සුදොතුම් පිය ගුවන් යානයේ විකසිත වූ ආදරයේ මල් - ගුවනේ දී ගුවන් සේවක යුවලක් ආශීර්වාදකාර බන්ධන (විවාහ) ප්‍රසාද නිධානය ලබති

Holy Father blesses the marriage of two flight attendants aboard the papal plane


(2017 ජනවාරි 18)
චිලි රටේ ගුවන්දී අද  (ජනවාරි 18) පෙරවරුවේ ආදරයේ මල් පිපුණේය.

ඒ ප්‍රේමයේ කුසුම් විකසිත වීමට ආශීර්වාදය දානය කරන ලද්දේ නිතර අනපේක්ෂිත දේ කරමින් ලොව මවිත කරන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසිනි. මේ අනුව ගුවන් යානයක් තුළ කතෝලික විවාහ මංගල මෙහෙයක් සිදුකළ ප්‍රථම පාප්වහන්සේ ලෙසද එතුමා ඉතිහාසයට එක්වේ.

එතුමන් විසින් ආශීර්වාදකාර බන්ධන (විවාහ) සක්‍රමේන්තුවට ඇතුළත් කරන ලද්දේ ලෑටෑම් (LATAM) ගුවන් සේවාවේ ගුවන් සේවිකා -සත්කාරක  යුවලකි. 39 හැවිරිදි ගුවන් සේවිකා පාවුලා රුවිස් සහ 41 හැවිරිදි සත්කාරක කාලෝස් සියුෆාදි එලොරියාගා එම යුවලයි. සිවිල් නීතිය යටතේ විවාහ වී සිටි ඔවුහු  අවුරුදු 8ක් එකට ජීවත් වෙමින් සිටියහ. ඔවුන්ට රෆායෙලා සහ ඉසබෙලා නමින් දූවරු දෙදෙනෙක් ද සිටිති. එහෙත් මෙතෙක් ඔවුන් "පල්ලියෙන් විවාහ වී" තිබුනේ නැත.

 සුදොතුම් පියතුමා ඇතුළු පිරිස රැගත් ලෑටෑම් ගුවන් යානය චිලියේ එක් නගරයක සිට තවත් නගරයක් වෙත ගමන් කරමින් තිබිණ. ඒ වන විට යානය අඩි 36,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබුණේය. සාම්ප්‍රදායික ලෙස ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවන්නට ගොස් එතුමා වටකරගෙන සිටියහ.හමුව අවසානයට පැමිණෙන විට පාවුලා සහ කාලෝස් සුදොතුම් පියතුමා ගෙන් ප්‍රශ්නයක් ඇසූහ.

"අපේ විවාහ මුද්ද ආශීර්වාද කර දෙන්න පුළුවන් ද?"
සුදොතුම් පියතුමා මඳක් ඔවුන් දෙස බලා සිට ඔවුන්ගෙනුත් ප්‍රශ්නයක් ඇසුවේය:
"ඔබ පල්ලියෙන් විවාහ වෙලා නැද්ද?"
ඔවුනට දෙව්මැදුරේ දී විවාහ වීමට නොහැකි වූ බව මේ යුවල කියා සිටියහ. "සන්තියාගෝවේ තිබුණු අපේ පල්ලිය 2010 පෙබරවාරි භූමිකම්පාවෙන් විනාශ වුණා. ඉතින් අපට විවාහ වෙන්න පල්ලියකට යන්න බැරිවුනා." ඔවුහු පිළිතුරු දුන්හ.
එවිට සුදොතුම් පියතුමා මෙසේ ඇසුවේය:
"ඉතින් මම ඔබ දෙදෙනාව විවාහ කරන්නද ?"
මේ බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයෙන් පාවුලා සහ කාලෝස් මුලින්ම මවිත වූහ. සැනෙකින්ම ඔව්හු ප්‍රීතියෙන් පුපුරා ගියහ.
"අපි කැමතියි"

සාක්ෂි කරුවන් දෙදෙනකු සොයන ලෙස සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේය. එම ගුවන් සේවාවේ ගමන් කරමින් සිටි මේ යුවල ගේ ආයතන ප්‍රධානියා වන ලෑටෑම් ගුවන් සේවාවේ සභාපති ඉග්නාසියෝ කුවෙන්තෝ සහ චීලි ජාතික ෆෙලිපේ හෙරේරා පියතුමා ඉතා සතුටින් ඒ සඳහා ඉදිරිපත් විය.

යානයේ සිටි මාධ්‍ය වේදීන් ඇතුළු සියල්ලන් ප්‍රීතියෙන් පුරවමින්  මේ පුවත ගුවන් යානය පුරා ප්‍රචාරය  වීමට මොහොතක් වත් ගත වුනේ නැත.

සුදොතුම් පියතුමා විවාහ මෙහෙයේ යාච්ඥා සිය මතකයෙන් උච්චාරණය කළේය. ඉන් පසුව කාලෝස් සහ පාවුලා ගෙන් විවාහ පොරොන්දු ගත්තේය.  මුදු ආශීර්වාද කර හුවමාරු කරගන්නට මීසමේ පියතුමා මෙන් උපදෙස් දුන්නේය.

අහසේ සිදුවූ විවාහ මෙහෙයෙන් පසුව යුවල එහි සිටි මාධ්‍යවේදීන්ට සිය අත්දැකීම විස්තර කළහ.


"ගුවන් යානයේ විවාහ වීමේ අදහස අපේ නොවේ. සුදොතුම් පියතුමා ගේ. අපි පුදුම වුනා. ඒත් සතුට දරා ගන්න බැරිවුනා..." කාලෝස් මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. "එතුමා අප විවාහ කළා පමණක් නොවේ. එය සභා නීතිය සහ සිවිල් නීතිය යටතේ නීත්‍යනුකුල කළා" ඔහු කීවේය.

"මේ කතෝලික විවාහය ප්‍රසිද්ධ කලාට කමක් නැද්ද කියා එතුමා අපෙන් ඇහැව්වා. අපි කිව්වා කමක් නැහැ කියා. එවිට එතුමා මෙසේ කීවා: 'ඒක හුඟක් හොඳයි. මේ සිද්ධිය ඇසුවාම සිවිල් නීතිය යටතේ විවාහ වූ අය පල්ලියෙන් විවාහ වෙන්න දිරිමත් වේවි'."

මේ සම්බන්ධයෙන්  වතිකානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් මාධ්‍යවේදීන් අමතමින් මෙසේ කීවේය: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ යුවල විවාහ දිවියට ඇතුලත් කළා. සියල්ල වලංගුයි. සියල්ල නීත්‍යනුකුලයි; සභා නීතියට අනුකූලයි. සාක්ෂි කරුවන් සිටිනවා. නිල විවාහ සහතිකයකුත් තිබෙනවා."

එහි සිටි චීලි ජාතික පියතුමා විසින් අතින් ලියන ලද විවාහ ලේඛනයට විවාහක යුවලත් සාක්ෂි කරුවනුත් අත්සන් තබා තිබිණ.


විවාහ මංගල්‍ය මෙහෙයේ අවසන් කොටසේ දී මේ ජේසු නිකායික සුදොතුම් පියතුමා වෙතින් ගලා හා හාස්‍ය රසය ගැනද කාලෝස් වාර්තාකරුවනට කීවේය:
"එතුමා අප වෙනුවෙන් යාච්ඥා කළා. ඒ වගේම විහිලු තහලුත් කළා. අප මුදු පළඳින විට එතුමා මෙසේ කීවා:
'පරිස්සම් වෙන්න. මුදු වැඩියෙ හිරවෙන්න දාන්න එපා. ඒක  වදයක් වෙන්න පුළුවන්. ඒවා ඕනෑවට වඩා බුරුලට දාන්නත් එපා. ගැලවිලා වැටෙන්න පුළුවන්' "

සියල්ලන් සිනහ ගන්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  කී  මේ කාරනාවේ සැඟවී ඇති ප්‍රබල පණිවිඩය තේරුම් ගත හැකි වෙතොත් කාලෝස් සහ පාවුලා ගේත් විවාහ ජීවිතයට එක් වූ සියල්ලන් ගේත් ජීවිත සාර්ථක වනු නියතය.
''පරිස්සම් වෙන්න. මුදු වැඩියෙ හිරවෙන්න දාන්න එපා. ඒක  වදයක් වෙන්න පුළුවන්. ඒවා ඕනෑවට වඩා බුරුලට දාන්නත් එපා. ගැලවිලා වැටෙන්න පුළුවන්"



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය