"වතිකාන සේවකයන් ගේ රැකියා අස්ථිරත්වය ඉක්මණින් වෙනස් විය යුතුයි" - වතිකාන රාජ්‍ය සේවක නත්තල් හමුවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි; "මෙවැනි වැරදි කරමින් සභාවේ සමාජ ධර්මය ගැන කතා කරන්නේ කොහොමද?"

Holy Father wants an end to the existence of precarious employment at the Vatican:" It is a problem of Conscience."  


(2017 දෙසැම්බර 22)
වතිකානයේ පවතින අස්ථිර රැකියා තත්වයට ඉක්මනින් විසඳුම් සෙවිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එතුමා මේ බව කියා සිටියේ දෙසැම්බර 21 වැනිදා වතිකාන රාජ්‍යයේ සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වුණු නත්තල් උත්සවයේදීය.

වතිකානයේ රාජ්‍ය සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වෙන නත්තල් උත්සව සම්ප්‍රදාය  ආරම්භ කරන  ලද්දේ 2014 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. මෙවරද එම උත්සවය සවැනි පාවුළු ශාලාවේදී පවත්වන ලදී. සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම උත්සවයට ඔවුන් ගේ පවුල්වල සාමාජිකයනට ද ඇරැයුම් කෙරේ.

සුදොතුම් පියතුමා උත්සවය පැවැත්වුණු සවැනි පාවුළු ශාලාවට පැමිණියේ ඒ දෙපස රැස්ව සිටි සේවක දරුවනට ආශීර්වාද කරමින්, ඔවුන් වැලඳ ගනිමින් සහ ඔවුනට "හයි ෆයිව්" දෙමිනි.

කතෝලික සභාවේ මෙම විශ්ව සේවාවට අතිශයින්  වැදගත් දායකත්වයක් දෙන සේවක සේවිකාවන්ට තමන් ස්තුති කරන බව ඔවුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "බොහෝ බර, බොහෝ ගැටළු නිසා බොහෝ විශාල, වතිකානය, ශුද්ධාසනය, නමැති මෙම දුම්රිය දුවන්න උදව් කිරීම ගැන ඔබට ස්තුතියි" එතුමා කීවේය.

ඉන් පසුව එතුමා කතා කලේ වතිකානයේ පවතින අස්ථිර, අක්‍රමික රැකියා තත්වය පිළිබඳවයි. එහි පවතින අස්ථිර රැකියා තත්වයට ඉක්මනින් විසඳුමක් දෙනු දැකීම තම බලාපොරොත්තුව බව සේවක සේවිකාවන් ගේ අත්පොලසන් මැද එතුමා කියා සිටියේය.
"පොත් වල නැති, අස්ථිර, තාවකාලික රැකියා කොන්ත්‍රාත්තු ක්‍රමය  අවසන් විය යුතුයි. තාවකාලික රැකියා ගිවිසුම් ක්‍රමයට මග පාදා තිබෙන වර්තමාන වතිකාන නීති රීති සංශෝධනය කිරීමට ඔබත්  සහය වෙන්න.  ඇතැම් විට කෙටි පරිවාස කාලයක, අවුරුද්දක හෝ උපරිම වශයෙන් දෙකක තත්වයක් පිළිගැනීමට පුළුවන්. එහෙත් එය ඊට වඩා දීර්ඝ විය නොහැකියි" යි එතුමා අවධාරණය කළේය. 

"වතිකානයේ  තවදුරටත් අස්ථිර රැකියා හෝ රැකියාලාභීන් නොසිටින ක්‍රමයක් සකස් කිරීමට අපි කටයුතු කරමු. මට එය හර්දය සාක්ෂියේ ප්‍රශ්නයක්. මෙවැනි වැරදි දෙයක්  කරමින්ම කතෝලික සමාජ ධර්මය පිලිබඳ දේශනා කරන්නට අපට හැකියාවක් නැහැ" එතුමා පෙන්වා දුන්නේ ය. මෙම වැරැද්ද පිළිබඳව සමා වන ලෙස එතුමා සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටියේය. 

ආදර්ශය - සමාව ගැනීම - පව් සමාවේ ප්‍රසාද නිධානය 

නිතරම යහපත් ආදර්ශයක් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
"මටත් සමා වෙන්න. මන්ද අපත් නිතරම යහපත් ආදර්ශ දෙන්නේ නැහැ....අප යන්නෙන් මා අදහස් කලේ පුදැදුරු වරුන් සහ මම. මටත් ඇතැම් විට ඉවසීම නැති වෙනවා..." යි එතුමා කීවේය.

"පුදැදුරු වරුන් ජීවිතයේ කරන වැරැදි තිබෙනවා...පාප , අයුතු දේ, අසාධාරණ දේ, සමහර විට අප මිනිසුනට නරක අන්දමට සලකනවා...අපගේ මෙම සියලු අයහපත් දේ වලට අපට සමා වෙන්න" එතුමා යලිත් ඉල්ලා සිටියේය.

"ඔබත් සමාව ඉල්ලන්න බිය වෙන්න එපා... විශේෂයෙන් නත්තලට යහපත් පාපොච්චාරණයක් කරගනිමින් ඔබේ හද නිවෙස පිවිතුරු කරගෙන සාමයට ඇතුළුවන්න ඉඩ දෙන්න.." සුදොතුම් පියතුමා කියා සිටියේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය