සුදොතුම් පියතුමා තවත් අභියෝගාත්මක අපෝස්තලික ගමනක: චීලි සහ පීරු රටවල සංචාරයේ වැළලී ඇති 'බිම් බෝම්බ'

Hot spots in Pope Francis' Apostolic Visit to Chile and Peru 

පීරු රටේ ඇමේසන් වනාන්තරයක ජීවත්වන යගුවා ගෝත්‍රිකයෙක් (Vatican News)


(2018 ජනවාරි 14)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලයේ 22 වන විදේශ අපෝස්තලික ගමන ජනවාරි 15 වන සඳුදා ආරම්භ කරයි.

මෙවර එතුමා ගමන් කරන්නේ දකුණු ඇමෙරිකාවේ චිලි සහ පීරු රාජ්‍ය වලටයි. මෙය එතුමා සිය මහාද්වීපය වන ලතින් ඇමෙරිකාවට කරන 6 වැනි චාරිකාවයි. ලතින් අමෙරිකාවේ රටවල් අතරින්  එතුමා මෙතෙක් බැහැදැක නැත්තේ සිය මව්රට වන ආජන්ටිනාව හා උරුගුවේ රාජ්‍යයයි. මෙවර චිලි බලා යන ගමනේ දී එතුමා පියාසර කරන්නට නියමිතව ඇත්තේ ආර්ජන්ටිනාවට ඉහළිනි. ආජටිනාවට ඉහලින් පියාසර කරද්දී එතුමා එරටට කවර පණිවිඩයක් ලබා දෙනු ඇත්දැයි විචාරකයන් බලා සිටිනු ඇත.

රෝමයේ සිට පැය 16ක ගුවන් ගමනකින් පසුව ජනවාරි 15 වනදා සන්ධ්‍යාවේ එතුමා චීලියේ සන්තියාගෝ අගනුවරට  සැපත්වීමට නියමිතයි.

සුදොතුම් පියතුමා අපෝස්තලික ගමන්  සඳහා යන බොහෝ රාජ්‍ය ඉතා පරෙස්සමින් පා තැබිය යුතු 'බිම් බෝම්බ යායවල්'ය යන්න විචාරකයන් ගේ මතයයි. චීලි සහ පීරු මෙම කාණ්ඩයෙන් වෙනස් නොවේ. අයිතිවාසිකම් අහිමිව අරගලයක යෙදී සිටින ආදිවාසී ජනයාගේ ඉරණම, වහා  විසඳුම් සෙවිය යුතු අන්ත දරිද්‍රතාව, සමාජ සහ ආර්ථික විෂමතාව, ඔඩුදුවා ඇති දූෂණය සුදොතුම් පියතුමා  විසින් කතා කරනු ඇති බවට බලාපොරොත්තු වන එවැනි අර්බුද කිහිපයකි. ඊට සමානම තවත් බරපතල අර්බුදයක්ව පවතින්නේ චීලි රාජ්‍යයේ කතෝලික පූජකවරුන් ද  පීරුවේ කතෝලික ගිහි නායකයන්ද වෙත ළමා අපචාර පිලිබඳ චෝදනා එල්ල වී ඇති  පරිසරයයි.

ජනතාවගෙන් විශාල පිරිසක්  දුප්පත්කමින් පෙලෙන තම රටේ ආණ්ඩුව  විසින් සුදොතුම් පිය සංචාරයක් සඳහා මෙතරම් විශාල මුදලක් වියදම් නොකළ යුතුයැයි පවසමින් චිලියේ විරුද්ධ පක්ෂ කණ්ඩායමක් විසින්  විරෝධතාවක් එල්ල කිරීම නිසා මෙම තත්වය තවදුරටත් උණුසුම් වී තිබේ. ඊට අමතරව සන්තියාගෝ අගනුවර දෙව්මැදුරු තුනකට කිසියම් කණ්ඩායමක් විසින් ඉකුත් සිකුරාදා බෝම්බ ප්‍රහාර එල්ල කර තිබිණි. තර්ජනාත්මක පත්‍රිකා කිහිපයක් ද ප්‍රහාරකයන් විසින් එම දෙව්මැදුරු අසල දමා ගොස් තිබිණි. "අපගේ සිරුරු, අපගේ අදහස් සහ ක්‍රියාමාර්ග ගැන අධිකාරීත්වයක් ඔබට නැත. මන්ද අප ඉපදුනේ නිදහස්වය. මේ නිසා අප ගමන් කළ යුතු මාර්ගය තෝරාගැනීමේ නිදහස අපට තිබේ.  - සෑම තාපසයකුටම, පැවිදිවරියකටම සහ දේශකයකුටම එරෙහිව " යනුවෙන් ද  එම පත්‍රිකාවල සඳහන් විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනයක් ඒවායේ සඳහන්ව තිබිණි.

මේ නිසා මෙම අපෝස්තලික ගමන සැලැසුම් කරද්දී සිතුවාට වඩා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. කෙසේ නමුදු,  එහෙත් එවැනි 'බිම් බෝම්බ යායවල' පරෙස්සමින් හා නොබියව  පා තැබීම ගැන මෙතෙක් ආදර්ශයක් වී ඇති ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දෙරටේදීද ප්‍රබල පණිවිඩ ලබා දෙනු ඇතැයි වතිකාන සහ ලතින් ඇමෙරිකා විචාරකයෝ බලාපොරොත්තු පල කරති.

දුප්පත්කම සහ ආදිවාසීන්ගේ අරගලය  

ජනවාරි 16 වනදා පෙරවරුවේ චීලි ජනාධිපති මිචෙල් බැචෙලෙට් මුණගැසෙන එතුමා ජනාධිපති මාලිගයේ දී මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇමතීමට නියමිතයි. චීලි ආණ්ඩුව බොහෝ ආඩම්බර වන නමුත් රට තුළ විශාල සමාජ  ආර්ථික විෂමතා සහ දුෂණය ඇතිකිරීමට හේතු වී තිබෙන  එරට ආර්ථිකය ගැන එතුමා මෙහිදී අදහස් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එදින පස්වරුවේ එතුමා එරට කාන්තා බන්ධනාගාරයක් බැහැදකින්නට යයි. ඉන්පසුව පුදැදුරුවරුන් සහ දෙව්සත්හල් සිසුවන් ඇමතීමට නියමිත එතුමා එරට සිය ප්‍රථම දිව්‍ය පූජාව පවත්වන්නේ ඉන් අනතුරුවයි. මානව ගරුත්වය හා මානව අයිතිවාසිකම් ගැනත්, පීඩනයට එරෙහිවත් හඬ නගන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම  දිව්‍ය පූජාවේ දී සාඩම්බර චීලි කතෝලිකයන් ලෙස සැලකෙන  රාවුල් සිල්වා හෙන්රිකස් කාදිනල්හි මියන්, අල්බර්තෝ හර්තාඩෝ ජේනි පියතුමා  ඇතුළු පිරිස සිහිපත් කරනු ඇත. චීලි ජනතාව මත දැඩි පීඩනයක් ඇති කල ආඥාදායක පාලක අගෝස්තෝ පිනෝචේ ගේ දක්ෂිනාංශික රෙජීමයේ ජනතා විරෝධී ප්‍රතිපත්ති විවේචනයට ලක් කල මෙම කතෝලික  නායකයෝ පිනෝචේ රෙජීමයේ තුවක්කුකරුවන් ගේ ගොදුරු බවට පත් වූහ. මේ අතරින් අල්බර්තෝ හර්තාඩෝ ජේනි පියතුමා සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම දිව්‍ය පූජාවෙන් පසුව එතුමා චිලියේ ජේසු නිකායිකයන් සමග සුහද සන්ධ්‍යාවක් ගත කිරීමට නියමිතයි. (ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙතෙක් කල විදේශ සංචාර අතරින් එතුමාට සිය සහෝදර ජේසු නිකායිකයන් සමග සමීපව සහ නිදහසේ පිළිසඳරක යෙදීමට වෙලාවක් වෙන් කර නොතිබු එකම රට ශ්‍රී ලංකාවයි.)


සුදොතුම් පියතුමා ගේ අපෝස්තලික ගමනට සැරසෙමින් සිටින චීලියේ තරුණ කණ්ඩායමක් 

ජනවාරි 17 වනදා එතුමා තවත් වැදගත් ගමනක නිරතවෙයි.  එනම් ටෙමුකෝ  ප්‍රදේශයේ ජීවත්වන මපුචේ ආදිවාසීන් මුණගැසීමට යාමයි. ටෙමුකෝ පිහිටා ඇත්තේ සන්තියාගෝ අගනුවරට සැතපුම්  416ක් දකුණු දිගිනි. ඉන්කාවරුන් පරාජය කලේද ස්පාඥ්ඥ ජාතිකයනට බාධා කලේද මපුචේ ආදිවාසී කණ්ඩායමයි. එහෙත් නව චිලි ජනරජය ඇතිකිරීමේදී ඔවුන්ගේ පාරම්පරික ඉඩම් උදුරාගනු ලැබීම නිසා ඔවුනට මහත් අසාධාරණයකට ලක්වීමට සිදුවිය. දැන් ඔව්හු  සිය පාරම්පරික ඉඩම් අයිතිය ඉල්ලා අරගලයක නොරත්ව සිටිති.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කවර ආකාරයකින් හෝ ඔවුන්ගේ හඬ හා ඉල්ලීම් වලට සිය සහය ප්‍රකාශ කරනු  ඇතැයි අපේක්ෂා කෙරේ.

පරිසර සංරක්ෂණය සහ සංක්‍රමනිකයෝ 

ජනවාරි 18 වනදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමා ගේ හදවතට සමීපම කණ්ඩායමක් හමුවීම සඳහා චීලි රටේ ඉකුයිකේ  නගරයට යයි. ඉකුයිකේ නගරය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  දකුණු ඇමෙරිකාවේ විශාලතම බදු රහිත වරාය පිහිටි නගරය ලෙසයි. මේ හේතුව නිසා අසල්වැසි රටවල් රැසකින් විශාල වශයෙන් සාංක්‍රමනිකයෝ මෙම නගරයට පැමිණෙති. බොලිවියාව, කොලම්බියාව, හයිටි, පීරු සහ වැනිසියුලාව යන රටවලින් රැකියා සොයා සහ සරණාගතයන් ලෙස පැමිණෙන  සාංක්‍රමනිකයන්ගෙන් මෙම නගරය පිරී තිබේ. මෙම නගරයේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාංක්‍රමනිකයන් හා ඔවුන් පිළිගන්නා චිලි ජනතාව අමතනු ඇත.

ඉකුයිකේ නගරයේ සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පීරු රාජ්‍යයේ ලීමා  අගනුවර බලා පිටත්වෙයි. පීරු රාජ්‍යය කතෝලික දහම ශක්තිමත්ම රටකි. 31 ලක්ෂයක් වූ එරට ජනගහනයෙන් 28 ලක්ෂයක්ම කතෝලිකයෝය.

පීරු රාජ්‍යයේදී  එතුමා ප්‍රථම වරට නිරත වන්නේ පරිසර සංරක්ෂණයට අදාළ කාර්යයකයි. ජනවාරි 19 වනදා පෙරවරුවේ එතුමා එරට පුවටෝ මැල්දෝනාදෝ බලා  බලා පිටත් වෙයි. මෙම නගරය  පිහිටා ඇත්තේ ලෝ ප්‍රකට ඇමේසන් වැසි වනාන්තර ප්‍රදේශයේයි. ඇමේසන් වැසි  වනාන්තරය හැඳින්වෙන්නේ පෘථිවියේ පෙනහළු දෙකෙන් එකක් ලෙසයි. මිනිස් සිරුරේ පෙනහලුවලින් රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඊට ඔක්සිජන් එකතුකරන්නා සේ පෘථිවියේ වාතය පිරිසිදු කරන එක් දැවැන්ත වනාන්තරයකි, ඇමේසන්. එහෙත් මේ වන විට මෙම වනාන්තරයෙන් සියයට 17ක් ජාවාරම් කරුවන් විසින් විනාශ කර තිබේ.  අනෙක් අතින්  මෙම වනාන්තරය ස්වදේශික ආදිවාසී කණ්ඩායම් 350 කට අධික සංඛ්‍යාවකගේ නිවෙස වී තිබේ. මෙහිදී මෙම ස්වදේශිකයන් හමුවන සුදොතුම් පියතුමා පරිසර සංරක්ෂණය ගැන ද අදහස් දැක්වීමට නියමිතයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර පා තබන රටවල් දෙකේම කතෝලික සභාවල පූජක සහ ගිහි නායකත්වය ළමා අපචාර පිලිබඳ චෝදනා වලට ලක්වී සිටීම ද එතුමාට කතා කිරීමට සිදුවී ඇති මාතෘකාවකි. කොතැනක දී හෝ කොයි ආකාරයකින් හෝ එතුමා මේ වේදනාකාරී මාතෘකාව ආමන්ත්‍රණය කරනු ඇති බව විශ්වාස කෙරේ. එසේම චීලි රාජ්‍යයේ වර්තමාන කතෝලික සභාව පුදැදුරු අධිපති වාදයෙන් දුෂිතව තිබේ. රදගුරු හිමිවරුන්, පුදැදුරුවරුන් සහ දෙව්සත්හල් සිසුන් හමුවන අවස්ථාවක දී එතුමා ඒ ගැනද සිය අදහස් දක්වනු ඇතැයි එරට ජනතාව බලාපොරොත්තුවෙන් සිටියි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය