යුද්ධයේ බියකරුබව පෙන්වන සුදොතුම් පියතුමාගේ තැපැල්පත

Vatican issues Pope's postcard illustrating the horror of war


(2018 ජනවාරි 4)
වසර 2017 අවසන් වූයේත් 2018 ආරම්භ වූයේත් තවත් යුද්ධයකට හඬ ගසන හඬ ලොව ඇතැම් පෙදෙස් වලින් ඇසෙමිනි. මේ නිසා යුද්ධයේ බියකරු බව හා  ජනතා හදවත් තුළ නැගෙන සාමයේ ප්‍රාර්ථනා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වසර අවසාන සිතිවිලිවලට හා යාච්ඥා වලට එකතු වී තිබිණි.

කතෝලික සභාව ජනවාරි පළමුවැනි දින සමරන්නේ ලෝක සාම දිනය ලෙසය.

මේ සියල්ල පසුබිමේ තිබියදී, ලෝක සාම දිනයට දින දෙකකට කළින්, එනම් දෙසැම්බර 30 වනදා,  සුදොතුම් පියතුමා වතිකාන ජනමාධ්‍ය කාර්යාලය හරහා බෙහෙවින් අසාමාන්‍ය පියවරක් ගත්තේය.

එනම්, යුද්ධයේ බිහිසුණු බව හා ශෝකාන්තය චිත්‍රණය වන පින්තූර තැපැල් පතක් බෙදා හැරීමයි. මෙම තැපැල් පතේ මුද්‍රණය කර ඇත්තේ 2 වන ලෝක මහ යුද්ධය අවසානයේ ජපානයේ නාගසාකි නුවරට පරමාණු බෝම්බය හෙළීමෙන් පසුව ගන්නා ලදුව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සේයාරුවකි.

පරමාණු බෝම්බයෙන්  ගිනිගෙන දැවී කාල වර්ණ වූ පොලොව  මත දස හැවිරිදි දරුවෙක් සිටගෙන සිටියි. ඔහුගේ පසුබිමින් පෙනෙන්නේ බෝම්බයේ කාල වර්ණ දුමාරයයි. මේ පිරිමි දරුවා පුංචි දරුවකු ගේ මළ සිරුර සිය කරේ එල්ලා ගෙන සිටියි. එම මළ සිරුර නම් පරමාණු බෝම්බයෙන් මියගිය මෙම ළමයාගේ පුංචි මල්ලී ගේ සිරුරයි. ඔහු සිය මල්ලී ගේ සිරුර ඔසවාගෙන යන්නේ ආදාහනය කිරීමට බව එම සිද්ධිය කැමරාවට නැගූ ඇමෙරිකානු මැරීන් සෙබලෙකු වූ ජෝසප් රොජර් ඔ'ඩොනෙල් ප්‍රකාශ කර තිබිණි.

මෙම  සේයාරුව පිටුපස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අදහස සටහන් කර තිබේ.

"......යුද්ධයේ  ඵලය" යැයි තද කළු අකුරින් එහි මුද්‍රණය කර ඇත. ඊට යටින් "ප්‍රන්සිස්කුස්" යනුවෙන් සුදොතුම් පියතුමා අත්සන් කර තිබේ.

ඊටත් යටින් එතුමා සිය පණිවිඩය ලියා ඇත.
" මෙම සිද්ධිය සේයාරුවට නගන ලද්දේ  ඇමෙරිකානු  මැරීන භටයකු වූ ජෝසප් රොජර් ඔ'ඩොනෙල් විසිනි.  1945 දී හිරෝශීමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීමෙන් පසුව එහි දර්ශනවල සේයාරූ ගැනීම ඔහුට පවරා තිබිණි.

මෙම පිරිමි දරුවාගේ හද තුළ පවතින දැඩි වේදනාව ප්‍රකාශ වන්නේ ඔහුගේ දෙතොලින් පමණි. ඔහු සිය දෙතොල් දැඩිව තද කරගෙන් සිටින අතර ඒවායින් ලේ වෑහෙමින් තිබේ."

මේ යුගය ලෝකයේ ආගම් පාදක කරගෙන අන්තවාදය හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකෙරමින්  පවතින යුගයකි. වෙනත් ආගමික හා ජන වාර්ගික ජනකොටස් වලට හිංසා කිරීමෙහිලා පෙරමුණ ගෙන සිටින්නේ ආගමික නායකයන් ය. මෙම ආගමික නායකයන් ඉල්ලන්නේ ම යුද්ධයය; තම ආගමිකයන් නොවන ජනතාව ගේ රුධිරය මය.

"යුද්ධය ආයෙත් කවදාවත් එපා" කියමින් යුද්ධය ප්‍රතික්ෂේප කරන, යුද්ධ හා පීඩා වලින් පීඩනයට පත්ව සිටින වෙනත් ආගමික හා වාර්ගික ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන,එමෙන්ම  ඔවුනට සවන් දෙන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එවැනි ලොවකට ප්‍රබල ආදර්ශයකි. 
 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය