ගිහි කාන්තාවෝ දෙදෙනෙක් වතිකාන පරිපාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරෙති

Pope appoints two lay women to high ranking positions in the Roman Curia



(2017 නොවැම්බර් 08)
 වතිකානයේ සහ සභාවේ ඉහලම පරිපාලන ව්‍යුහය වන රෝම  කියුරියාවේ ඉහළ තනතුරු දෙකකට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතාලි ජාතික ගිහි කාන්තාවන් දෙදෙනෙකු පත්කර තිබේ.

මහාචාර්ය ගාබ්‍රියෙලා ගැම්බිනෝ සහ ආචාර්ය ලින්ඩා ඝිසෝනි එම කාන්තා විද්වතුන් දෙදෙනායි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ජීවිතය පිලිබඳ කාර්යාලයේ උප ලේකම්වරිය ලෙස  මහාචාර්ය ගැම්බිනෝ මහත්මිය පත් කරනු ලැබ ඇති බව වතිකාන මාධ්‍ය කාර්යාලය ඉකුත් අඟහරුවාදා නිවේදනය කළේය. ආචාර්ය ලින්ඩා ඝිසෝනි මහත්මිය පත් කරනු ලැබ  සිටින්නේ එම දෙපාර්තමේන්තුවේම ගිහියා පිලිබඳ කාර්යාලයේ උප ලේකම් ලෙසය. මෙම තනතුරු දෙක එම දෙපාර්තමේන්තු නායකත්ව ධුරාවලියේ  තුන් වන තනතුරයි. ගිහි කාන්තාවන් රෝම කියුරියාවේ මෙතරම් ඉහල තනතුරකට පත්කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම පත්කිරීම් කාන්තාවනට රෝම පරිපාලනය තුළ ඉහල නායකත්වයක් ලබා දීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුල වන අධිෂ්ඨානය තව දුරටත් තහවුරු කරන්නක් බව  නිරීක්ෂකයෝ පවසති.

මිලානෝ විශ්ව  විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරියකු වන 49 හැවිරිදි මහාචාර්ය ගැම්බිනෝ  මහත්මිය පසුව රෝමයේ දිව්‍ය හර්ද කතෝලික සරසවියේ ජෛව ශීල ධර්ම පීඨයෙන් ජෛව ශීල ධර්මය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගත්තාය. පසුව සරසවි කිහිපයකම ආචාර්යවරියක් ලෙස සහ පර්යේෂකවරියක් ලෙස කටයතු කළ ඇය වතිකානයේ ගිහියා පිලිබඳ පර්ෂදයේ  ද සේවය කළාය.

52 හැවිරිදි ආචාර්ය ඝිසානෝ මහත්මිය ජර්මනියේ එබ්හාර්ඩ් කාල්ස් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය හා දෙවධර්මවේදය පිලිබඳ මූලික උපාධි ලබාගත්තා ය. ඇය 1999 දී රෝමයේ කීර්තිමත් ග්‍රෙගෝරියාන සරසවියෙන් සභා නීතිය පිලිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තාය. ඇය සභා නීතිවේදිනියකි. විවාහක කාන්තාවක් වන ඇය දූවරුන් දෙදෙනෙකු ගේ මවකි. ඇයද මීට පෙර ගිහියා පිලිබඳ පර්ෂදයේ සේවය කර ඇති කෙනෙකි.

මේ සම්බන්ධයෙන් ජේසු නිකායික ප්‍රකාශනයක් වන "ඇමෙරිකා" සඟරාවට ප්‍රකාශයක්  කල ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කාදිනල් ජෝර්ජ් ෆැරල් හිමිපාණන් පවසන්නේ කාන්තාවනට සභාව තුළ සිදුකිරීමට මෙහෙවරක් තිබෙන බවයි. "සභාවේ අනාගතය ඔවුන් මත රඳා පවතින බව මම තරයේ විශ්වාස කරනවා. සභාව තුළත් එහි සංවිධානය තුළත්  ගිහියාගේ කාර්යභාරය ප්‍රවර්ධනය කළ යුතු බව මට නිතරම හැඟී ගොස් තිබෙනවා" යැයි එතුමා සඳහන් කලේය. 









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය