සුදොතුම් පියතුමා බංගලි දේශයට: "රැඛිනේ පළාතෙන් පැමිණි (රෝහින්ග්‍යා ) සරණාගතයන් ආදරයෙන් පිළිගත්තාට ඔබට ස්තුතියි; අන්තර් ජාතික ප්‍රජාව බංගලි දේශයට අනිවාර්යයෙන් ආධාර කළ යුතුයි" එතුමා අවධාරණය කරයි

In Bangladesh, Pope Francis thanks the nation for the "spirit of generosity and solidarity"; calls for humanitarian aid and political solution for the Rohingya crisis  

ජනාධිපති අබ්දූල් හමීඩ් මහතා විසින් පිළිගනු ලැබ ....

(2017 නොවැම්බර 30)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ සිට සිය අපෝස්තලික ගමනේ දෙවන අදියර ආරම්භ කරමින් නොවැම්බර 30 වැනිදා පෙරවරු 10 ට පමණ බංගලි දේශයට සැපත් වූයේය.

ඪකා අන්තර් ජාතික ගුවන් තොටුපලේදී එතුමන් මහත් හරසරින් පිළිගන්නා ලද්දේ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා, මැති ඇමතිවරුන් සහ එරට කතෝලික සභා නායකයන් විසිනි. එතුමන් වෙනුවෙන් සම්ප්‍රදායානුකුල ලෙස ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වින.

එදින සවස එතුමා ඪකාහි ජනාධිපති මාලිගයේ දී ජනාධිපති  හමීඩ් මහතා මුණගැසුනේය.එහිදී පැවැති උත්සවයේදී පිළිගැනීමේ කතාව කරන ලද්දේ ජනාධිපති හමීඩ් මහතා විසිනි.

ඊට පිළිතුරු කතාව කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ රෝහින්ග්‍යා ජනතාව ගේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අන්තර් ජාතික ප්‍රජාව "තීරණාත්මක පියවර" ගත යුතු බව අවධාරණය කළේය. එතුමන් කියා සිටියේ මෙම ගැටලුව දැන් "බරපතල අර්බුදයක්" දක්වා වර්ධනය වී ඇති බවයි. (එහෙත් ම්‍යන්මාවේ දී මෙන්ම බංගලි දේශයේදී ද එතුමා "රෝහින්ග්‍යා" යන වචනය භාවිත කලේ නැත. ඒ වෙනුවට ඔවුන් හැඳින්වීම සඳහා එතුමා භාවිත කලේ "රැඛිනේ ප්‍රාන්තයේ ජනතාව" යන වචනයි. එතුමා එසේ කලේ ම්‍යන්මාවේ යැන්ගොන්  හි අගරදගුරු චාල්ස් බෝ කාදිනල් හිමිපාණන් ගේ උපදෙස් අනුවයි. සාමය සඳහා දොරටුවක් විවෘත කරගැනීම එතුමා ගේ අරමුණ වී තිබේ.  "රෝහින්ග්‍යා" යන වචනය භාවිත නොකළේ ද ඒ අරමුණෙනි.)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය කතාව ආරම්භයේ දීම බංගලිදේශ ජනතාව තුළ ඇති මෛත්‍රිය සහ දයා කරුණාව වෙනුවෙන් ඔවුන්ට ස්තුති කළේය:
"ඔබ තුළ ඇති ත්‍යාගශීලි භාවයටත් ඔබගේ සහෝදරත්වයටත් ඔබට බොහෝ ස්තුතියි. මෙම ත්‍යාගශීලි බව බංගලි දේශ සමාජයේ පවතින සුවිශේෂී ලක්ෂණයකි. රැඛිනේ ප්‍රාන්තයෙන් ඔබ රටට පැමිණි  සුවිශාල සරණාගත රැල්ල මානුෂවාදී හදවතින් යුතුව පිළිගෙන, ඔවුනට තාවකාලික නිවහන් සහ අනෙකුත් මූලික ජීවිත අවශ්‍යතා සම්පාදනය කිරීමට ඔබ ක්‍රියාකළ අවස්ථාවේ දී එම ත්‍යාගශීලීත්වය මොනවට ප්‍රදර්ශනය වූයේ" යැයි  සුදොතුම් පියතුමා කීවේය.

"ඔබ මෙම සේවාව වෙනුවෙන්  කරන ලද කැපකිරීම කිසිසේත් සුළු පටු නොවේ. ඔබ එම කැපකිරීම් කලේ සමස්ත ලෝකයේ නෙත් අබියස"යයි සරණාගතයන් පිළිගෙන උවැටන් කිරීමේ යහපත් ක්‍රියාව ගැන තවදුරටත් ඔවුනට ප්‍රශංසා කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බංගලි දේශයට මෙලෙස ප්‍රශංසා කලේ ආසියාවේ දුප්පත්ම රටක්ව සිටියදීත් , තම ජනතාවට තම භුමිය හා සම්පත් පවා මදිව තිබියදීත්  පිටස්තර රටක අසරණ වූ ජනතාවක් පිළිගෙන ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට තරම් උතුම් හදවතක් සහ එඩිතරකමක් එරට සමාජයට තුබූ නිසාය. ඔවුනට කරන්නට  සිදුවූ මෙම පරිත්‍යාගය පාප් වහන්සේට කලින් කතා කල බංගලි දේශ ජනාධිපති හමීඩ් මහතා මෙලෙස පැහැදිලි කළේය.
"අපගේ ජනතාව දිගු කල දෑතින් ඔවුන් පිළිගත්තා. තමන් ගේ ආහාර, ඉඳුම් හිටුම් සහ වෙනත් මූලික අවශ්‍යතා ඔවුන්  සමග බෙදා ගත්තා. මෙතරම් ජනාකීර්ණව පවතින භූමියක් තුළ ඔවුන් සමග එම සීමිත ඉඩකඩ බෙදා ගනිමින්, එයින් ඇතිවූ හිරිහැරය ගෞරවයෙන් පිළිගත්තා" යයි ඔහු සිය ජනතාවගේ ත්‍යාගශීලි බව විස්තර කරමින් කියා සිටියේය.

සිය පිළිතුරු කතාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කෙළේ අති විශාල ජනතාවක් අවතැන් කිරීමට හේතු භූත වී ඇති කරුණු සොයා ඊට හැකි කඩිනමින් විසඳුම් සෙවීම අන්තර් ජාතික ප්‍රජාව මත පැවරී ඇති වගකීමක් බවයි

 "ජාත්‍යන්තර ප්‍රජාව මෙම බරපතල මානුෂික අර්බුදයට පිළියම් සෙවීම සඳහා තීරණාත්මක පියවර ගත යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව  මෙහිලා ක්‍රියා කල යුත්තේ හුදෙක් ජනතාව මහා පරිමාණයෙන් අවතැන් කිරීමට හේතු වී ඇති දේශපාලන හේතුවලට විසඳුම් සෙවීම සඳහා පමණක් නොවේ. මේ මොහොතේ උද්ගතව ඇති මානුෂවාදී අර්බුදයට ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වමින් සිටින බංගලි දේශ ජනතාවට වහාම අවශ්‍ය වී තිබෙන භෞතික ආධාර පිරිනැමීමට ද ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතුයැ " යි  එතුමා පෙන්වා දුන්නේ ය.

තෑගි හුවමාරු කරගත් මොහොත 

බංගලි දේශය සිය රට තුළ සිටින විවිධ වාර්ගික, සංස්කෘතික  හා ආගමික ජනකොටස් අතර සංහිඳියාවෙන් ජීවත්වීමට දරන උත්සාහය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රශංසාවට ලක්විය. විශේෂයෙන් එරට අති සුළුතරයක් වන (ජනගහනයෙන් සියයට එකක්) කතෝලික ජනතාවට සිය විශ්වාසය තුල වර්ධනය වීමට දී ඇති නිදහස එතුමා මහත් සේ අගය කළේය. එරට කතෝලික ජනගහනය සුළුතරයක් වූවත්, එරට කතෝලික සභාව සෞඛ්‍යය, අධ්‍යාපනය හා පුණ්‍ය සේවා යන අංශ වල පුළුල් සේවාවක නිරත වෙයි.

"බංගලි දේශයට   පාප් වහන්සේලාගේ හදවතේ නිතරම විශේෂ ස්ථානයක් තිබු බව" ද එතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරටට පැමිණි තුන්වන පාප් වහන්සේයි. එපමණක් නොව බංග්ලාදේශය පාකිස්ථානයෙන් ඉවත් වූ පසු එරට රාජ්‍යයක් ලෙස ප්‍රථමයෙන් ම පිළිගත් රාජ්‍යයන්  කිහිපය අතර වතිකානය ද විය. ශුද්ධාසන රාජ්‍යය 1973 දී බංගලි දේශය තුළ සිය තානාපති කාර්යාලය පිහිටුවූයේය.

පුද්ගලයන් 29 දෙනෙකු මරුමුවට පත් කරමින් 2016 ජූලි මාසයේ දී ISIS ත්‍රස්තවාදීන් ඪකා නුවර සිදු කල ප්‍රහාරය ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. එම අවස්ථාවේ රටේ සියලුම ආගමික නායකයන් විසින් මෙම ප්‍රහාරය හෙළා දුටු ආකාරය ගැන එතුමා ප්‍රශංසා කළේය.

"එම ආගමික නායකයන් ගේ එක්සත් හඬ  ලෝකයට පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නේය. එනම් අපගේ සහෝදර මනුෂ්‍යයනට එරෙහිව වෛරයත් හිංසාවත් පැතිරවීම සඳහා දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය භාවිත කිරීම යුක්ති සහගත කළ නොහැකි බවයි" යි එතුමා කියා සිටියේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය