"ලොව පුරා යුද්ධයෙන්, දුප්පත්කමින් හා සමාජ විෂමතාවලින් දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු බිලිඳුන්ගේ මුහුණයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ නත්තල් "නුවරට සහ ලෝකයට" පණිවිඩය

"We see Jesus in every child who suffers due to war, poverty and inequality, each of whom bears the face of Jesus" - Holy Father's Urbi et Orbi message 

සුදොතුම් පියතුමා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සරණාගත කඳවුරකට ගිය අවස්ථාව 

(2017 දෙසැම්බර 27)
ජේසු සමිඳුන් ගේ උපත සමරන නත්තල, ලොව පුරා  යුද්ධ කෝලහාල, දුප්පත්කම හා සමාජ විෂමතාව නිසා දුක් විඳින සෑම දරුවකුම සිහිපත්කොට ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට අවස්ථාවක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "ඒ දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු සමිඳුන් ගේ වත මඬල" යයි එතුමා පෙන්වා දෙයි.

"යුද්ධයේ සුළං රැළි  ලොව පුරා හමා යන අතර යල් පැනගිය සංවර්ධන ආකෘතියක් විසින් මානව, සමාජයීය සහ පාරිසරික පරිහානියක් ඇතිකරමින් තිබෙන  අද දවසේ, බෙත්ලෙහෙමේ දරුවා කෙරෙහි අවධානය යොමු කර, කුඩා දරුවන් ගේ මුහුණු තුළ , විශේෂයෙන් ම ජේසු බිලිඳුන් සේ 'තානායමෙහි ඉඩක් නොමැති' දරුවන් ගේ මුහුණු තුළ උන්වහන්සේ හඳුනා ගන්නට නත්තල අපට ආරාධනා කරයි" යි එතුමා කියයි.

"පිළිගනු නොලැබීමේ වේදනාව ජේසු සමිඳාණෝ හොඳින් දනිති. එමෙන්ම තමන් ගේ හිස තබාගන්නට තැනක් නොමැති වීම දරා ගැනීමට කෙතරම් අපහසු වේදනාවක් දැයි උන්වහන්සේ දනිති...එබැවින් අප වෙසෙන  ලෝකය අපගේ අද දවසේ  දරුවනටත් අනාගතයේ දරුවනටත් වඩාත් මානුෂික සහ යෝග්‍ය තැනක් කිරීමට සියල්ලන් අත්වැල් බැඳගෙන කටයුතු කරමු" යි එතුමා ඇරයුම් කරයි.

වතිකානයේ නත්තල් දින සැමරුම් පරිසමාප්තියට පත් වූයේ දෙසැම්බර 25 වැනිදා පස්වරුවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ  "Urbi et Orbi" හෙවත් "නුවරට සහ ලෝකයට" ආශීර්වාදයෙනි. එම ආශීර්වාදයට පෙර ලෝකයට සිය නත්තල් පණිවිඩය දෙමින් සුදොතුම් පියතුමා මේ දේශනය  කළේය. මෙදින වතිකානය පුරා පැහැදිලි  නිල් අහසක් මත හොඳින් හිරු පායා තිබිණ. 50,0000ක වන්දනාකරුවන් හා සංචාරකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා ශා. පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ.

ශුද්ධ වූ දේශයේ සිට වැනිසියුලාව දක්වාත්, මැදපෙරදිග සිට යුක්රේනය දක්වාත්, අගිනිදිග ආසියාවේත් යුද්ධ, දුප්පත්කම සහ සමාජ විෂමතා නිසා දුක්විඳින දරුවන් සුදොතුම් පියතුමා මෙහිදී සිහිපත් කළේය.

"නත්තල යනු, අපගේ මියෙනසුළු මනුෂ්‍ය ස්වභාවය වැළඳගෙන, අපට ගැලවීම දානය කිරීම සඳහා දුප්පත් සහ පහත් බවින් අප වෙතට එන දෙවියන් වහන්සේ ගේ අබිරහස යළිත් වරක් ජීවත් කරන සමයකි.  මෙය අප හදවත් සසල කරයි.මන්ද අපගේ පියාණන් ගේ මෘදු බව හා කරුණාව ශ්‍රෙෂ්ඨ වන බැවිනි" යි සුදොතුම් පියතුමා සිය ධර්මදේශනය ආරම්භ කරමින් කියා සිටියේය.

"මරිය තුමිය හා ජුසේ තුමාට පසුව අලුත උපන් ජේසු බිලිඳුන් ප්‍රථම වරට දුටුවේ එඬේරුන් ය. ඔවුන් අද කාලයේ ජනතාවට ආදර්ශයකි. ඔවුන් අපට උගන්වන්නේ ජේසු බිලිඳුන් ගේ දුප්පත් සහ පහත්  උපතින් සිත් කලකිරීමට පත් නොවී උන්වහන්සේ ස්වාමියාණන් ලෙස පිළිගන්නා අතර සීතලේ වෙව්ලමින්, කඩමලු හැඳගෙන, සුදුසු නිවසක් නොමැතිව සිටින ජනතාව තුළ වැඩවසන උන්වහන්සේ හඳුනා ගන්නා ලෙසයි"

"අද අප ජීවත්වන්නේ යුද්ධයේ සුළඟ ලෝකය පුරා හමා යන අතර යල්පැනගිය සංවර්ධන ආකෘතියක් විසින් මානව, සමාජයීය සහ පාරිසරික පරිහානියක් අතිකෙරෙමින් ඇති යුගයකය. බෙත්ලෙහෙමේ ළදරුවා ගේ සලකුණ වෙත අවධානය  යොමුකොට, කුඩා දරුවන් ගේ මුහුණු තුළ, විශේෂයෙන් ජේසු බිලිඳුන් සේ 'තානායමේ ඉඩක් නොමැති' දරුවන් ගේ මුහුණු තුළ වෙසෙන උන්වහන්සේ හඳුනා ගැනීමට මේ යුගයේ ජීවත් වන අපට  නත්තල ආරාධනා කරයි."

"ඊශ්‍රායෙල්  හා පලස්තීන ජාතිකයන් අතර වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාව හේතුවෙන් දිගින් දිගටම දුක්විඳින මැදපෙරදිග දරුවන්  තුළ අපි ජේසු බිලිඳුන් දකිමු" යි විවිධ ප්‍රදේශවල වේදනා විඳින දරුවන් පිලිබඳ අවධානය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කීවේය. "ජෙරුසලෙම සහ සමස්ත ශුද්ධවූ  දේශය තුළ සාමය ඇති කරන ලෙස මේ මංගල්‍ය දිනයේ අපි  සමිඳුන් ගෙන් ඉල්ලමු. සාකච්ඡා යලි ආරම්භ කිරීමේ අධිෂ්ඨානය අදාළ  පාර්ශව තුළ ඇතිවී, අන්‍යොන්‍ය ලෙස එකඟ වී ජාත්‍යන්තරව පිළිගන්නා දේශ සීමා සහිත රාජ්‍ය දෙකක් තුළ සාමකාමීව ජීවත් විය හැකි සාකච්ඡාමය විසඳුමක් මේ සඳහා ඇතිවේවා යි අපි යාච්ඥා කරමු." ඊශ්‍රායෙල්-පලස්තීන කල්පවත්නා විසඳුමක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ගන්නා යහපත් ප්‍රයත්නයන් සාර්ථක වන ලෙස යාච්ඥා කරන්නයි ද එතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

"තවමත් යුද්ධය පවතින සිරියාවේ දරුවන්ගේ මුහුණු තුළ අපි ජේසු සමිඳුන් දකිමු. ...ජනවාර්ගික හෝ ආගමික වෙනස් කම් නොතකා, සෑම පුද්ගලයෙකු ගේ ම ගරුත්වය තහවුරු කෙරෙන අයුරින් රටේ සමාජ ජාලය යළි ගොඩනැගීමට අපගේ ප්‍රේමවන්ත සිරියාවට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු."

"පසුගිය වසර පහලවක පමණ කාල තුළ රට තුළ ඇති වූ ගැටුම් වලින්  ඉරී බිඳී ගිය ඉරාකයේ දරුවන් තුල ද අපි ජේසු සමිඳුන් දකිමු. ලෝකයට අමතක වූවත් තවමත් ගැටුම් දිග්ගැස්සෙමින් පවතින යේමනයේ දරුවන් තුළ ද අපි  ජේසු සමිඳුන් දකිමු.මෙම ගැටුම් එරට ජනතාව තුළ බරපතල විපාක ඇතිකරමින් කුසගින්නත් රෝගපීඩාත්  ඔවුන් අතර පැතිර යමින් තිබේ."

"අප්‍රිකාවේ දරුවන් තුළ, විශේෂයෙන් දකුණු සූඩානය, සෝමාලියාව, බුරුන්ඩිය, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ නයිජීරියාවේ දරුවන් තුළ  අපි ජේසු සමිඳුන් දකිමු."

"සාමය සහ ආරක්ෂාවට තර්ජන එල්ල වී නොසන්සුන්තා සහ නව ගැටුම් ඇතිවීමේ අවදානමට මුහුණ පා සිටින ලොව පුරා සියලු ප්‍රදේශවල දරුවන් තුළ අපි ජේසු සමිඳුන් දකිමු. කොරියා අර්ධද්වීපය යුද ගැටුමේ අනතුරින් මිදෙවායි අපි යාච්ඥා කරමු. පොදුවේ සමස්ත ලෝකයේම යහපත සඳහා අන්‍යොන්‍ය විශ්වාසය වර්ධනය වේවායි යදිමු. වැනිසියුලාව ජේසු බිලිඳුන්ට අපි භාර කරමු. දයාබර වෙනිසියුලා ජනතාව ගේ යහපත උදෙසා සමාජයේ සියලු කොටස් අතර සාමකාමී සංවාදයක් ඇති වේවායි ප්‍රාර්ථනා කරමු. යුක්රේනයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් හේතුවෙන් සිය පවුලේ සාමාජිකයන් සමග දුක් විදින යුක්රේනයේ දරුවන් තුළ අපි ජේසු සමිඳුන් දකිමු. මේ දයාබර රටට සමිදුන් ඉක්මනින් සාමය උදා කරත්වායි අපි යාච්ඥා කරමු."

"සිය දරුවනට ආරක්ෂා සහිත සහ ශාන්තිමත් අනාගතයක් ඇතිකිරීමේ අරගලයක යෙදී සිටින රැකියා විරහිත දෙමාපියන් ගේ දරුවන් ගේ මුහුණු තුළ  අපි ජේසු සමිඳුන් දකිමු. එසේම ළමා කාලය සොරා ගනු ලැබුවාවූ ද, බාල කාලයේ දීම බලහත්කාරයෙන් රැකියා සඳහා යොදවනු ලැබුවා වූ හා සොල්දාදුවන් හා කුලී හේවායන් ලෙස යොදවාගනු ලැබුවා වූ ද දරුවන් තුළ  ද අපි ජේසු සමිඳුන් දකිමු"

"තමන් ජීවත් වූ රටවල් අතහැර පලා යාමට සිදුවීම නිසා, අති අමානුෂික තත්වයන් මැද  තනිවම පලා යන්නට සිදු වන්නා වූ ද, මේ නිසා මිනිස් ජාවාරම් කරුවන් ගේ ගොදුරු බවට පහසුවෙන්ම පත්වන්නා වුද දරුවන් ගේ මුහුණු තුළ අපි ජේසු සමිඳුන් දකිමු. ඔවුන් ගේ දෑස් තුළ අප දකින්නේ සිය ජීවිතය පරදුවට තබා පලා යන්නට සිදුවූවන් ගේ ඛේදවාචකයයි."

"මෑතක දී ම්‍යන්මාවට සහ බංගලි දේශයට ගිය ගමනේ දී මට හමුවූ දරුවන් තුළ ද මම ජේසු සමිඳුන් දකිමි. මෙම කලාපයේ ජීවත්වන සුළුතර ජනකොටස්වල මානව ගරුත්වය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව නොකඩවා ක්‍රියා කරනු ඇත යන්න මගේ බලාපොරොත්තුවයි.  පිළිගනු නොලැබීමේ වේදනාව කොතෙක් දරුණු දැයි ජේසු සමිඳාණෝ හොඳින් දනිති. එමෙන්ම තමන් ගේ හිස තබාගන්නට තැනක් නොමැති වීම දරා ගැනීමට කෙතරම් අපහසු වේදනාවක් දැයි උන්වහන්සේ දනිති. බෙත්ලෙහෙමේ ගෙවල්වල දොරවල් එදා (ජේසු බිලිඳුන්ට) වැසුනා සේ අද අපගේ හදවත් ද නොවැසේවා!"

"මරිය මව සහ ජුසේ තුමාත්, බෙත්ලෙහෙමේ ගොපල්ලනුත් සේ අප වෙනුවෙන් මිනිසත් බව ගත්  දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය වන ජේසු බිලිඳුන් ආදරයෙන් පිළිගනිමු. අප ජීවත්වන ලෝකය, එහි වෙසෙන  වර්තමාන දරුවන්  උදෙසාත් ආනගතයේ බිහිවන දරුවන් උදෙසාත් වඩාත් මානුෂවාදී සහ වඩාත් යෝග්‍ය තැනක් කිරීමට උන්වහන්සේ ගේ වරප්‍රසාදය ඇතිව  අපි වඩ  වඩාත් කැපවෙමු."

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රාර්ථනා ලේඛනයට හසු නොවූවත් මේ රටේ දුක් විඳින දරුවන් ගේ මුහුණු තුළ ජේසු බිලිඳුන් හඳුනා ගැනීමට අපි උත්සාහ කරමුද?

දුප්පත්කම හේතුවෙන් පොල් ගෙඩියක් ම්ලදී ගැනීමට නොහැකි වීම නිසා  අල්ලපු වත්තේ වැටී තිබූ පොල්ගෙඩියක් අහුලා ගැනීම හේතුවෙන්  හිරගෙට නියම වූ දරුවන් ගේ මුහුණු තුළ ...අධික කුස ගින්නනෙන් හටගත් ආමවාතය නිසා පාසලේ වමනය කිරීම හේතුවෙන් දරු පිළිසිඳ ගැනීමක් යයි චෝදනා කර, අවමන් කර පාසලෙන් දොට්ට  දැමූ දැරිය බඳු අපහාස ලබන දරු දැරියන් ගේ  ගේ මුහුනු  තුළ ...සමාජ විෂමතා නිසා නිසි අධ්‍යාපනයක් ලැබීමට නොහැකි දරු දැරියන් ගේ මුහුණු තුළ ...දුප්පත්කම නිසා පාසල් වල කොන් වන දරු දැරියන් ගේ මුහුණු තුල...නිසි ජීවන තත්වයක් සහ සෞඛ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වන දරුවන් ගේ මුහුණු තුළ ... යුද්ධයෙන් සිය දෙමාපියන් අහිමි වූ දරුවන් ගේ මුහුණු තුළ... යුද සමයේ  අතුරුදන් කරන ලද හෝ පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද සිය පියවරුන් යළි පැමිණෙතැයි හිස් බැල්මෙන් බලා සිටින දරුවන් ගේ මුහුණු  තුළ ...යුද ගිණි දළු නිවී ගියත් තවමත් අවුලන්නට උත්සාහ කරන  වර්ගවාදයේ ගිණි  දළු නිසා බියෙන් පසුවන උතුරේ දරුවන් ගේ මුහුණු තුළ ...අවතැන්ව, සරණාගතව, දුප්පත්ව පවුලක උණුසුම ලබන්නට අවශ්‍ය  ගෙයක් දොරක් නොමැති වීම නිසා  දුක් විඳින දරුවන් ගේ මුහුණු තුළ ...?

බෙත්ලෙහෙමේ මෙලෙස'ඉඩක් නොමැතිව' සිටි ජේසු බිලිඳුන්  නත්තලේ දී හඳුනා ගැනීමේ උත්සාහයක් අපට තිබෙනවා ද?

නැතහොත්, අප සමාජයේ තවමත්  'ඉඩක් නොමැතිව' දුක් විදින ජේසු බිලිඳුන්  පරණ දේශපාලකයන් ගෙන් අලුත් දේශපාලකයනටත් ජනමාධ්‍යවලට සහ වෙළෙන්දන්ටත්  විකුණා, එය සුබ නත්තලක් යැයි කියා ප්‍රමෝදයට පත් වන්නේ ද?   

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර නත්තලේදී අපට ඉදිරිපත්  කරන්නේ මෙම ප්‍රශ්නයයි.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය