"ජුසේ- මරිය අඩිපාරේ සැඟවුණු ලක්ෂ සංඛ්‍යාත පා සටහන්"- නත්තල් දිව්‍ය පූජාවේ ධර්ම දේශනය:"වැසුණු දොරවල් නිසා අපේක්ෂා හංගත්වයට පත්වුවන් ගේ ආරක්ෂකයන් වන්න"

"God is present in the unwelcomed visitor who walks through our lives; be sentinels for those bowed down by the despair  of meeting  closed doors.” Homily at Christmas Mid- Night Mass 


(2017 දෙසැම්බර් 26)
ජුසේ තුමා සහ මරිය තුමිය ගලීලයේ නාසරෙත් සිට බෙත්ලෙහෙම දක්වා ගිය ගමන නූතන ලෝකයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හුදෙක් ජීවිතය බේරා ගැනීම සඳහා හෝ වඩා යහපත් ජීවිතයක් සොයා සිය ගම බිම් අතහැර වෙනත් දේශ සොයා යන ගමනට සමාන යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. "එදා එසේ ගිය ජුසේ තුමා හා මරිය තුමියට බෙත්ලෙහෙමේ ඉඩක් හමුවූයේ නැත. අද ගම්බිම් හැරදා යන්නට සිදු වී ඇති ජනතාවට මේ මිහිතලය තුළ ඉඩක් නැතැයි හැඟී නොයන ලෙස අප කටයුතු කල යුතු" යැයි එතුමා පෙන්වා දුන්නේය.

දෙසැම්බර 24 වැනිදා වතිකානයේ ශා. පීතර බැසිලිකා දෙව්මැදුරේ එතුමා පැවැත්වූ නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය  පූජාවේ ධර්මදේශනය කරමින් සුදොතුම් පියතුමා ලෝකයට දුන් පණිවිඩය එයයි.

"ජේසු සමිඳුන් ගවහලෙක ඉපදුනු 'සරල කතාව' සමස්ත මානව සංහතියේ ම ඉතිහාසය සදහටම වෙනස් කලේ යැ"යි එතුමා කීවේය. "ඒ  රාත්‍රියේ සිදුවූ සියලු දේ බලාපොරොත්තුවේ උල්පතක් වූයේය. ජුසේ තුමා සහ මරිය තුමිය එදා ලඟා වූ දේශය තුළ ඔවුනට ඉන්නට හිටින්නට තැනක් ලැබුනේ නැත."

එම තත්වයට සමාන තත්වයක් නූතන ලෝකයේ ද ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය:
"ජුසේ තුමන් හා මරිය තුමිය නාසරෙත් සිට බෙත්ලෙහෙම දක්වා ගිය අඩිපාර තුළ තවත් පා සටහන් රැසක් සැඟවී තිබේ. අප ජීවත් වන මේ කාලයේ සිය ගෙවල් දොරවල් ගම්බිම් වලින් පවුල් පිටින් බලහත්කාරයෙන් පලවා හරිනු ලැබූ ජනතාව ගේ පා සටහන් අපට දක්නට ලැබේ. තමන් ආදරය කරන නෑසියන් අතහැර දමා අකැමැත්තෙන් වූවත් සිය ගේදොර අතහැර ජීවිතය තකා පලා යන දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක ගේ අඩි පාරවල් ද අපට පෙනේ."

"ඇතැම් අවස්ථාවල මෙවැනි නික්මයාම් තුළ අපට දක්නට ලැබෙන්නේ අනාගතය පිලිබඳ අපේක්ෂාවයි. එහෙත් අපේ කාලයේ  මෙවැනි බොහෝ නික්මයාම් සඳහා අපට දිය හැක්කේ එකම නමක් පමණකි: එනම් ජීවිතය බේරා ගැනීමයි."

ජේසු බිලිඳුන් උපත ලද සමයේ ජුදෙයාවේ රජුව සිටි හෙරෝද් බඳු ආඥාදායක පාලකයන්ගෙන් ගැලවීම, නූතන සාංක්‍රමනිකයන් හෝ සරණාගතයන් ගේ අපේක්ෂාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය:
"අපේ කාලයේ සාංක්‍රමනිකයන් පලා යන්නේ ස්වකීය බලය යොදා ගැනීමත් තම ධනය වැඩිකරගැනීමත් යන අරමුණු තුළ කොටුවී අහිංසක ලේ හෙලීමේ වරදක් නොදකින නූතන හොරෝද්ලාගෙන්  සිය ජීවිතය බේරා ගැනීම  සඳහා යැ"යි එතුමා  කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ධර්මදේශනය කරමින් පෙන්වා දුන්නේ මෙලෙස අවතැන් වූ, ජීවිතය සොයා යන ජනතාව තුළ "දෙවියන් වහන්සේ වැඩසිටින" බවයි:
"ප්‍රතික්ෂේප කරන ලද ආගන්තුකයන් තුළ, හඳුනාගත නොහැකි ලෙස වැඩසිටින්නේ දෙවියන් වහන්සේයි. අපගේ නගර හා ගම්මානවල වීදි දිගේ පා ගමනින් යන, අපගේ බස්රථ හා දුම්රියවල  ගමන් කරන, එසේම අපගේ ගෙවල දොරවල් වලට තට්ටු කරන නොහඳුනන, ප්‍රතික්ෂේප කරනු ලබන ආගන්තුකයන් තුළ දෙවියන් වහන්සේ වැඩසිටිති. දෙවියන් වහන්සේ පිලිබඳ මෙම අවබෝධය නව සම්බන්ධතා ආකෘති වලට මංපෑදිය යුතුය. මෙම නව සම්බන්ධතා වලින් ගොඩනැගෙන ලෝකය තුළ මේ මිහිතලය මත තමන්ට ඉඩක් නැතැයි කිසිවෙකුට හැඟී නොයා යුතුය."

බොහෝ විට අප ආගන්තුකයන්, සාංක්‍රමනියකන් ප්‍රතික්ෂේප කරන්නේ බිය සහ සැකය නිසා බව සුදොතුම් පියතුමා කීවේය. එහෙත් එතුමා පෙන්වා දුන්නේ නත්තල මෙම බිය ජය ගැනීමේ සමය බවයි: "නත්තල බියේ සහ සැකයේ බලය දයාවේ බලය වෙත පරිවර්තනය කිරීමේ කාලයයි"යි  එතුමා අවධාරණය කළේය.

"වැසුණු දොරවල් රැසක් හමුවීම නිසා දැඩි අපේක්ෂා හංගත්වයට පත්ව සිටින සියල්ලන්ගේ  ආරක්ෂකයන්  හා සංරක්ෂකයන් වන ලෙස බෙත්ලෙහෙමේ දරුවා (ජේසු සමිඳුන්) අද ඔබට ආරාධනා කරයි.  සරණ පතා අපගේ නගරවලට, අපගේ ඉතිහාසයට මෙන් ම අපගේ ජීවිතවෙත ද ළඟාවන අමුත්තන් තුළ ඔබ ජේසු සමිඳුන් දකිනු ඇතැයි උන්වහන්සේ අද බලාපොරොත්තු වෙති" යි එතුමා සඳහන් කළේය.

ලෝකය පුරාම මනුෂ්‍යයන් සරණාගතයන් බවට පත් වන අපගේ යුගය තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ හඬ දිවැසිවර හඬක් වැන්න. ආගම හා ජනවාර්ගික පදනම මත සරණාගතයන්, සාංක්‍රමනිකයන් හා ආගන්තුකයන් ප්‍රතික්ෂේප කෙරෙමින් පවතින නූතන  ලෝකයට එතුමා හර්ද සාක්ෂියක්  වී තිබේ. නත්තල් මධ්‍යම රාත්‍රියේ ද එතුමන් වෙතින් නැගුනේ මෙම දිවැසිවර හර්ද සාක්ෂියේ හඬ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය