සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ මහා සංඝරත්නය හමුවෙයි; "සංස්කෘතික, වාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරමු": උන්වහන්සේලාගෙන් ඉල්ලයි

Pope appeals to Buddhists and Catholics in Myanmar: "Be united to surmount all forms of misunderstanding, intolerance, prejudice and hatred.”

පාප් වහන්සේ  අති පූජ්‍ය ආචාර්ය බුද්ධන්ත කුමාරාභීවංශ මහානායක ස්වාමීන් වහන්සේට ආචාර කළ අවස්ථාව 

(2017 නොවැම්බර 29)
"කාලාන්තරයක් පුරා විවිධ සංස්කෘතික, ජනවාර්ගික සහ ආගමික ජනකොටස් අතර ඇතිවූ ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීම සඳහා එක්සත්ව කටයුතු කරන්නැයි"  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්යන්මාවේ බෞද්ධ සහ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම එක්සත් කම හා සමගිය ඇතිකරගැනීම සඳහා "සියලු ආකාරයේ වැරදි වටහා ගැනීම්, නොරිස්සීම්,  පූර්ව විනිශ්චයන් සහ වෛරය ජයගත යුතුව ඇති බව" එතුමා පෙන්වා දෙයි.

මේ වන විට ම්‍යන්මාවේ අපෝස්තලික ගමනක යෙදී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එරට මහා සංඝරත්නයට නායකත්වය දෙන රාජ්‍ය කමිටුවේ නායක ස්වාමීන්වහන්සේ හමු වූ අවස්ථාවේය. මෙම හමුවට රාජ්‍ය බෞද්ධ නායක කමිටුවේ මහා නායක ස්වාමීන්වහන්සේ 47 නමක් වැඩම කර සිටියහ. 1980 දී මෙම නායක කමිටුව පිහිටුවන ලද්දේ එවකට පැවැති මිලිටරි රෙජීමය විසිනි. දැනට ම්‍යන්මාවේ සිටින 500,000ක් පමණ වන මහා සංඝයා වහන්සේ පාලනය කරනු ලබන්නේ, විශේෂයෙන් උන්වහන්සේ ගේ විනය පාලනය කරනු ලබන්නේ මෙම කමිටුව විසිනි.

පාප් වහන්සේ සහ ම්‍යන්මාවේ මහා සංඝ රත්නය අතර හමුව පැවැත්වුනේ යැංගොන් නුවර "කාබේ අයේ " හෙවත් "ලෝක සාම" මධ්‍යස්ථානයේ දීය. 1952 දී මෙම සුන්දර සුවිසල් ශාලාව ගොඩනගන ලද්දේ බොදු දහම එරට රාජ්‍ය ආගම ලෙස පිහිටුවන අවස්ථාවේදීය. ම්‍යන්මා බෞද්ධයන්ගේ ඉහලම පූජාවට ලක්ව ඇති ස්වර්ණමය ලෝක සාම චෛත්‍යය මෙම ශාලාවට ඉදිරියෙන් වැඩ හිඳියි.

මෙම  හමුවට  පැමිණි ප්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගන්නා ලද්දේ මහා සංඝරත්නය පිලිබඳ රාජ්‍ය කමිටුවේ සභාපති අති පූජ්‍ය ආචාර්ය බුද්ධන්ත කුමාරාභීවංශ ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ බුරුම බසින් එතුමන් පිළිගනිමින් කතා කළහ. නියෝජිත කණ්ඩායම් එක එකිනෙකාට මුහුණලා අසුන්ගෙන මෙම හමුවට එක්වී සිටියහ. සුදොතුම් පියතුමා ගේ කතාව එසැන බුරුම බසට පරිවර්තනය කෙරින.




මෙම මුණගැසීම බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ඇති මිත්‍රත්වයේ  සහ අන්‍යෝන්‍ය ගෞරවයේ බැඳීම් ශක්තිමත් කෙරෙන ඉතා වැදගත් අවස්ථාවක්  ලෙස  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හැඳින්වීය. "එසේම එය අප අතර සාමය වෙනුවෙන් ඇති කැපවීමත්, මානව ගරුත්වය වෙනුවෙන් වූ සැලකිල්ලත්, සෑම මිනිසෙකු සහ ගැහැනියක වෙනුවෙන්ම යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් වූ කැපවීමත් තහවුරු කෙරෙන වැදගත් අවස්ථාවකි. " යි එතුමා කීවේය.

 "අද ම්‍යන්මාව තුළ පමණක් නොව ලොව පුරා ජනතාවට ආගමික නායකයන් ගේ මෙම පොදු සාක්ෂි දැරීම හා ආදර්ශය අවශ්‍ය වී තිබේ. මන්ද, සදාකාලික වටිනාකම් වන යුක්තිය, සාමය, සහ සෑම මානව පුද්ගලයකු ගේ ම මූලික ගරුත්වය තහවුරු කරමින් අප සියලු දෙනා  එක්ව එක් හඬකින් කතා කල විට අප කරන්නේ ලෝකයට බලාපොරොත්තුවේ  වදනක්  පිරිනැමීම නිසාය."

"සෑම යුගයකම ජනතාව අතර ගැටුම් මෙන්ම  අයුක්තියේ සහ විෂමතාවයේ අවස්ථා පැවතිනි. එහෙත් වර්තමානයේ මෙම දුෂ්කරතා වඩා නිශ්චිතව පෙනෙන්නට තිබේ. මෙම අභියෝග ඉදිරියේ අප කිසිවිටෙකත් පසු නොබැසිය යුතුය. මන්ද අප එකිනෙකාගේ ආධ්‍යාත්මික මාර්ගය අනුව ඉදිරියට යන මාර්ගයක් ඇති බව, සුවපත් වීමට, අන්‍යෝන්‍ය තේරුම් ගැනීමට හා ගෞරවයට මාර්ගයක් ඇති බව අප දන්නා නිසාය. මෙම මාර්ගය දයාව සහ මෛත්‍රිය මත පදනම් වූ මාර්ගයක් බව ද අප දන්නා නිසා" යැයි එතුමා කියා සිටියේය.

ම්‍යන්මාවේ බොදු දහම අනුයන ජනතාව තමාගේ මහත් ගෞරව බහුමානයට පාත්‍රව ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය."බුදු රජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් සහ භික්ෂු-භික්ෂුනීන් වහන්සේලා ගේ කැපවුණු ආදර්ශය ඔස්සේ මෙම දේශයේ ජනතාව ඉවසීම, රිස්සුම සහ ජීවිතයට ඇති ගෞරවය යන සාරධර්ම තුළ හැඩගස්වනු ලැබ සිටිති. එසේම මෙම ඉගැන්වීම තුළ  ජනතාව  අපගේ ස්වාභාවික පරිසරයට ගුරු කිරීමටත් ඊට අවධානය යොමු කිරීමටත් පුහුණුව ලැබ  සිටිති.... මේ නිසා අපගේ නූතන අභියෝගය වන්නේ ලෝකෝත්තර සත්‍යයට විවෘත වීමටත් එකිනෙකාගෙන් වෙන්ව හුදෙකලාව ජීවත්වීමට අපට නොහැකි බව තේරුම් ගැනීමටත් අප ජනතාවට උදව් කිරීමය" යි එතුමා කීවේය.

"අපගේ අරමුණ වන්නේ එක්සත් වීමයි. ඉතින් එසේ අප එක්සත් වීමට නම් අප සියලු ආකාරයේ වරදවා වටහා ගැනීම්, නොරිස්සුම්, පූර්ව විනිශ්චයන් සහ වෛරය  ජයගත යුතුය. බුදුරජානන් වහන්සේ මෙම අරමුණ ජයගැනීම සඳහා අපට උපදේශ ද ලබා දුන් සේක. එනම්, "වෛරය අවෛරයෙන් ද, අයහපත යහපතින් ද ලෝබයා ත්‍යාගශීලි භාවයෙන් ද බොරු කාරය සත්‍යයෙන් ද ජයගන්න" යන උපදේශයයි" යැයි සුදොතුම් පියතුමා මහා සංඝරත්නය අමතමින් එතුමා කියා සිටියේය.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය