පළමුවන ජුවාම් පාවුළු-"සිනාසෙන පාප් තුමා"- ශාන්තුවර මගට; එතුමා "වන්දනීය" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි

Pope declares John Paul I "Venerable"; Opens the way to Sainthood



(2017 නොවැම්බර 9)
"සිනාසෙන පාප් තුමා" යන ලබැඳි නාමයෙන්  හැඳින්වුණු පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා "කිතුනු ධර්මගුණ වික්‍රමාන්විත අයුරින්" ගත කර ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිල වශයෙන් පිළිගෙන තිබේ. එතුමා මෙම තීරණය නොවැම්බර 9 වන දින ප්‍රකාශයට පත් කල බව වතිකාන මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මේ අනුව පළමුවන ජුවාම් පාවුළු පාප්තුමන් "වන්දනීය" නාමයෙන් හැඳින්වීමට ලොව පුරා කතෝලිකයනට අවකාශ ලැබේ. මෙය එතුමා සාන්තුවරයට පත් කිරීමේ ගමනේ ප්‍රධාන පියවරකි. ඊළඟට එතුමා භාග්‍යවරයට එසැවීම සඳහා එතුමන් ගේ මැදිහත් කමින් සිදු වූ ප්‍රාතිහාර්යයක් සුදොතුම් පියතුමා විසින් පිළිගත යුතු අතර ඉන්පසුව එතුමන් ශුද්ධවරයට එසවීම සඳහා තවත් ප්‍රාතිහාර්යයක් අවශ්‍ය වනු ඇත. එතුමන් ගේ ශාන්තුවර කෘත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ස්ටෙෆානියා ෆැලස්කා පවසන්නේ එතුමන් ගේ මැදිහත්කම ඇතිව සිදුකෙරුණු බව පැවසෙන "අසාමාන්‍ය සුවපත්වීම්" දෙකක් ගැන දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි.එහෙත් සභා නීතිය අනුව සාන්තුවරයට පත්කිරීමට යෝජිත තැනැත්තා "වන්දනීය" බව පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කෙරෙන තෙක් ඒවා පිලිබඳ විමර්ශනය කල නොහැකිය. මේ පියවරත් සමග එම බාධාව ඉවත්වී තිබේ.

දින 33 පාප්තුමා 

සවැනි පාවුළු පාප් වහන්සේ ගේ සගසැපත් වීමෙන් පසුව 1978 දී සුදොතුම් පිය ධුරයට තේරී පත් වූ පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ  පාප්තුමන් ලෙස ජීවත් වූයේ දින 33ක් පමණි. දින 33ක් තුළ ලොවේම ප්‍රේමය දිනාගනිමින් සිටි එතුමා ලොවම වේදනාවටත් කම්පනයටත් පත් කරමින් හදිසියේ ම ස්වර්ගස්ථ විය. එතුමා ස්වර්ගස්ථ වූයේ හර්දයාබාධයකින් බව වතිකානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එහෙත් එතුමා ගේ හදිසි මරණය පසුපස කුමන්ත්‍රණයක් ඇත යන්න එතුමාට ආදරය කල ජනතාව තුළ අදටත් පවතින මතයයි. ඊට හේතුව සවැනි පාවුළු පාප්තුමා විවෘත කල ප්‍රගතිශීලී මාර්ගයේ වඩා කැපවීමෙන් ගමන් කිරීම ගැන එතුමා සංඥා කර තිබීමයි.

පුංචි කාලේ හුඟක් දවස් නින්දට ගියේ බඩගින්නේ 

පාප් වහන්සේ වීම පෙර එතුමා ගේ නම අල්බිනෝ ලුචියානි විය.

1912 දී ඉතාලියේ පුංචි කඳුකර ගමක උපත ලැබූ ඇල්බිනෝටත් , ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ එකම සහෝදරියටත්  කුඩා කාලයේ සිටම දුප්පත්කමේ දුක්ඛ දෝමනස්ස වැළඳීමට සිදුවිය. එය කෙතරම් දරුණුද කියන්නේ නම් මේ සොයුරු සොයුරියන් සිව් දෙනා වැඩිමනත් දිනවල නින්දට ගියේ බඩගින්නේ ය. රැකියාවෙන් ගඩොල් අල්ලන්නෙකු වූ ඔහුගේ පියාට රැකියා සොයා බොහෝ විට අසල්වැසි ස්විට්සර්ලන්තයට හෝ ජර්මනියට යන්නට සිදුවිය.

තමා කුඩා කාලයේ නිතරම රෝගී වූ බවත් තමා  වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයා වෙත  ගෙනයන්නට සිය අම්මාට සිදු වූ බවත් 1978 සැප්තැම්බර් මාසයේ පැවැති පොදු හමුවකදී එතුමා වන්දනා කරුවනට හෙළි කළේය. අසනීප වීම නිසා කිහිප විටක්ම ඔහු රෝහල් ගත කිරීමට ද සිදුවිය.

දෙව්සත්හලට යාමේ අදහස යොවුන් ඇල්බිනෝ තුළ ඇති වූයේ මේ අතර ය. දුප්පත් කමත් රෝගී බවත් නොතකා ඔහුට දෙව්සත්හලට යාමට තාත්තා දිරිමත් කළේය.

1935 දී ඇල්බිනෝ ලුචියානි පූජාත්වරය ලැබූවේය. 1958 දී 23 වන ජුවාම් පාප්වහන්සේ විසින් එතුමා විත්තේරියෝ විනේතෝවේ රදගුරු තුමා ලෙස පත්කරනු ලැබුවේය. වසර 10ක අවෑමෙන් සවැනි පාවුළු පාප් තුමන් විසින් වැනීසියේ පෙත්රියාක්තුමා ලෙස පත් කරන ලද එතුමා 1973 දී එතුමා විසින් කාදිනල් වරුන් ගේ පර්ෂදයට ඇතුලත් කරන ලදී.

සභාවේ රත්රන් විකුණා දිළිඳුනට දුන්නා 

කාදිනල් ඇල්බිනෝ ලුචියානි හිමිපාණන් වැනීසියේ පේත්‍රියාක් තුමා ලෙස සේවාව කරද්දී ජනතාවගේ ආදරයට ලක්ව සිටියේ දුප්පතුන් හා ආබාධිතයන් වෙනුවෙන් කැප වූ පුදැදුරු නමක් ලෙසය.

තමන් සතුව ඇති රන් හා රිදී භාණ්ඩ විකුණා එම මුදල් දොන් ඕරියොන් ආබාධිත යන ගේ නිවසට පරිත්‍යාග කරන්නැයි 1976 පෙබරවාරියේ දී කාදිනල් ලුචියානි හිමි සිය පදවියේ සිටි සියලුම පූජකවරුනට උපදෙස් දුන්නේය. එම උපදේශයට සිය ආදර්ශයෙන් ම නායකත්වය දුන් එතුමා තමන්ට ලැබී තිබූ රන් භාණ්ඩ ද වෙන්දේසියේ දමා ඒ මුදල් එම ආබාධිත නිවෙසට දුන්නේය. එතුමන් වෙන්දේසියේ විකුණු භාණ්ඩ අතර කලක් 12 වැනි පියුස් පාප් වහන්සේ සතුව තිබී පසුව 23 වන ජුවාම් පාප් වහන්සේ විසින් එතුමාට තෑගී කරන ලද රන් දම්වැලක් ද විය.

එම සම්මාදම ගැන එතුමා පසුව මෙසේ ලියා තැබුවේය:
"අපට හිමිව ඇති සියල්ල හා සංසන්දනය කල විට අප මේ කලේ ඉතා සුළු දෙයකි. ඇත්තවශයෙන් ම සභාවේ සැබෑම වස්තුව වන්නේ දුප්පතුන් ය යන්න තේරුම් ගැනීමට මෙම ක්‍රියාව ඉවහල් වන්නේ නම් එහි වටිනාකමක් තිබේ."


"කිරුළු පැළඳීම" නොවේ "පදවිය භාර ගැනීම"

1978 දී සවැනි පාවුළු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව කාදිනල් ඇල්බිනෝ ලුචියානි හිමිපාණන් ඊළඟ පාප් තුමන් වේ යැයි කවරකුවත් සිතුවේ නැත. ඊළඟ පාප්තුමන් වේයැයි අනුමාන කළ "දැවැන්තයන්" ගේ නම් අතර එතුමා ගේ නම තිබුනේ ම නැත.

එහෙත් සිස්ටයින් පල්ලිය තුළ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කරමින් එතුමන් එම පාප් වරණ දැහැනින් පිටතට ආවේ සභාව තුළ නව පරිවර්තනයකට මග පාදමින් "පළමුවන ජුවාම් පාවුළු" සුදොතුම් පියතුමන් ලෙසිනි.

එතුමා ගේ පාප් ධුරයේ ආදර්ශ පාඨය වූයේ "බැහැපත්කම" ("Humilitas") යන්නයි. දුප්පතෙකුව උපත ලැබූ එතුමා සිය ජීවිතය පුරාම "බැහැපත්කම"ට මහත් ආදර්ශයක් වූයේය.

එතෙක් පාප් වහන්සේලා පැළඳි රන්මුවා කිරීටය පැළඳීම එතුමා ප්‍රතික්ෂේප කළේය. එතෙක් පාප් වහන්සේ නමක් එම ධුරය භාරගත් අවස්ථාව හඳුන්වන ලද්දේ "ඔටුනු පැළඳීම" ලෙසය. ඔටුනු පළඳින්නට පාප් වහන්සේ "රජෙකු" නොවන බව පළමුවන ජුවාම් පාවුළු පාප් තුමා ක්‍රියාවෙන් ම පෙන්නුම් කළේය. මෙතෙක් "ඔවුනු පැළඳීම" ලෙස හැඳින්වුණු එම දේව මෙහෙයේ නම "පදවිය භාර ගැනීම" ලෙස එතුමා වෙනස් කළේය.

"අපව වඩාත් යහපත් තැනැත්තන් බවට පරිවර්තනය කරගනිමින් අපි සභාව ප්‍රවර්ධනය කරමු" එතුමා කීවේය.
තමා නිතර කියන යැදුම සභාවේම කරගන්නයි එතුමා සභාවෙන් ඉල්ලා සිටියේය. එනම්:
සමිඳුනි, මා සිටින ආකාරයෙන් ම මා පිළිගන්න. මගේ දුර්වලකම් සමග මගේ අතපසු වීම් සමග මා පිළිගන්න. එහෙත් එසේ මා පිළිගෙන මා ඔබට අවශ්‍ය පුද්ගලයා බවට පරිවර්තනය කරන්න."






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය