ළමයින් ලිංගික අපරාධ වලින් ආරක්ෂා කිරීමේ වතිකාන කොමිෂන් සභාව නව සාමාජිකයන්ද සහිතව යළි පත් කෙරේ

Commission for the Protection of Minors reconfirmed; 9 new members appointed 


(2017 පෙබරවාරි 17)
ළමයින් සහ සහ අනතුරට ලක්විය හැකි වැඩිහිටියන් ආරක්ෂා කිරීම පිලිබඳ සසුනිසුරු කොමිෂන් සභාවේ සාමාජිකත්වය ස්ථිර කර එහි කාලය තව දුරටත් දීර්ඝ කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර  ඇති බව වතිකානය අද නිවේදනය කළේය.

'බාලයන්ගේ  ආරක්ෂාව සහතික කිරීම පිලිබඳ සසුනිසුරු කොමිෂන් සභාව' යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම කොමිසම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පිහිටුවන ලද්දේ ළමයින් සහ අනතුරට ලක්වන සුළු වැඩිහිටියන්, පූජකයන් සහ කතෝලික ගිහි නායකයන් ගේ ලිංගික අපචාර වලට ගොදුරු වීම වැලැක්වීම සම්බන්ධයෙන් ශුද්ධාසනයට උපදෙස් දීම සඳහාය. තුන් වසරක් සඳහා පත් කෙරුණු මෙම කොමිසමේ කාලය ඉකුත් දෙසැම්බර මාසයේ අවසන් විය. ඉන් පසුව සුදොතුම් පියතුමා කවර තීරණයක් ගනු ඇත්දැයි ලොව පුරා විචාරකයන් ගේ අවධානය යොමු වී තිබුනේය. කතෝලික සභාවට කළු පැල්ලමක් වී තිබුණු පූජක ළමා අපචාර සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අසමත් වෙතොත් එතුමාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ විශ්වසනීයත්වය අභියෝගයට ලක්වනු ඇති බව ඔව්හු කියා සිටියහ.

එහෙත් කොමිසම යළි ස්ථිර කිරීමට කල් ගැනීම මගින් සේම ඊට අලුතින්ද සාමාජිකයන් පත් කිරීම මගින් පැහැදිලි වන්නේ සුදොතුම් පියතුමා මෙම ගැටලුව ගැන කාටත් වඩා ගැඹුරින්  හා බරපතල ලෙස කල්පනා කරන බවයි.

ඇමෙරිකාවේ බොස්ටන්හි අගරදගුරු ෂෝන් ඔමැලි කාදිනල් හිමියන් කොමිසමේ සභාපතිවරයා ලෙස යළි පත්කරනු ලැබ ඇති අතර එහි මෙතෙක් කටයුතු කල සාමාජිකයන් සත් දෙනා යලිත් එම තනතුරු වල ස්ථිර කර තිබේ. ඊට අමතරව අලුතින් සාමාජිකයන් 9 දෙනෙක් ද කොමිසමට පත් කරනු ලැබ සිටිති.

මෙතෙක් කොමිසමේ සිටි සාමාජිකයන් හා අලුතින් පත් කරන ලද සාමාජිකයන් ඇතුළුව කොමිසමේ සමස්ත සාමාජිකත්ව සංයුතිය මගින් ලෝකයේ සෑම ප්‍රදේශයක් ම නියෝජනය වේ. ඉතියෝපියාව, ඉන්දියාව, ටොන්ගාව (අප්‍රිකා මහාද්වීපය), ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ඉතාලිය, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ බ්‍රසීලය යන රටවලින් නව සාමාජිකයෝ පත් කරනු ලැබ සිටිති. මෙතෙක් ඊට අයත්ව සිටි සාමාජිකයෝ පිලිපීනය, කොලම්බියාව, ජර්මනිය, පෝලන්තය, සැම්බියාව, දකුණු අප්‍රිකාව යන රටවලට අයත් වෙති. එසේම මෙම සමාජිකයන් අතර ළමා අපචාර වලට අදාළ විවිධ  අංශ වලට අයත් විශේෂඥයෝ ද වෙති.

මෙම සාමාජිකයන් පත් කිරීමේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගැඹුරු  යාච්ඥාවෙන් යුතුව සැලැකිල්ල යොමු කර ඇතැයි  කොමිසමේ සභාපති ෂෝන් ඔමැලි කාදිනල් හිමි  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

16 දනෙකුගෙන් සමන්විත මෙම කොමිසමේ සාමාජියන්ගෙන් 8 දෙනෙක් කාන්තාවන් වන අතර 8 දෙනෙක් පිරිමි අය වෙති. ළමයින් හා අනතුරට ලක්වන සුළු වැඩිහිටියන් ළමා ලිංගික අපරාධ වලට ගොදුරු වීම පිලිබඳ විවිධ විෂයන් සම්බන්ධ විශේෂඥයෝ ඊට ඇතුලත් කරනු ලැබ සිටිති. මෙම සාමාජිකයන් අතර පූජකවරුන් අතින්  ලිංගික අතවරයට ලක්වුවන් හා අතවරයට ලක්වුවන් ගේ දෙමාපියෝ කිහිප දෙනෙක් ද වෙති. එහෙත් ඒ පිලිබඳ තොරතුරු පෞද්ගලිකව සහ රහසිගතව තබා ගැනීමට එම සාමාජිකයන් තීරණය කර ඇතිබව මේ සම්බන්ධයෙන් වතිකාන ජනමාධ්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

ගත වූ වසර තුන තුළ මෙමෙ කොමිෂන්  සභාව  ළමා ලිංගික අපචාර  වැලැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග රැසක් ගත්  අතර ලොව පුරා රටවල් රැසක උපදේශක සේවා ක්‍රියාත්මක කළේය. ළමයින් පූජක අපචාර වලින් වලක්වා ගැනීම සම්බන්ධයෙන් නව සභා නීති ද හඳුන්වා දෙනු ලැබිණ. පදවියක සිදුවන එවැනි අපචාර සම්බන්ධයෙන් එහි රදගුරු තුමා වගකීම භාරගත යුතුය යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පනවන ලද එක්  නව නීතියකි. 

(සේයාරුව: සුදොතුම් පියතුමා ෂෝන් ඔමැලි කාදිනල් හිමි සමග)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය