"යුද්ධයේ ඵලය මරණයයි; යළිත් යුද්ධයක් එපා!" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මළවුන් සිහිපත් කරමින් කියයි

"The Fruit of war is death; Let there be no more war" - Pope prays for the end of war on All Souls Day


(2017 නොවැම්බර 05)
යුද්ධය විසින් ගෙන එනු ලබන ප්‍රචණ්ඩත්වය හා විනාශය අවසන් කරන්නැයි අප දෙවියන් වහන්සේට කන්නලව් කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. විශේෂයෙන් ම ලෝකය තවත් ගැටුමකට සූදානම් වෙමින් සිටින බව පෙනෙන්නට ඇති මෙම කාලයේ තවත් යුද ගැටුමකින් ලොව ගලවන්නැයි දෙවි හිමියනට කන්නලව් කරන ලෙස එතුමා සියලු කිතුනුවන් ගෙන් ඉල්ලා සිටියි.

"ලෝකය යළිත් යුද්ධයකට මුහුණලා සිටියි. එය සූදානම් වන්නේ වඩා දරුණු යුද්ධයකට යාමටයි.එපා සමිඳුනි! යළිත් යුද්ධයක් එපා! යුද්ධයේ දී ලෝකයට සියල්ල අහිමි වෙයි......මළවුන් සිහිපත් කරන අප  අද කිව යුත්තේ මෙයයි.. විශේෂයෙන් ම යුද්ධයේ දී මියගිය යෞවන  යෞවනියන්  සිහිපත් කරන මෙතන දී අප කිව යුත්තේ යාච්ඥා කල යුත්තේ මේ සඳහායි..." යයි එතුමා කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනාව කලේ නොවැම්බර 2 වන දින මළවුන් ගේ මංගල්‍යය නිමිත්තෙන් පැවැති දිව්‍ය පුජා යාගයේ දීය.

මෙවර සියලු ආත්මයන් ගේ දිනය හෙවත් මළවුන් ගේ දිනයේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දිව්‍ය පූජාව පැවැත්වූයේ නෙතුනෝ හි පිහිටි සිසිලි-රෝම සුසාන හා අනුස්මරණ භුමියේ දීය. රෝමයට දකුණු දිගින් පිහිටි මෙම සුසාන බිම දෙවන ලෝක යුද්ධයේ දී මියගිය ඇමරිකානු සෙබළුන් මිහිදන් කරන ලද සුසාන භූමියකි. අක්කර 77කින් යුත් මෙම යුද සුසාන භුමියේ සෙබළුන් 7860 දෙනෙකු මිහිදන් කර තිබේ. ඊට අමතරව යුද්ධයේ දී අතුරුදන් වූ සෙබළුන් 3095කගේ නම් මෙම සුසාන භුමියේ දෙව්මැදුරේ සටහන් කර තිබේ.

 මෙවර මළවුන් ගේ දින දිව්‍ය පූජාව සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යුද සුසාන භුමිය තෝරා ගත්තේ යුද්ධයේ ආදීනව පිලිබඳ පණිවිඩය යළි ජනතාව වෙත ගෙන යාමේ අරමුණ ඇතිවය.

"මෙම අනුස්මරණ සුසාන භුමියට ඔබ සියලු දෙනා අද රැස්ව  සිටින්නේ බලාපොරොත්තු දල්වා ගත් සිත්වලින් යුතුවයි" යැයි සිය කෙටි ධර්මදේශනයේ දී එතුමා කීවේය. "එහෙත්  බොහෝ විට මෙම බලාපොරොත්තුවේ මුල් පවතින්නේ මානව දුක් වේදනා තුළයි. යුද්ධය එවැනි එක් රිදුම් දෙන වේදනාවකි. එහෙත් යුද්ධයේදී සිදුවන මෙවැනි දැවැන්ත විනාශයකින් තොර බලාපොරොත්තුවක් වඩා යහපත් ය. යුද්ධයක දී අහිමි වන්නේ දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත යොවුන් ජීවිතයි. අප තුළ තිබිය යුත්තේ එවැනි ජීවිත අහිමි වීමකින් තොර බලාපොරොත්තුවකි" යි සුදොතුම් පියතුමා කීවේය.

"මේ නිසා අද බලාපොරොත්තුවේ දවසක් නම්, අද කඳුලේ දවසක් ද වේ. සිය මව්බිම වෙනුවෙන් මිය ගිය සිය දයාබර සැමියා  හෝ සිය පුතා හෝ දියණිය වෙනුවෙන් වැලපෙන බිරිඳක ගේ හෝ මවක ගේ නෙතින් ගලන කඳුළු වැනිය. වර්තමාන මානව ප්‍රජාව මේ කඳුළු අමතක නොකළ යුතුය. එවන් කඳුළු යළිත් සලන්නට අවකාශ නොතැබිය යුතුය..."

සියලු යුද්ධවලට  හේතුව අහංකාරය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "යුද්ධ ප්‍රකාශ කිරීමෙන් අර්බුදවලට විසඳුම් සෙවීමට ජනතාව පොළඹවන්නේ අහංකාරය යි. අහංකාරයෙන් හටගන්නා යුද්ධයේ බියකරු ප්‍රතිඵල වලින් මානව ප්‍රජාව පාඩමක් ඉගෙනගෙන ඇති බවක් හෝ ඉගෙනගන්නා බවක් හෝ පෙනෙන්නට නැත. යුද්ධයෙන් පාඩම් ඉගෙනගන්නට ඕනෑකමක් පෙනෙන්නට ද නැත."

"යුද්ධයේ ප්‍රතිඵලය මරණයයි. ...මළවුන් වෙනුවෙන් යාච්ඥා කරන  මේ දිනයේ (ලොව පුරා)  යුද්ධයෙන්  මිය ගිය සියල්ලන් උදෙසාත් විශේෂයෙන් යුද්ධයට ගොදුරු වන අහිංසක දරුවන් උදෙසාත් යාච්ඥා කරමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආරාධනා කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය