට සමීප වන, එම උද්යෝගය නිසා සසල වූ සභාවක් දැකීමට මා කැමතියි; එසේම, සිය දරුවන් තේරුම් ගන්නා, ඔවුන් කැටුව යන, ඔවුන් සිප වැළඳගන්නා, මවකගේ මුහුණුවර ඇති ප්‍රීතිමත් සභාවක් දැකීමට මා කැමතියි” යි සිය දැක්ම විදහාලමින් කියයි.  පුදැදුරුවරුන් “පාලකයන් නොව  තමනට භාර වන ජනතාවගේ සේවකයන් විය යුතු බව” පුදැදුරුවරුන් හා දෙව්සත්හල් සිසුනට ඔවා  දෙමින් කියයි. “ඔබ ඔබගේ පදවිවල ස්වයංපෝෂිත ස්වාමිවරුන් යැයි නොසිතන්න; ජනතාවගේ විශ්වාසයේ අත්දැකීමට ගෞරව කරන්න” යැයි රදගුරු හිමිවරුනට උපදෙස් දෙයි.  “ස්වාමිවරුන් නොවන්න; ජනතාව මත බර නොපටවන්න; යහපත් එඬේරුන් වන්න” යි නවක පියවරුන්ට අනුශාසනා කරයි. “බල තන්හාව සහ ධන තන්හාව මීසම් හා පදවි විනාශ කරයි” යි දුර්පරීක්ෂා ගැන අනතුරු අඟවයි.   ගිහියනට, විශේෂයෙන් කාන්තාවනට සභාවේ ප්‍රමුඛත්වයක් දිය යුතු බව අවධාරණය කරමින්, ඒ සඳහා පියවර ගනියි. “සභාවට දිළිඳු විය හැකියි; දිළිඳු විය යුතුයි” යි නාසරෙතයේ ජේසු තරුණයා සහ පළමු පාප් තුමා සහිපත් කරමින් පෙන්වා දෙයි. “පෝප් මොබයිල් “ රථයක් ලෙස ලැබුණු ලම්බෝගිනි මෝටර රථය  වෙන්දේසි කර එම මුදල දුප්පතුන් වෙනුවෙන් වියදම් කරයි.

සෙසු කිතුනු සභා සමග එක්සත්කම ඇතිකරගැනීම සඳහා ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙහෙසෙයි. “අපි එක්ව ගමන් කරමු; එක්ව දුප්පතුනට සරණ වෙමු; එක්ව දයාවේ ක්‍රියා සහ අධ්‍යාපන සේවාවල නිරත වෙමු; එක්ව යුක්තිය හා සාමය වෙනුවෙන් ක්‍රියා කරමු. ඒ අතර දේවධර්මවේදීන් ඔවුන්ගේ කොටස කරමින් කිතුනු සමගිය වෙනුවෙන් මහන්සි වනු ඇති” යි වෙනත් කිතුනු  සභාවල නායකයනට කියයි. “වඩා හොඳ කතෝලිකයොද? ඉවැන්ජලිකල් කිතුනුවෝ  (‘බයිබල් කාරයො’) ද?” යි උත්ප්‍රාසයෙන් විමසයි.


සුදොතුම් පියතුමාට එරෙහි ‘යුද්‍ධය’ 

ප්‍රතිසංස්කරණ සඳහා උත්සාහ කරන ඕනෑම නායකයකුට විවේචන හා චෝදනා එල්ල වීම ලෝක ස්වභාවයයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාටද එය වෙනස් නොවේ. එතුමාට සභාවේම ඇතැම් පාර්ශව වලින් විවේචන  එල්ල වී ඇත්තේ එතුමා “දුර්මත” (Herasies) උගන්වන බවට චෝදනා කරමිනි. “දුර්මතධාරියකු” (Heratic) කතෝලික සභාවෙන් නෙරපා දැමිය හැකිය. එබැවින් එතුමනට එරෙහිව මෙම චෝදනාව ගෙන එන්නේ සැලසුම් සහගතවද?  යන්න ස්වාධීන නිරීක්ෂයන් හා විමර්ශනාත්මක පත්‍ර කලාවේදීන් නගන ප්‍රශ්නයයි.. 

පවුල පිළිබඳව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් නිකුත් කල අපෝස්තලික අනුශාසනා පත්‍රයේ 8 වැනි පරිච්ඡේදයේ එන එක් කෙටි  සටහනක් (Foot Note) මෙම චෝදනාවට පාදක වී තිබේ. එනම්,  ‘දික්කසාද වී යලි සිවිල් විවාහයක් කර ගත් තැනැත්තන්ට, සිද්ධි හෝ අවස්ථාවලට උචිතව, පදවියේ රදගුරු තුමා ගේ ද මාර්ගෝපදේශ වලට  අනුකුලව දිව්‍ය  සත්ප්‍රසාද වහන්සේ දානය කල  හැකි” යැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් උපදෙස් දීමයි. "දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පරිපුර්ණ වුවන් සඳහා ප්‍රදානය කෙරෙන ත්‍යාගයක් නොවේ; එය දුර්වල වූවන් වෙනුවෙන් වන ප්‍රබල ඖෂධයක් සහ පෝෂණයකි" යි එතුමා එම සටහනේ සඳහන් කරයි.

“දුර්මතධාරියකු” යයි සුදොතුම් පියතුමන්ට පහර දෙන්නන් එසේ කරන්නේ මෙම අනුශාසනා පත්‍රයේ සමස්තය අමතක  කර මෙම එක් කෙටි වාක්‍යයක එල්බගෙන යයි මධ්‍යස්ථ මතධාරී දේවධර්ම සහ ශීල ධර්ම විශාරදයෝ පෙන්වා දෙති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙහි උපදෙස් දෙන්නේ දික්කසාද වී යලි විවාහ කරගත් තැනැත්තන්ට ආවාට ගියාට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ  ලබා දීමට නොවේ.

මෙහි එතුමා කාරනා දෙකක් ඉස්මතු කරයි. පළමුවැන්න ජේසු නිකායික පුහුණුවේ නිරන්තරයෙන් හමුවන "වටහා ගැනීම" (අවබෝධය/නිශ්චය කිරීම : discernment) යන ක්‍රියාවලිය යි. දෙවැන්න නීති පැනවීම, දඬුවම් දීම වැනි පිළිවෙත්වලට පරස්පරව "හර්දය සාක්ෂිය හැඩගැස්වීම" යන කාරණයයි. මේවායින් කතෝලික සභාවේ පවත්නා ඉගැන්වීම්  වෙනස් නොවේ. වෙනස් වන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ පාප් ධුරයේ නොමැකෙන සලකුණ "දයා කරුණාවයි." මෙම ලේඛනයේ  හදවත ද  "දයා කරුනාවයි". දෙවියන් වහන්සේ පව්කාරයන් කෙරෙහි අසීමිත ලෙසත් විශ්මිත ලෙසත් දයා කරුණාව දක්වන්නේ කෙසේද,  අඹු සැමි යුවලක් දික්කසාද වූ විට ඊට හේතු භූත වූ කරුණු දෙස සහාව දයා කරුණා හදවතින් බැලිය යුතු ය යන්න මෙහි පණිවිඩයයි. තමන් ගේ ගමන් මග දෙස සියුම් නුවනින් බලා එහි යහපත හා අයහපත අවබෝධ කරගැනීමට පුදැදුරුවරුන් ඔවුනට අත්වැලක්, සහයක් විය යුතුය. මේ අනුව තමන් සිවිල් විවාහයක් කරගෙන ඇත්නම් නම් දිව්‍ය  සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට තරම්  තම හදවත් සුදුසුද යන්න ගැන නිශ්චය කිරීම ඔවුන්ගේ වගකීමක් වනු ඇත. මෙය නීතියක් පැනවීමට වඩා බරපතල වගකීමකි.ඇරත්, දික්කසාද වී සිවිල් විවාහ කරගත් යුවල් මඳකට අමතක කරමු. ඉරිදා දිව්‍ය පුජාවට සහභාගිවන සියල්ලන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්නේ මරණීය  පාපයෙන් තොරව බවට සහතික වශයෙන් ප්‍රකාශ කළ හැකිද? ඒ ගැන දන්නේ ඔවුන් ගේ හර්ද සාක්ෂ්‍ය සහ දෙවියන් වහන්සේ පමණක් නොවේද?

ශු. දෙවැනි ජුවාම් පාවුළු  සහ සොළොස්වන බෙනඩික් සුදොතුම් පිය කාලවලදී  කවර හෝ පියතුමෙකුහෝ  රදගුරුතුමෙකු පාප්තුමන් විවේචනය කලේ නම්, එය සැලකුනේ අකීකරු කමක් ලෙසය. එක්කෝ එවැනි 'විවේචකයෝ' නිහඬ කරන ලදහ. නැතහොත් සභාවෙන් නෙරපා  හරින ලදහ.  එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ සියලු ප්‍රහාර ඉවසා දරාගෙන, තම විරුද්ධ වාදීන්ට සමාව දෙමින්, ඔවුන්  වෙනුවෙන් යාච්ඥා කරමින් සිය මෙහෙවර නොකඩවා කරගෙන යමින් සිටියි."මේ තැනැත්තන් තුළ සහ ඒ තැනැත්තන් කියන හෝ ලියන දේවල් තුළ, ආධ්‍යාත්මික යහපත්බවක් නොමැති  බව මට පෙනී යන විට, මම ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා....මට බොහෝ කනගාටු සිතෙනවා.... එහෙත් මම ඒ හැඟීම තුළ පදිංචි වෙන්නේ නැහැ...." යි එතුමා චීලි රටේදී සිය ජේසු නිකායික සහෝදරයකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබිණි.


සුදොතුම් පියතුමන් තේරුම්  ගත හැකි ‘යතුරු’ 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අවුල් සහගත යුගයට සභාවේ හිස වන කිතු සමිඳුන්  විසින් දෙන ලද තිළිණයකි.

එතුමන් ගේ ශීල ධාර්මික මෙන්ම ඇතැම් දේශපාලන සමාජ ආර්ථික (සරණාගතයන්, යුද්ධ වැනි)  තීරණ, ක්‍රියා මාර්ග හා උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ‘දයා කරුණාව’යි. දෙවි පියාණන් මිනිසාට අසීමිතව දයා කරුණාව දක්වන බැවින් මිනිසා ද සිය සහෝදරයාට සැලකිය යුත්තේ එසේය යන්න එයින් කියැවේ

එතුමා කතෝලික සභාවේ පුදැදුරු-ගිහි නායකත්වය  පිළිබඳව ගන්නා තීරණ, ක්‍රියාමාර්ග සහ උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ජේසු සමිඳුන් වදාළ “සේවක-නායකත්වය”යි. 2015 දී පවත්වන ලද රදගුරු සිනොඩ් සභාවට වසර 50ක් ගත වූ සංවත්සරයේ දී එතුමා ඒ ගැන කීවේ මෙසේය: “මේ අනුව නායකයන් තමනට භාර වූ බැටළු රැලේ සැබෑ ‘ක්‍රිස්තු නියෝජිතයන්’ (vicarius Christi) බවට පත්වන්නේ ඔවුන් එම දේව ජනතාව ගේ සේවකයන් වන තරමට ය; එනම් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිය අපෝස්තුළුවරුන් අබියස නැවතී, පහත් වී පා දෝවනය කල ජේසු සමිඳුන්  ගේ නියෝජිතයන් ය. ඊට සමාන දැක්ම තුළ, පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා (පාප් වහන්සේ) සමිඳුන් ගේ සේවකයන් ගේ සේවකයා පමණි. අපි මෙය කිසිදා අමතක නොකරමු: එනම්, ඊයේ, අද සහ නිරන්තරයෙන් ම, අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයයි; අපගේ බලය කුරුසියේ බලයයි" 

“මා වෙනුවෙන් යාච්ඥා කරන්න.” 

තමන් මෙම ධුරයට පත් වූ පළමු මොහොතේ  සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බැහැපත්ව සියල්ලන්ගෙන් ඉල්ලා සිටින ‘උදව්ව’ එයයි: “මා වෙනුවෙන් යාච්ඥා කරන්න.”

අභියෝගාත්මක යුගයක පේදුරු තුමන් ගේ වගකීම පැවරුණු එතුමනට බොහෝ යාච්ඥා අවශ්‍ය වේ. පාප් ධුරයේ පස්වැනි සංවත්සරය වෙනුවෙන් ඔබට එතුමනට පිදිය හැකි වටිනාම, ප්‍රබලම ත්‍යාගය එයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  වෙනුවෙන් යාච්ඥා කරන්න. 






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය