රෝමයේ දුප්පතුන්ට සුදොතුම් පිය වියදමින් සර්කස් දැක්මක් සහ වෛද්‍ය සායනයක්

Pope Francis gives joy of circus to Rome’s poor

රෝමයේ සක්සා රුබ්රා කලාපයේ පිහිටි "මෙද්‍රිනෝ සර්කස්" ශාලාව

(2018 ජනවාරි 12)
රෝමයේ වෙසෙන දුප්පත් හා අසරණ ජනතාවගේ විනෝදය වෙනුවෙන් සිය වියදමින් සර්කස් දැක්මක් ලබා දීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ  (ජනවාරි 11බ්‍රහස්පතින්දා) කටයුතු කළේය.

එතුමන් වෙනුවෙන් එය සංවිධාන කර ක්‍රියාත්මක කරන ලද්දේ සුදොතුම් පිය දයා සේවා කාර්යාලය විසිනි.  රෝමයේ ජනප්‍රිය සර්කස් දැක්මක් වන "මෙද්‍රිනෝ සර්කස්"  හි බ්‍රහස්පතින්දා දහවල් දර්ශනය සුදොතුම් පියතුමන් ගේ විශේෂ අමුත්තන් - එනම් රෝමයේ  සමාජ හා ආර්ථික පර්යන්ත වල ජීවත්වන ජනයා - වෙනුවෙන් වෙන්කර තිබිණි. ඊට සහභාගී වන ලෙස දුප්පතුන්ට ආරාධනා පත් යවා තිබුනේ සුදොතුම් පිය දයා සේවා කාර්යාලයේ ප්‍රධානි කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු හිමිපාණන් විසිනි.

එදින සර්කස් ශලාව තුළ තීබූ 2100 වන සියලු ආසන මෙම විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කිරීමට සර්කස් සංදර්ශනයේ හිමිකරු ෆැබ්‍රිසියෝ ග්‍රන්දි පියවර ගෙන තිබිණි. එම විශේෂ දර්ශනය ඔහු හැඳින්වූයේ සුදොතුම් පියතුමා ගේ දුප්පතුන් වෙනුවෙන් පෙන්වනු ලබන "සහෝදරත්වයේ සර්කස්" දර්ශනයක් ලෙසයි.

රෝමයේ වෙසෙන දුප්පතුන්, ගෙදරක් හෝ නිවාස නැති ජනතාව, සරණාගතයන් සහ සිරකරුවන් කණ්ඩායමක් මෙම සර්කස් දර්ශනය බැලීම සඳහා ආරාධනා ලබා සිටියහ.

මීට කළින්, බදාදා පැවැත්වුණු සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවට මෙම සර්කස් කණ්ඩායමේ සර්කස් කරුවන් පිරිසක් පැමිණ සිටියහ. "සර්කස් රඟ දක්වන්නන් කරන්නේ සුන්දරත්වය මැවීමයි" යයි ඔවුන් ඇමතූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "සර්කස් කරුවන්  සුන්දරත්වය මවන අයයි. මෙම සුන්දරත්වය  ආත්මයට ඉතා යහපත් දෙයක්. අපට සුන්දරත්වය අවශ්‍යයි" යි එතුමා සඳහන් කළේය.

වෛද්‍ය සායනය 

එම සර්කස් ශාලාව අසල අවශ්‍ය අයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා විශේෂ වෛද්‍ය සායනයක් ද ක්‍රියාත්මක කර තිබිණි. ස්වේච්ඡා වෛද්‍යවරුන්, හෙද - හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් මෙම සායනය සමන්විත විය. ප්‍රතිකාර සහ ඖෂධ ලබා දීම සඳහා වතිකාන සෞඛ්‍ය සේවාවේ ගිලන් රථයක් ද පැමිණ තිබිණි.

සර්කස් සංදර්ශනය අවසානයේ එය නැරැඹු සෑම කෙනෙකුටම කෑම පාර්සලයක් බැගින් ලබා දෙනු ලැබිණි.

ස්ථිර තේවාචාරී සේවය 

සර්කස් දර්ශනයට සමාන්තරව තවත්  සේවාවක් ද රෝම රදගුරු පදවිය විසින් මෙදින පළමුවරට ක්‍රියාත්මක කරනු ලැබ  තිබිණි. එනම් දුප්පතුන් සහ ගෙදරක් නැති ජනතාවගෙන් ද ඔබ්බට යමින් රෝමයේ තනිකමින්, හුදෙකලා බවින් ජීවත්වන ජනතාව සහ  කොන්වූ ජනතාව වෙත ද පැතිර යන ආකාරයේ ස්ථිර තේවාචාරී සේවාවක් ක්‍රියාත්මක කිරීමයි.

තම මීසම්වල වෙසෙන දුප්පත්, හුදෙකලා වූ සහ කොන්වූ ජනතාව හඳුනාගෙන ඔවුනට ක්‍රිස්තු සෙනෙහසේ ස්පර්ශය දැනෙන්නට සලස්වන්නැයි රෝම පදවියේ සේවය කරන සියලුම ස්ථිර තේවාචාරීවරුන්ගෙන්   එම  පදවියේ සහයක රදගුරු ඩැනියෙල් ලිබානෝරි හිමි ඉල්ලා සිටියේය. එතුමා මෙම ඉල්ලීම කලේ ස්ථිර තේවාචාරිවරුන් වෙත නිල ලියුමක් යවමිනි. එම ජනතාවගේ විවිධ අවශ්‍යතා වලදී තේවාචාරී වරුන් ඔවූනට උදව්වීම මේ මගින් අපේක්ෂා කෙරේ. සිය මෝටර රථයේ ඔවුන් කැඳවාගෙන යාම, සංදර්ශනය වෙලාවේ සහ ආහාර ගන්නා වෙලාවේ ඔවුන් සමග සිටීම ආදිය ඊට ඇතුලත් වේ.

"අපගේ රදගුරු තුමන් වන සුදොතුම් පියතුමන් ගේ මෙම ආරාධනය සියලු තෙවාචාරි වරුන් විසින් පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි. මෙය අප දකින්නේ තේවාචාරී කැඳවීම ජීවත්කරවීමට ලැබෙන ශක්තිමත් අවස්ථාවක් මෙන්ම සැබෑ ආධ්‍යාත්මික අභ්‍යාසයක්  ද ලෙසයි" යයි ලිබානෝරි සහයක රදගුරු හිමි සඳහන් කළේය.

("ස්ථිර තේවාචාරීන්": ශ්‍රී ලංකාවේ අප දන්නා "තේවාචාරීන්" එම සේවා වරය ලබන්නේ 'තාවකාලික තේවාචාරීන්' (Transitional Deacons) ලෙසයි. සමාන්‍යයෙන් තේවාචාරී වරය ලබා වසරකින් පමණ ඔව්හු පුදැදුරුවරය (Ordination to Priesthood) ලබති.  "ස්ථිර තේවාචාරීන්" (Permanent Deacons) යනු පුදැදුරුවරය නොලබා ජීවිතයම තේවාචාරීන් ලෙස සේවය කරන අයයි. පුදැදුරුවරුන් අඩු රටවල හා පදවිවල සේවාව සඳහා එවැනි ප්‍රදේශවල රදගුරු හිමිවරුන් විසින් ස්ථිර තේවාචාරීවරු  තෝරාගනු ලබති.

තේවාචාරී (deacon) යන පදය ග්‍රීක "diakonia" යන පදයෙන් බිඳී ආවකි. එහි තේරුම "සේවකයා" යන්නයි. තේවාචාරී සේවාවට අත්‍යවශ්‍ය කාර්යයන් 3ක් පැවරී තිබේ. සුබ අස්න දේශනා කිරීම, ජනවන්දනා සේවාව සහ දයාවේ සේවාවල නිරත වීම එම ත්‍රිවිධ කාර්යභාරයයි.මෙම සිද්ධියේදී  රෝමයේ රදගුරු තුමා වන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් තේවාචාරීන් කැඳවනු ලැබූයේ දයාවේ සේවාව සඳහායි.) 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය