"දිව්‍ය පූජාව ජේසු සමිඳුන් සමග ප්‍රේමනීය හමුවක්"- බදාදා පොදු හමුව: "පූජාවේ පූර්ණ සෞන්දර්යය රස විඳීන්න"

"Mass is an encounter of love with Christ." Pope's Catechesis at the General Audience

(2017 දෙසැම්බර් 20)
බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ කතාව සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අලුතින්  තොරාගෙන ඇති තේමාව "දිව්‍ය පූජාවයි". දිව්‍ය පූජාවට ගෞරවයෙන් සහභාගී වීමේ අවශ්‍යතාව සහ ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීමේ හේතුව  වැනි මාතෘකා යටතේ එතුමා ඉකුත් සතිවල වන්දනාකරුවනට කරුණු පැහැදිලි කළේය. දෙසැම්බර 20 වැනි බදාදා පොදු හමුවේදී දිව්‍ය පුජාව පිලිබඳ ඉගැන්වීම් තවදුරටත් කරගෙන ගිය එතුමා දිව්‍ය පුජාවේ එක් එක් කොටස්වල ඇති වැදගත්කම පැහැදිලි කිරීම එදින  සතියේ ආරම්භ  කළේය.

සිය ධර්මෝපදේශය ආරම්භ කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ දිව්‍ය  පූජාවේ ආරම්භක පිළිවෙත, දේව වාක්‍යයේ පිළිවෙත, දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත සහ අවසාන කිරීමේ පිළිවෙත යන සියලු කොටස් එකට බැඳී ඇති බවයි. "මේ සියලු කොටස් එකම දේහයක්   ගොඩගනවා. ඒවා වෙන් කල නොහැකියි." මේ නිසා ඒවා එකින් එක ගෙන විස්තර කිරීමට තමා බලාපොරොත්තු වෙන බව එතුමා කීවේය.

දිව්‍ය පූජාව තුළ අරුත්බර සංකේත රැසක් අන්තර්ගත බව සුදොතුම් පියතුමා කීවේය. "දිව්‍ය පූජාවේ පූර්ණ සෞන්දර්යය රස විඳීමටත් දිව්‍ය පූජාව සම්පූර්ණයෙන් ජීවත් වීමටත් මෙම ශුද්ධවූ සංකේත තේරුම් ගැනීම් අවශ්‍යයි" එතුමා පෙන්වා දුන්නේය.

දිව්‍ය පූජාව තුළ ඇති මෙම ඒකත්වය නිසා ඊට සම්පූර්ණයෙන්ම සහභාගී වීමේ අවශ්‍යතාව එතුමා අවධාරණය කළේය. "හුදෙක් ණය යුතුකම ඉෂ්ට කිරීමේ සිතිවිල්ලෙන් පමණක් ජනවන්දනාවට  එන්න එපා. ප්‍රමාද වී පුජාවට එන්න එපා. එසේ වුවහොත් එහි පූර්ණ සෞන්දර්යය අත්දැකීමට අපට නොහැකි වෙනවා. ඒ වෙනුවට අප සූදානම් වී, සැළසුම් කරගෙන වේලාසනින් පුජාවට පැමිණිය යුතුයි. එසේ කල්තබා පැමිණි  විට  මේ පිළිවෙතට අපගේ හදවත් සූදානම් කරගන්නට අපට පුළුවන්." එතුමා කීවේය.

ආරම්භක පිළිවෙත - කුරුසියේ ලකුණ

දිව්‍ය පූජාව ආරම්භ කරමින්  පුදැදුරු තුමන් සහ තේවාචාරී වරුන් කරන අභිනයන් අතිශයින් වැදගත් වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.
"ජනවන්දනාව ආරම්භ කරමින් පුදැදුරුතුමා පූජාසනයට නමස්කාර කර එය සිප ගන්නවා.  බොහෝ විට අප මෙය දකින්නේ නැති නමුත් මෙය ඉතා වැදගත්. මෙයින් අදහස් කෙරෙන්නේ දිව්‍ය පුජාව ජේසු සමිඳුන් සමග ප්‍රේමනීය හමුවක් බවයි."

"පුදසුනට ගෞරව කිරීමෙන් පසුව පුදැදුරු තුමා සහ ජනතාව කුරුසියේ ලකුණ සලකුණු කරනවා. මෙයින් අදහස් කෙරෙන්නේ සෑම යාච්ඥාවක්ම සිදුවන්නේ ශුද්ධ වූ ත්‍රිත්වයේ අවකාශය තුළය යන්නයි. යාච්ඥාව ආරම්භ වන්නේත් අවසන් වන්නේත්, ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය තුළ අපට ප්‍රකාශ වූත් දෙන ලද්දාවූත්  ත්‍රිත්ව ඒක දෙවිඳුන් ගේ ප්‍රේමය තුළයි" යයි එතුමා විස්තර කළේය.

කුරුසියේ ලකුණ සලකුණු කිරීමට සිය දූ දරුවනට කුඩා කාලයේ සිට පුහුණු කරන්නයි එතුමා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ කිරීම මගින් ඔවුන් තමන්ව ශුද්ධ වූ කුරුසියේ ආරක්ෂාවට භාර කරන බව කියා දෙන්නැයි ද එතුමා උපදෙස් දුන්නේය.

ඉන් පසුව පුදැදුරු තුමා කරන්නේ ජනවන්දනාවට අනුකුලව "ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා" යැයි  ජනතාවට ආචාර කිරීමයි. "ඔබගේ ආත්මය සමගද වන සේක්වා" යි කියමින් ජනතාව ඊට පිළිතුරු දෙයි. "මෙය 'සංධ්වනියක" ආරම්භයයි. මෙම සන්ධ්වනියේ දී සිදුවන්නේ එකම ආත්මයාණන් වහන්සේ විසින් එකම අරමුණක් සඳහා දේව ජනතාව ප්‍රාණවත් කරනු ලැබීමයි. පියතුමා  සහ විශ්වාසකයන් අතර සිදුවන් මෙම සංවාදයෙන් ප්‍රදර්ශනය වන්නේ එකට රැස්වූ සභාවේ අබිරහසයි." යි එතුමා කීවේය.

"ජනවන්දනාවේ ඊ ලඟට අප පිවිසෙන්නේ ඉතා සංවේදී අවස්ථාවකටයි. එනම් පශ්චාත්තාපය ප්‍රකාශ කිරීමයි."

පශ්චාත්තාපය ප්‍රකාශ කිරීම 

"පශ්චාත්තාපය ප්‍රකාශ කිරීමේදී සිදුවන සංවේදී කාරණය නම් රැස්ව සිටින සියල්ලන් තමන්ගේම  පව් සිහිපත් කිරීමයි. මෙහි වඩාත් වැදගත්ම සිද්ධිය නම් සියල්ලන් තමන් පව්කාරයන් බව පිළිගැනීමයි. දිව්‍ය පූජාව පාස්කු අබිරහස වර්තමානයේ ජීවත් කරන්නේ නම්, අප මුලින්ම කල යුතු වන්නේ ජේසු සමිඳුන් සමග නව ජීවිතයට යළි නැගිටීම සඳහා  අපගේ පව් හඳුනාගෙන  පාපයට මිය යාමයි. පශ්චාත්තාපික පිළිවෙත කෙතරම් වැදගත් ද යන්න මෙයින් අපට වටහාගැනීමට පුළුවන්" යයි සුදොතුම් පියතුමා  විස්තර කලේය.

දිව්‍ය පුජාව පිළිබඳවේ කොටස් සම්බන්ධයෙන් සිය ධර්මෝපදේශය ඉදිරි සතිවල නොකඩවා කරගෙන යන බව සුදොතුම් පියතුමා සඳහන් කලේය.











Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය