"අද දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යා ජනතාවයි ": බංගලා දේශයේ දී ලෝකය මවිත කල සුදොතුම් පියතුමා ගේ ප්‍රකාශය (Updated with new information)

“The presence of God today is also called ‘Rohingya" Holy Father says in Bangladesh 


(2017 දෙසැම්බර 2)
"අද ලෝකයේ දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යායි ජනතාවයි "
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙසැම්බර 1 දා බංගලි දේශයේ ඪකාහිදී මේ ප්‍රකාශය කලේ එරටට පැමිණ සිටින සරණාගතයන් පිරිසක් මුණගැසී ඔවුන්ගේ හද කම්පනය කරන ශෝකාන්ත වලට සවන් දීමෙන් පසුවයි.  එතුමා ඔවුන් කිහිප දෙනෙකුට කතා කලේ ඔවුන්ගේ දෑත් සියතින් අල්ලාගෙනයි. ඉන් පසුව කිසිදු සුදානමකින් තොරවම එතුමා  මේ වදන් ප්‍රකාශ කළේය. ඔවුනට සිදු කරණ ලද සියලු නපුරු  කම් වලට එතුමා සමාව ඉල්ලා සිටියේය. එපමනක් නොව ම්‍යන්මාවේ දී කිසිවිටෙකත් භාවිත නොකරන ලෙස එතුමාට උපදෙස් දී තිබූ "රෝහින්ග්‍යා" යන වචනය භාවිත කරමින් ලොව පුරා නිරීක්ෂයන් මවිත කළේය.

බංගලි  දේශයේ කාර්ය බහුල දිනයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමාප්තියට පත් කලේ මෙම හමුවෙනි.

එම සන්ධ්‍යාව එතුමා ආරම්භ කලේ රික්ෂෝවකින් ඪකා අගරදගුරු නිවසේ උයනට පැමිණෙමිනි. එහිදී එතුමා සර්ව සාමයික හා අන්තර් කිතුනු නායක හමුවකට එක්විය. මුස්ලිම්හි සහ හින්දු පූජක වරුන් ද බෞද්ධ මහා සංඝ රත්නයද  වෙනත් කිතුනු සභා වල නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රැන්සිස් සුතුම් පියතුමා රෝහින්ග්‍යා සරණාගතයන් හමුවූයේ ආගමික නායකයන් ගේ කතාවලින් පසුව ය. ඪකාහි සිට කි.මී. 400 ක් පමණ දකුණින් පිහිටි කොක්ස් බසාර් හි සරණාගත කඳවුරේ  සිටින සරණාගතයන් අතරින් 16 දෙනෙක් එතුමන් හමුවීම සඳහා පැමිණ සිටියහ.

එතුමන් මුණගැසුණු සරණාගතයන් අතර 12 හැවිරිදි දැරියක් ද  වූවාය. අගේ මව, පියා, සහෝදරන් දෙදෙනා සහ මාමා අගෝස්තු 8 වනදා ඇයගේ නෙත් ඉදිරියේ  ම්‍යන්මා හමුදාව විසින් ඝාතනය කරන ලදහ. මේ නිසා ඇය දැන් අනාථ දැරියකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය දැන් ක්ෂතියට  (කම්පනයට) පත්ව බලාගත් අත  බලා සිටියි. ඇය කිසිදු චිත්තවේගයක් හෝ හැඟීමක්  නොපෙන්වයි.  සුදොතුම් පියතුමන් වෙත ඇය කැටුව  එන ලද්දේ එම ප්‍රහාරයෙන්ම වැදුණු වෙඩි උණ්ඩයකින් වම් අත  තුවාල වූ තවත් මාමා කෙනෙකි. එතුමා සිය අත ඇගේ කර වටා දමාගෙන අයගේ කතාවට සවන් දුන්නේය.

ඔවුන් සෑම කෙනෙකු ගේ ම කතාවට සාවධානව සවන් දුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සූදානමකින් තොරවම "අපි හැමෝම ඔබට සමීපයි" යි ඉතාලි බසින් ඔවුන්ට කීවේය. "අපට කරන්නට පුළුවන් දේ ඉතාම සුළුයි. මන්ද ඔබගේ වේදනාව හුඟාක් කඪෝරයි; බොහෝ  බරපතලයි. එහෙත් අපි ඔබට අපගේ හදවතේ ඉඩක් දෙනවා." ඒ සමගම එතුමා මෙසේ කීවේය:

"ඔබට වද හිංසා කල සියල්ලන් වෙනුවෙන්, ඔබට නපුර කල සියල්ලන් වෙනුවෙන්, එසේම ලෝකය ඔබ කෙරෙහි දක්වන උදාසීනත්වය වෙනුවෙන්, මම ඔබගෙන් සමාව ඉල්ලනවා."
තවත් මොහොතක් නිහඬව සිටි එතුමා මෙම වදන් ද එක්  කළේය:
"බංගලි දේශයේ ජනතාව ඔබ ආදරයෙන් පිළිගත්තේ ඔවුනට උණුසුම් පුළුල් හදවත් ඇති නිසා. ඔබත් ඔබගේ පුළුල් හදවත් වලින් ඔබට නපුර කල තැනැත්තන්ට සමාව දෙන්න  කියා මා ඔබගෙන් ඉල්ලනවා. "

 "ජුදෙව්-ක්‍රිස්තියානි විශ්වාසයට අනුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවා වදාලේ උන්වහන්සේ ගේ ස්වරූපයට හා සමාන කමටයි. අපි හැමෝම එම  ස්වරූපයයි. අපගේ  මෙම සහෝදර සහෝදරියෝත් ඒ වගේමයි" එතුමන් සමග ශාලාවේ සිටි විවිධ ආගමික නායකයන් දෙසට හැරෙමින් එතුමා කීවේය. "අපගේ මමංකාරය නිසා මෙම දේව ස්වරුපයට අප කර ඇත්තේ කුමක් දැයි අපි  ලෝකයට පෙන්වමු" එතුමා පූජ්‍ය-පූජක උතුමන්ගෙන් ඉල්ලාසිටියේය.

එතුමා එම පදනම ම භාවිත කරමින් සමස්ත ලෝකයට ද ආයාචනයක් කලේය.
"මෙම සරණාගතයන් ජීවමාන දෙවියන් වහන්සේ ස්වරූපයයි. මේ නිසා ලොව සෑම තනකම් වෙසෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ටත්  යහපත් සිත්  ඇති සියල්ලන්ටත් අප ආයාචනා කරනවා. අපි අපගේ හදවත් වසා නොගනිමු. අපි ඉවත බලා නොගනිමු. අද දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යාවන් ද වේ. ඔවුන් ගේ අයිතිවාසිකම් ද පිළිගන්නා තෙක් අපි සියල්ලෝම ඔවුනට සමීපව සිටිමු" යි එතුමා ආයාචනා කළේය.

රෝහින්ග්‍යා සරණාගතයෝ 600,000කට වැඩි පිරිසක් බංගලි දේශයට පැමිණ සිටිති. ඔවුහු කොක්ස් බසාර් හි කඳවුරු 32 ක රඳවනු ලබා සිටිති. ඒ අතරින් 32,000 කට ඒ.ජා. සරණාගතයන් ගේ මහා කොමසාරිස් කාර්යාලය විසින් නිල සරනාගතභාවය ලබා දී තිබේ.

"දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම?"

කතෝලික දහමේ 'දෙවියන් වහන්සේ ගේ ජීවමාන වැඩසිටීම' ගැන කතා කරන්නේ ගැඹුරින් හා භක්තියෙනි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ සහ දේව වචනය  (ශුද්ධ ලියවිල්ල) කියවා මෙනෙහි කරන අවස්ථා වල උන්වහන්සේ වැඩසිටින බව සභාව  උගන්වයි.

එම හැරුණු කොට ජේසු සමිඳුන් තමන් ගේ "ජීවමාන වැඩසිටීම" ගැන විප්ලවීයව  ඉගැන්වූ ආකාරය මතෙව් සුබ අස්නේ 25 වැනි පරිච්ඡේදය උගන්වයි. ඊට පදනම් වන්නේ උන්වහන්සේ ගේ ප්‍රේමයේ පනතයි.
"මම සාගිනිව  සිටියෙමි; ඔබ මට කන්නට දුන්හ. මම පිපාසව සිටියෙමි; ඔබ මට බොන්නට දුන්හ. මම නිරුවත්ව සිටියෙමි; ඔබ මට අඳින්නට ඇඳුමක් දුන්හ. මම තනිව, රෝගීව සිටියෙමි; ඔබ මට සැනසිලි වදනින් සත්කාර කළහ......." යනුවෙන් ජේසු සමිඳාණෝ පවසති. මෙතැනදී උන්වහන්සේ කලේ ලෝකයේ දුක් විඳින්නන් සමග උන්වහන්සේ අනන්‍ය කරගැනීමයි.

දුක් විඳින ජනතාව කවර ජාතියක, කවර කුලයක, කවර ආගමක් අදහන, කවර රටක ජනතාවක් වුවද , ඔවුන්  තුළ වැඩ වෙසෙන්නේ ජේසු  සමිඳානෝය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කිරීමට පදනම් කරගන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ම මෙම ඉගැන්වීමයි.

රෝහින්ග්‍යාවන් ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ ඔවුනට එරෙහිව ඇතැම් පාර්ශව වලින් ඔවුනට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ අවස්ථාවේ ඔවුන් තුළ වැඩසිටි ක්‍රිස්තු සමිඳාණන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාවේ කතෝලිකයන් අපොහොසත් වූවාද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය