"පාලකයන් නොව ඔබට භාර කරන ජනතාවගේ සේවකයන් වන්න": සුදොතුම් පියතුමා දෙව්සත්හල් සිසුනට කියයි

Pope tells  seminarians: "Be servants of your flock, not dominators"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙව්සත්හල් සිසුන් පිරිසක් හමුවූ මොහොතක්‌ 


(2018 පෙබරවාරි 18)
රෝමයේ පාප්වහන්සේගේ මැරනයිට් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ (Pontifical Maronite College) ඉගෙන ගන්නා දෙව්සත්හල් සිසුන් කණ්ඩායමක් ඉකුත් සිකුරාදා (පෙබරවාරි 16) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසීමට පැමිණියහ.

එහිදී ඔවුන් ඇමතූ සුදොතුම් පියතුමා කියා සිටියේ දෙව්සත්හල් පුහුණුව ඔවුන් උදෙසාවත් ඔවුන් සම්බන්ධයෙන්වත් වන පුහුණුවක් නොවන බවයි. මෙම පූජක පුහුණුව, එය අවසානයේ ඔවුන් සේවය කරන්නට  යන පදවිවල සහ මීසම් වල ජනතාව වෙනුවෙන් වන පුහුණුවක් බව එතුමා  අවධාරණය කළේය:

"මේ පූජක පුහුණු කාලය තුළ  ඔබ ලබන මානුෂික, බුද්ධිමය සහ ආධ්‍යාත්මික පෝෂණය ඔබට ලැබෙන තිළිණයක් නොවේ. එය ඔබගේ රැකියාව උදෙසා ඔබ විසින් ලබා ගත යුතු සුදුසුකමක් ද නොවේ.  එම පුහුණුව ඔබගේ පදවිවල ඔබගේ සේවය ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින, එසේම, ඔබ ඔබගේ ජීවිතය දානයක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින  විශ්වාසිකයන් සඳහා වූ නිධානයකි."

පුදැදුරුවරය වූ කලී රැකියාවක් හෝ පැවරුමක් නොවන බවද එතුමා පැහැදිලි කළේය:
"එසේම, ඔබ කැඳවනු ලැබ සිටින්නේ පැවරුමක් ඉටු  කිරීමට  හෝ රැකියාවකට නොවේ. දූත මෙහෙවරක් ජීවත් කිරීමටය. ඉතිරියක් නොමැතිව, ගණන් හිලවු බලන්නේ නැතිව, පිලිලබයක් නොපතා, සේවා කාලයේ සීමාවක් නොමැතිව යෙදෙන දූත මෙහෙවරක්  ජීවත් කිරීමටය." 

නුතන ලෝකයේ පවතින ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය දුප්පත්කම පුදැදුරුවරුන් දුප්පතුන් වෙත අවධානය යොමුකිරීමේ වැදගත් කම තව දුරටත් අවධාරණය කරන බව සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. මේ තත්වය තුළ  පුදැදුරුවරුන් දුප්පතුන් හා පීඩිතයන් වෙත අවධානය යොමු කොට ඔවුන් සමග සිටීමට කටයුතු කල යුතුය. "දේවස්ථාන ඔවුන් ගේ ගෙදර ලෙස දුප්පතුනට දැනෙන්නේ එවිට යැ"යි සුදොතුම් පියතුමා කීවේය.
"ජනතාවගේ සහ ජනතාවට පුදැදුරුවරුන් වීමට දැන් සිටම ඔබව සූදානම් කරගන්නා ලෙස මම ඔබ දිරිමත් කරමි (priests of the people and to the people).  ජනතාව මත බලය යොදවන්නන් හෝ පාලකයන් නොව  ඔබට භාර කරන රැළේ සේවකයන් වීමට දැන් සිටම සූදානම් වන්න." 

"හරවත් සහ අත්‍යවශ්‍ය දේ සොයන, සන්සුන් සහ පාරදෘශ්‍ය ජීවිත ගත කරන, අතීතානුරාගයෙන් මත් නොවී සභාවේ නිරෝගී සම්ප්‍රදාය අනුව ඉදිරිය දකින්නට හැකියාව ඇති දෙවිඳුන් ගේ මිනිසුන් අවශ්‍ය වී තිබේ" යැයි එතුමා කියා සිටියේය.


මැරනයිට් කතෝලිකයෝ 

මෙම හමුව සඳහා රෝමයේ පාප් වහන්සේ ගේ මැරනයිට් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ පූජක සිසුන් 45 දෙනෙකු සමග ඔවුන් ගේ  හැඩගැස්ම භාරව  සිටින පුදැදුරුවරු කණ්ඩායමක්  පැමිණ සිටියහ. මෙම විද්‍යා පීඨය ආරම්භ කරන ලද්දේ 1584 දී 13 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ විසිනි. මැරනයිට්  කතෝලික සභාවේ   දෙව්සත්හල් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා  මෙම විද්‍යා පීඨය  විවෘත කෙරිණි.

මැරනයිට් කතෝලික සභාව ආරම්භය  වූයේ අන්තියෝකයේ ප්‍රථම කිතුනු සංඝ වලිනි. ක්‍රිස්තු අනුගාමිකයන් "ක්‍රිස්තියානීන්" ලෙස හැඳින්වීම මුලින්ම සිදු වූයේද අන්තියෝකයේය. මෙම කතෝලිකයන් සිය ජනවන්දනාව සඳහා තවමත් භාවිත කරන්නේ සිරියැක් භාෂාවයි. මෙම භාෂාව ජේසු සමිඳුන් කතා කළ ඇරමයික් භාෂාවේ උප භාෂාවක් බව සභා ඉතිහාසය පිලිබඳ විශාරදයෝ පවසති. 

ජනතාවට සවන් දෙන්න 

පුදැදුරුවරුන් සහ දෙව්සත්හල් සිසුන් වශයෙන් ඔවුන් නිරන්තරයෙන් ජනතාවට සවන් දිය යුතු බව එහි සිටි දෙව්සත්හල් සිසුන් හා පුදැදුරුවරුන් අමතමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවදුරටත් කියා සිටියේය.
"ඔවුන් ගේ (ජනතාවගේ) ජීවිත තුළින්, විවිධ මුණගැසීම් තුළින් හා එමගින් ඇතිකෙරෙන බලාපොරොත්තු නොවූ විස්මිතයන් මගින් දෙවියන් වහන්සේ ඔබ ස්ථිර කරනු ඇති. එසේම පුදැදුරුවරුන් ලෙස ඔබ, ඔබගේ ජනතාවට ඉතා සමීප වූ විට, ඔවුනට දයා වන්ත වන විට, ඔවුන් ගේ ප්‍රීතිය මෙන්ම දුක්වේදනා ඔබගේ ම කරගන්නා විට, ඔබ ඔවුනට පිදූ ප්‍රේමය හා ඔවුන්ගෙන් ඔබ ලද ප්‍රේමය ගැන දවස අවසානයේ  සමිඳුනට කීමට ඔබට හැකිවූ විට, ඔබට ඔබගේ ජීවිතයේ අව්‍යාජ ම ප්‍රීතිය රස බැලීමට හැකිවනු ඇත."

පූජක සිසුන් හා පුදැදුරුවරුනට තවදුරටත් කතාකරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ මානව හදවත මාලිමාවක් බඳු බවයි. මෙම මාලිමාව සෑමවිටම තමා ප්‍රේම කරන දේ කෙරෙහි දිශා ගත වී තිබෙන බව එතුමා පැහැදිලි කලේ මතෙව්  සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ උපදේශයක් ද උපුටා දක්වමිනි.:
"අපගේ හදවත මාලිමාවක් වගෙයි. එය නිතරම දිශාගතව තිබෙන්නේ තමන් ආදරය කරන දේ දෙසටයි. 'ඔබගේ වස්තුව ඇත්තේ කොතැනද, ඔබගේ හදවත ඇත්තේ ද එතැන' යැයි සමිඳුන් පැවසුවේ ඒ නිසයි.  මේ නිසා, අධ්‍යාපනය, ආධ්‍යාත්මික හැඩගැස්ම සහ සාංඝික ජීවිතය ඇතුළත්  පූජක සිසු සමය තුළ දී ඔබගේ හදවත් සකස් කර ගන්නැ"යි  සුදොතුම් පියතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

"ඔබ කැඳවනු ලැබ සිටින්නේ දුක්වේදනා සහ අනතුරු උපද්‍රව වලින් පිරි ලෝකයක් තුළ මේ සියල්ල ජීවත් වීමටයි. එහෙත් මෙවැනි වටපිටාවක් තුළ පවා නිතරම බලාපොරොත්තුවෙන් ගැබ්බරව සිටින්නැ"යි එතුමා උපදෙස් දුන්නේය.

ජනතාව සොයන පුදැදුරු ගුණාංග 

සුදොතුම් පියතුමා සිය කතාව අවසන් කලේ  ජනතාව පුදැදුරුවරුන් ලෙස  ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි   එහි සිටි පුදැදුරුවරුනටත් පූජක සිසුනටත් පැහැදිලි කරමිනි:
"ජනතාව තමන් සනසාලන එඬේරුන් ඔබ තුළ සොයනු ඇත; ජේසු සමිඳුන් ගේ වචනය නිතර සිය දෙතොල් මත ඇති පුදදුරුවරුන්, සිය කඳුළු පිස දැමීමටත් වේදනාවෙන් පිරි සිය මුහුණු ස්පර්ශ කිරීමටත් සූදානම් දෑත් ඇති පුදැදුරු වරුන් ඔබ තුළ සොයනු ඇත;  තමන් සහ තම ලාභාපේක්ෂා අමතක කරන පුදැදුරුවරුන් ජනතාව ඔබ තුළ සොයනු ඇත; තමන් තෘප්තියට පත්කරන මධුර වූ ප්‍රේමයේ බලය දිනපතා ම දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයෙන් උකහා ගන්නා බැවින් කිසිවිටෙක අධෛර්යයට පත් නොවන පුදැදුරුවරුන් ද, සිය සහෝදර ජනතාව වෙනුවෙන් පිදෙන යහපත් පූපයක් බවට පත් වී ඔවුන් විසින් තමන් "අනුභව" කරනු ලැබීමට බිය නොවන පුදැදුරුවරුන් ද ජනතාව ඔබ තුළ සොයනු ඇත." 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය