භා. සවැනි පාවුළු පාප් වහන්සේ සාන්තුවරයට - එතුමන් ගේ මැදිහත්කමින් සිදු වූ දෙවැනි ප්‍රාතිහාර්යය වතිකානය විසින් පිළිගැනේ

Pope Bl. Paul VI to be canonized; Vatican congregation approves miracle 


(2018 පෙබරවාරි 6)
භාග්‍යවන්ත සවැනි පාවුළු පාප් වහන්සේ සාන්තුවරයට එසැවීමට අවශ්‍ය වන දෙවැනි ප්‍රාතිහාර්ය වතිකානයේ සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ පර්ෂදය විසින් අද (පෙබරවාරි 6 වැනිදා) අනුමත කෙරිණ. මේ  අනුව මේ වසර අවසන් භාගයේ එතුමන් සාන්තුවරයට එසැවෙනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අද පැවැත්වුණු එම පර්ෂද රැස්වීමේ දී එම ප්‍රාතිහාර්ය ඒකච්ඡන්දයෙන් අනුමත වූ බව වතිකානය නිවේදනය කළේය. මෙම සාන්තුවර ක්‍රියාමාර්ගයේ ඊළඟ පියවර එය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමයි. ඉන් පසුව සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ දිනය තීරණය කෙරෙනු ඇත.

වතිකාන ආරංචි මාර්ග පවසන්නේ මේ වසරේ ඔක්තෝබර මාසයේ වතිකානයේදී පැවැත්වෙන තරුණ තරුණියන් පිලිබඳ රදගුරු සිනෝඩ් සභාව අතරතුර එතුමන් සාන්තුවරයට එසවීමට ඉඩ ඇති බවයි.

පස් මසක නූපන් දරුවකු සුවපත් කළ ප්‍රාතිහාර්යය 

මව් කුසේ මාස පහක් වයස් වූ නූපන් දරුවකු ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා භා. සවැනි පාවුළු පාප් වහන්සේ ගේ  මැදිහත් වීම මේ ප්‍රාතිහාර්යයයි..

එම ප්‍රාතිහාර්යය මෙසේය:
ඉතාලියේ වෙරෝනාවේ මවකගේ කුසෙහි  පිළිසිඳගෙන සිටි දරුවකට දරුණු රෝගයක් වැළඳුනේය. ඒ වන විට දරු ගැබට  මාස පහක් විය.  මෙම රෝගය නිසා මවගේ ජීවිතයත් කුසේ සිටි දරුවාගේ ජීවිතයත් දැඩි අනතුරකට ලක්ව ඇති බව වෛද්‍යවරු තේරුම් ගත්හ. මේ නිසා දරුවා ගබ්සා කරන්නැයි වෛද්‍යවරු මේ මවට උපදෙස් දුන්හ. එහෙත් දරුවා ගබ්සා කිරීමට මව කිසිසේත් කැමති වූයේ නැත.

2014 ඔක්තෝබර 14 වැනිදා සවැනි පාවුළු පාප්තුමන් භාග්‍යවරයට ඔසවන ලද්දේ මේ අතරය. මේ බව ඇසූ මෙම මව මේ සම්බන්ධයෙන් එතුමනට යාච්ඥා කිරීමට තීරණය කළාය. මන්ද එතුමන් භාග්‍යවරයට එසැවීමට හේතු වූ පළමු ප්‍රාතිහාර්ය වූයේ නූපන් දරුවකු එතුමන් ගේ මැදිහත් කමින් සුවය ලැබීමයි.

ඇය බ්‍රැසියාවේ පිහිටි  වරප්‍රසාදයේ මරිය වහන්සේ ගේ සිද්ධස්ථානය වෙත ගියාය. එහි දනින් වැටී තම දරුවා සුවපත් කර දෙන ලෙස භාග්‍යවන්ත සවැනි පාවුළු පාප්තුමනට යාච්ඥා කළාය.

මෙම මවට ලැබුණු දැරිය ඉතා හොඳ සෞඛ්‍යයෙන් යුතුව උපත ලැබුවාය. මේ දක්වා ඇය ඉතා හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වෙයි. 

මෙම දැරියගේ සුවපත්වීම වෛද්‍ය විද්‍යාව අනුව විස්තර කල නොහැකි බව මෙම සිද්ධිය ගැන පරියේෂණය කිරීම සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලය නිගමනය කළේය. ඒ අනුව සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ පර්ෂදයේ දේව ධර්මවේදී උපදේශක මණ්ඩලය  තීරණය කලේ එය භා. සවැනි පාවුළු පාප් වහන්සේ ගේ මැදිහත්කමින් සිදු වූ ප්‍රාතිහාර්යයක් ලෙස පිළිගත  හැකි බවයි.

සවැනි පාවුළු පාප් වහන්සේ කතෝලික සභා ඉතිහාසයේ නොමැකෙන පිය සටහනක් තැබූ සුදොතුම් පියෙතුමෙකි, එතුමන් සභාවට කල කාලෝචිත සේවාව නම් 23 වැනි ජුවාම් පාප් වහන්සේ විසින් ආරම්භ කරන ලද දෙවන වතිකාන කතිකාව සාර්ථක පරිසමාප්තියක් කරා ගෙන ඒමයි. කතෝලික සභාව නැවුම් පුබුදුවකට ගෙන එන ලද්දේ මෙම කතිකාව මගිනි. නව රෝමානු මිසල් පොත පාදක  කොටගත් විශ්වාසිකයන් පූර්ණ වශයෙන් දිව්‍ය පූජාවේ කොටස් කරුවන් කරගන්නා ජනවන්දනාව එතුමන් සභාවට දුන් මහඟු තිළිණයකි.

1897 සැප්තැම්බර් 26 වැනිදා ඉතාලියේ ලොම්බාදී පළාතේ කොන්චේසියෝ හි උපත ලැබූ එතුමාගේ   උත්පත්ති නම ජියෝවන්නි මොන්ටීනි ය. 1920 දී යොවුන් ජියොවන්නි  පුදැදුරුවරය ලැබන විට ඔහුගේ  වයස අවුරුදු 22 ක් විය. වතිකානයේ විදේශ තානාපතිවරුන් පුහුණු කරන විද්‍යාලයේ පුහුණුව ලැබූ ජියොවන්නි පියතුමා වතිකාන රාජ්‍ය ලේකම් කාර්යාලයේ සේවය සඳහා පත් කරනු ලැබිණ. වසර 30ක් පමණ එම කාර්යාලයේ වගකිව යුතු තනතුරු රැසක එතුමා සේවය කළේය.

1954 දී 12 වන පියුස් පාප් වහන්සේ විසින් එතුමා මිලානෝ හි අගරගුරු තුමන් ලෙස පත්කරනු ලැබිණ. 1958 දී 23 වන ජුවාම් පාප් වහන්සේ විසින්  එතුමා කාදිනල්වරයකු ලෙස පත් කෙරින. එතුමන් පාප්තුමන් ලෙස තෝරාගන්නා ලද්දේ 23 වන ජුවාම් පාප් තුමන් ස්වර්ගස්ථ වීමෙන් පසුව පැවැත්වුණු පාප් වරණ දැහැනේ දී 1963 ජුනි 21 වැනිදාය.

සාම්ප්‍රදායිකව 'වතිකානයේ සිරකරුවා' ලෙස පාප් වහන්සේ ලබා සිටි  විරුදය වෙනස් කරමින් විදේශ අපෝස්තලික ගමන්වල යෙදීම ආරම්භ කරන ලද්දේ ද ඊතුමන් විසිනි. මෙම වන්දනා ගමන් ආරම්භ කරමින් එතුමා 1964 දී සුද්ධ වූ දේශයට ගියේය. එසේම මෙම ගමනේ දී එතුමා ග්‍රීක ඕතඩොක්ස් සභාවේ කොන්ස්තන්තිනෝපලයේ පේත්‍රියාක් වරයා වූ ඇතනගොරස් පෙත්රියාක් තුමා මුණගැසුණේය. මෙම ඓතිහාසික හමුව සභා අතර සංවාදයේ ප්‍රබල ආරම්භක පිය සටහනක් විය. එම වසර අවසානයේ ම ඉන්දියාවට සැපත් වූ එතුමා ආසියාවට පැමිණි පළමු පාප් වහන්සේ බවට ද පත්විය. සවැනි පාවුළු පාප් තුමා පැය  කිහිපයක ඉතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ට ද පැමිණියේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය