"ඔබ ඔබේ ප්‍රසාද ස්නාපන දිනය උත්සවාකාරයෙන් සමරනවාද?" සුදොතුම් පියතුමා අසයි. "නැතිනම්, එය සමරන්න පටන් ගන්න. එය කිතුනුවාගේ අනන්‍යතාවයි"

"Do you celebrate your Baptism Day?" Pope asks Christians on the Feast of the Baptism of the Lord


(2018 ජනවාරි 07)
ඔබ ඔබේ උපන් දිනය සතුටින්, උත්සවාකාරයෙන් සමරනවා නිසැකය. එහෙත් ඔබේ ප්‍රසාද ස්නාපන දිනය එසේ සමරනවාද? අඩුම තරමින් ප්‍රසාද ස්නාපන දිනය ඔබ  දන්නවාද?

කිතුනුවකු ගේ ප්‍රසාද ස්නාපන දිනය උපන් දිනයටත් වඩා වැදගත් දිනයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ප්‍රසාද ස්නාපනය ලැබූ ඒ මොහොත කිතුනුවකු සිය අනන්‍යතාව ලබාගත් මොහොතයි. එය  දෙවියන් වහන්සේ ගේ පව් සමාවේ  සහ දේව වරප්‍රසාදීය නදියේ අප  ගිලී පිවිතුරු වූ මොහොතයි. මේ නිසා එම දිනය අමතක කිරීම නිසා  ජේසු සමිඳුන් අප වෙනුවෙන් කල දේ මතකයෙන් ගිලිහී යාමේ අනතුරට වුවද ලක්විය හැකියි" යයි එතුමා පෙන්වා දෙයි.

ජනවාරි 7 වැනි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට එක්වෙමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය.

මෙදින තුන්කාල ආරාධනා යැදුමේ භාවනාවට  එතුමා විෂය  කරගත්තේ මෙදින සමරන ලද ජේසු සමිඳුන් ගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයේ සිද්ධියයි. ජනවාරි 7 වැනි ඉරිදා සමරන ලද මෙම මංගල්‍යයත් සමග නත්තල් සමය නිමාවට පත්වෙයි. මීට කලින්, ඉරිදා උදාසන සිස්ටයින් දෙව්මැදුරේ පැවැත්වුණු දිව්‍ය පූජාවේ දී සුදොතුම් පියතුමා ළදරුවන් 34 දෙනෙකුට ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුව දානය කළේය.

ජේසු සමිඳුන් ගේ  ප්‍රසාද ස්නාපන මංගල්‍යය, සෑම කිතුනුවෙකුටම සිය ප්‍රසාද ස්නාපන දිනය සිහිපත් කිරීමට ආරාධනා කරන බව තුන්කාල ආරාධනාව සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට එක්ව සිටි වන්දනාකරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"ජේසු සමිඳුන් ගේ ප්‍රසාද ස්නාපනය යනු උන්වහන්සේ ගේ බැහැපත් කම ප්‍රකාශ වීමකි. එසේම එය මනුෂ්‍යත්ව නදියේ ගිලීමට එතුමන් තුළ වූ කැමැත්ත ප්‍රකාශ  වීමකි. ... මානව වර්ගයා ගේ ඉරණම භාර ගන්නා බවට තමන් විසින් දෙන ලද පොරොන්දුව ජෝර්දාන් නදී තෙර දී දෙවියන්වහන්සේ ඉටු කළ සේක. එහි ප්‍රත්‍යක්ෂ සහ නියත සලකුණ ජේසු සමිඳාණෝ යි" යි එතුමා පෙන්වා දුන්නේය.

දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයේ ඉරණම භාර ගත්තේ ශුද්ධාත්මයාණන් තුළිනි. පියාණන් විසින් අපගේ ප්‍රසාද ස්නාපන දිනයේ දී අපට දානය කරන ලද තිළිණය ශුද්ධාත්මයාණෝ යි. දෙවියන් වහන්සේ ගේ පව් සමාවේ මෘදුබව අපට සන්නිවේදනය කරන්නේ ශුද්ධාත්මයාණෝයි."

මෙදින සුබ අස්න ගෙනහැර පෑ සුදොතුම් පියතුමා ස්නාවක ජුවාම් තුමාගෙන් ප්‍රසාද ස්නාපනය ලබා ගැනීම සඳහා ජෝර්දාන් නදිය වෙත පැමිණි ජනතාව සිය පව් පිළිගත් අතර නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා පවිත්‍ර වීමට ඔවුනට අවශ්‍ය වූ බව පෙන්වා දුන්නේය. "ජේසු සමිඳුන් ගේ විශිෂ්ට බැහැපත් කම මෙයින් අපට තේරුම් ගත හැකිය. තමන් තුළ පාපයක් නොමැති නමුත්, උන්වහන්සේ තමන් ද මනස්තාප වුවන් සමග එක්කරගනිමින්, ජෝර්දාන් නදියේ ජලයෙන් තමන් ද ස්නාපනය  කරගනු ලැබීමට ඔවුන් සමග මුසු වූහ"

"මතෙව් තුමන් ගේ සුබ අස්නට අනුව, ජේසු සමිඳුන් ජලයෙන් පිටතට ආ සැනින් ස්වර්ගය විවර වී ශුද්ධාත්මයාණන් පරෙවියකු විලසින් එතුමන් මත පහල වනු උන්වහන්සේ දුටු සේක. මැවිල්ල ආරම්භයේ ක්‍රියාකළ ශුද්ධාත්මයාණෝ , මෝසස් සහ ඊශ්‍රායෙල් ජනතාව කාන්තාරය මැදින් ගමන් කරද්දී ඔවුනට මග  පෙන්වූ ශුද්ධාත්මයාණෝ, දැන් ජේසු සමිඳුන් ගේ මෙහෙවර සම්පූර්ණ කිරීම සඳහා උන්වහන්සේ ශක්තිමත් කිරීමට සිය පූර්ණත්වයෙන් උන්වහන්සේ මත පහළ වන සේක. ජේසු සමිඳුන් ගේ ස්නාපනයේ කර්තෘවරයා ශුද්ධාත්මයාණෝ ය. සත්‍යයේ හදවතෙහි නෙත් විවර කරන්නෝ ශුද්ධාත්මයාණෝ ය. අපගේ ජීවිත දයාවේ මාර්ගයට යොමු කරන්නෝ ශුද්ධාත්මයාණෝ ය. "

" ප්‍රසාද ස්නාපනය නිසා අප හුදෙක් 'ක්‍රිස්තුන් වහන්සේ නම් සළුව' පැලැඳි නව මැවිල්ලක් බවට පත්වෙනවා පමණක් නොවේ. අපට හිරිහැර කරන්නන්ට සහ රිදවන්නන්ට සමාව දී ඔවුනට ආදරය කරන්නට ද මේ මගින් අපට බලය ලැබේ. එසේම දුප්පතුන් හා අන්තිමයන් තුළ ජේසු සමිඳුන් ගේ මුහුණ හඳුනා ගැනීමට එයින්  අපට වරප්‍රසාද ලැබේ" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

මේ නිසා අපගේ ප්‍රසාද ස්නාපන දිනය සිහිපත් කිරීම බෙහෙවින් වැදගත් බව එතුමා පෙන්වා දුන්නේය.

"ඔබගේ ප්‍රසාද ස්නාපන දිනය ඔබට දන්නවා ද?" යි මෙහිදී එතුමා එහි රැස්ව සිටි වන්දනාකරුවන්ගෙන් විමසුවේය. "ඔබ එය නොදන්නවා නම්, අද ගෙදර ගිය විට ඔබගේ දෙමාපියන්ගෙන්, ආච්චි-සීයාගෙන් හෝ ඥාන මව්පියන්ගෙන් අසා දැනගන්න. මන්ද එය අප නිරන්තරයෙන් මතක තබා ගත යුතු පව් සමාවේ සහ වරප්‍රසාදයේ දිනයයි" එතුමා සඳහන් කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය