"ජේසුගෙන් තොර නත්තල හිස් මංගල්ලයක්" 81 වන උපන් දිනය සමරද්දී සුදොතුම් පියතුමා කියයි."කිසිදාක ඔබේ දරුවන්ගේ සිත් රිදෙන ලෙස නොහැසිරෙන්න" දෙමාපියන්ට කියයි

“Do not take Jesus out of Christmas!”- Pope Francis says as he celebrates 81st birthday:



(2017 දෙසැම්බර 17)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (දෙසැම්බර 17 ) සිය 81 වැනි උපන් දිනය සැමරුවේය.

මෙවර උපන් දිනය සැමැරීමට එතුමන් සමග එක්ව සිටියේ වතිකානයේ සාන්තා මාර්තා බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා ගන්නා  ළමයින් කණ්ඩායමකි. ඔවුන් සමග එම බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩලය, ඔවුන් ගේ දෙමාපියන් සහ ස්වේච්ඡා සේවකයෝ ද වතිකානයේ සවැනි පාවුළු ශාලාවට පැමිණ  සිටියහ.

සුදොතුම් පියතුමා ගේ උපන් දිනය වෙනුවෙන් එම ශාලාවේ අති දීර්ඝ උපන්දින පීට්සා එකක් සුදානමින් තිබිණි. එතුමා ළමයින් සමග එක්ව එහි දල්වා තිබූ ඉටිපන්දම නිවා උපන් දින සැමරුම ආරම්භ කළේය. "මේ පීට්සා එක සම්පුර්ණයෙන්ම ඔබටයි. මෙය ඉතිරි නොකර කන්න" ඉන් පසුව එතුමා ළමයිනට කීවේය.

ඉතාලියේ උපන් දින උත්සව  සඳහා පුළුස්සනු ලබන්නේ හතරැස් දීර්ඝ පීට්සාය. සුදොතුම් පිය උපන් දිනය වෙනුවෙන් පිළිස්සූ  පීට්සාවේ දිග අඩි 13 කි. (මීටර 4 කි).



ඉන් පසුව එතුමා සිය උපන් දිනය වෙනුවෙන් සාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි වන්දනා කරුවන් ටද කතා කළේය. රෝමය පුරා විවිධ ප්‍රදේශ වලින් පැමිණි ළමයින් 25,000ක් සහ වන්දනා කරුවෝ රැසක් ඒ ව විට එම චතිරශ්‍රයට පැමිණ සිටියහ.

මෙහි පැමිණ සිටි ළමයින්ගේ අත්වල  විවිධ වර්ණවල  බැලුන් වලට අමතරව ඉතාලියේ සම්ප්‍රදායට අනුව ජේසු බිලිඳුන් ගේ පුංචි ප්‍රතිමා ද තිබිණි.  ඔවුන් මෙම ප්‍රතිමා ගෙනවිත් තිබුනේ සාම්ප්‍රදායික ලෙස සුදොතුම් පියතුමා ලවා ආශීර්වාද කර ගැනීමටයි.

"ජේසු සමිඳුන් නත්තලෙන් ඉවත් කරනු එපා!" එම ප්‍රතිමා දෙස බලමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"ඔබ ගෙදර දී ගවලෙන ඉදිරියේ ඔබගේ පවුලේ සාමාජිකයන් සමග යාච්ඥා කරන විට, ස්වකීය ආදරය අපට ලබා දීම සඳහා දුප්පත්ව, දුර්වලව අප අතර ඉපදුණු ජේසු සමිඳුන් ගේ මෘදු කරුණාවට ඔබ ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න.මෙයයි සැබෑ නත්තල. අප නත්තලෙන් ජේසු සමිඳුන් ඉවත් කළහොත් අපට ඉතිරි වන්නේ කුමක්ද? හිස් මංගල්ලයක් පමණයි. සැබෑ නත්තල ජේසුයි " එතුමා කීවේය.

සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කලේ විශේෂයෙන් බටහිර ලෝකය හරහා හමා යමින් ඇති වාණිජ හා ලෞකික රැල්ල සිහිපත් කරමිනි. මේ වන විට ඇමෙරිකාවේ සහ යුරෝපයේ නත්තල මුළුමනින්ම පාහේ වානිජකරණ වී ඇති අතර, 'නත්තල' යන නම  වෙනුවට "නිවාඩු දවස්" නැතහොත් "උත්සව සමය" යන පද යොදා ගැනීම රටාවක් ද ඇති වෙමින් තිබේ. ඇතැම් බටහිර ආණ්ඩු පවසන්නේ වෙනත් ආගමිකයන් ගේ සිත් නොරිදවීම සඳහා මෙය කරන බවයි. එහෙත් නත්තලේ දී  ජේසු වෙතින් වෙනතකට අවධානය යොමු වීම කිතුනුවන්  ගේ වේදනාවට හේතු වී ඇත.

සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දෙමාපියෝ සිය දරුවන් හා එක්ව සුදොතුම් පියතුමා වෙනුවෙන් “Tanti Auguri” (Happy Birthday) ගීතය ගායනා කලහ.
"දරුවන් ගේ ප්‍රීතිය බොහෝ ඵල දරන මහා නිධානයක්" එතුමා ඔවුනට කීවේය. "මේ නිසා ඔවුන් නොකඩවා ප්‍රීතියෙන් තබා ගැනීමට අවශ්‍ය දේ අප විසින් කල යුතුව තිබෙනවා. ප්‍රීතිමත්  සිත ජීවිතය හොඳින් වැඩී යහපත් ඵල ලබා දෙන සාරවත් පොළොවක් වැනියි.  ඒ නිසා ඔබගේ දරුවන් ගේ ප්‍රීතිය ආරක්ෂා  කරන්න. ඔවුන් වේදනාවට පත්කිරීමෙන් වලකින්න. තමන් ගේ දෙමාපියන් වාදකරනු හෝ දබර කරනු දකින විට දරුවන් වේදනාවට පත්වෙනවා. ඔවුන් වේදනාවට පත් නොකරන්න. ඔවුන් වැඩිය යුත්තේ සතුටින්" එතුමා කීවේය.

මෙවර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ උපන් දිනයේ දැඩි අවධානය යොමු වූ එක් දෙයක් වූයේ එතුමා ගේ උපන් දින කේක් එකයි. මෙවර මෙම කේක් එක පුළුස්සා තිබුනේ වතිකානයට ආසන්නව වෙසෙන ප්‍රසිද්ධ බක්කරේ කෙනෙකු වන හෙදෙරා විසිනි. ඔහු මෙම කේක් එක නිර්මාණය කිරීම සඳහා රෝමයේ වීදි කළා කරුවකු වන මාවුරෝ පලොත්තා ගේ දායකත්වය ලබා ගත්තේය. කේක් ගෙඩියේ සිතුවම පලොත්තාගේ ය.

උපන් දින කේක් ගෙඩිය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බෙදුණු ලෝකයක් සිය කර මතින් ගෙන යනු එහි නිර්මාණය කර තිබේ. මෙම බෙදුණු ලෝකය මසමින් එකට තබා ගන්නට එතුමා උත්සහ කරන බව එහි පෙනෙන්නට තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ එක අතක ඇත්තේ එතුමා ගේ ලෝක ප්‍රකට කළු පොත් බෑගයයි. එහි "වටිනාකම්" යන වචනය දකින්නට තිබේ.  බෑගයේ පිටුපසින් සළුවක් එල්ලෙනු පෙනේ. මෙය එතුමාගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම වන  සාන්ත ලොරෙන්සෝ කණ්ඩායමේ සංකේතයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය උපන් දින හෝ සංවත්සර උත්සව පවත්වන්නේ මහ හෝටල හෝ සුඛෝපභෝගී පිළිගැනීම් ශාලා වල නොවේ. ෂැම්පේන්, නැටුම් ගැයුම් එම උත්සවවල නොමැත. ගලීලයේ සිට  මිනිසි සිත්  සිය මුදු දයාවෙන් ස්පර්ශ කළ නාසරෙතයේ ජේසු තරුණයා අනුගමනය කරන මේ බැහැපත් මිනිසා, සිය  ස්වාමියාණන් සේ ම  සිය ජීවිත  සමරු දිනයන් ගත කරන්නේ සමාජයේ සීමා වල ජීවත් වන දුර්වල, කොන් වූ ජනතාව හෝ අවධානය හා රැකබලාගැනීම අවශ්‍යවන ජනයා සමගය.

එතුමා සිය 77 වැනි සහ 80 වැනි උපන් දින සැමරුවේ රෝමයේ ගෙදරක් නොමැති ජනතාව සමග උදෑසන ආහාරය බෙදා ගනිමිනි. 78 වැනි උපන් දිනය එතුමා  ගත කලේ 'සර්කස් 100' සර්කස් කරුවන් සමගය. එතුමා 79 වැනි උපන් දිනය ඉතාලි කතෝලික ක්‍රියාකාරීත්වයේ තරුණ තරුණියන් සමග ගත කළේය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය