සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ හමුදාපති මුණගැසෙයි: අධික උණුසුම නොතකා එතුමන් පිළිගන්නට විශාල ජනතාවක්

Pope begins his Myanmar Apostolic Visit: Meets the powerful Military Commander 


(2017 නොවැම්බර 27)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය අපෝස්තලික සංචාරය ආරම්භ කරමින් නොවැම්බර 27 වැනිදා  දහවල් යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ම්යන්මාවට පැමිණියේය.

එහිදී එරට දේශපාලන සහ සභා නායකයන් විසින් පිළිගනු ලැබූ එතුමා යැංගොන් ගුවන් තොටුපලේ සිට අගරදගුරු නිවෙස දක්වා ගමන් කලේ රථ පෙරහරකිනි. එතුමන් පිළිගැනීම සඳහා මෙම මාර්ගය දෙපස  අගරදගුරු නිවෙස දක්වාම විශාල ජනතාවක්  රැස්ව සිටියහ. රට පුරා සෑම ප්‍රදේශයකින්ම ඔවුන් පැමිණ සිටි බව වතිකාන රේඩියෝව කියයි.ඔව්හු ම්යන්මා ජාතික කොඩි සහ වතිකාන  කොඩි ලෙලදෙමින් සුදොතුම් පියතුමන්ට ආචාර කරනු දක්නට පවතියි. ජනතාව රැස්ව සිටියේ එම අධික සුර්යතාපයද නොතකමිනි. ම්‍යන්මාවට පැමිණි ප්‍රථම පාප් වහන්සේ ලෙස එතුමා ඉතිහාසයට එක් වනු ඇත.

කළින් සකස් කර තිබූ කාලසටහනට අනුව පාප්වහන්සේට මෙම ප්‍රථම දිනයේ කිසිදු වැඩසටහනක් යොදා තිබුනේ නැත. පැය 10ක ගුවන් ගමනකින් පසුව එතුමා සඳුදා සන්ධ්‍යාවේ  අගරදගුරු නිවසේදී විවේක ගනු ඇතැයි අපේක්ෂා කෙරින.

එහෙත් එම සන්ධ්‍යාවේ  එතුමා ඉතා වැදගත් කාර්යයක නිරත විය. එනම්  ම්‍යන්මා යුද හමුදාපති ජනරාල් මින් අවුං හ්ලෙයින් මුණගැසීමයි. මෙදින පස්වරුවේ අගරදගුරු මැදුරට පැමිණි හමුදාපතිවරයා සුදොතුම් පියතුමා මුණගැසුණේය.ඔහු සමග තවත් හමුදා ජනරාල් වරුන් සිව් දෙනෙක් ද සුදොතුම් පියතුමා මුණගැසීමට පැමිණ සිටියහ.

ඉතා පෞද්ගලික හමුවක් වූ එය විනාඩි 15ක් පමණ පැවැතිණි. "සංක්‍රාන්ති අවධියේ පවතින රටක් වන  ම්‍යන්මාවේ දේශපාලන බලධාරීන් මත පැවරෙන බලවත් වගකීම ගැන ඔවුන් සාකච්ඡා  කල " බව ශුද්ධාසන ජනමාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් කියා සිටියේය.

සාකච්ඡාවෙන් පසුව ඔව්හු තෑගී හුවමාරු කරගත්හ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුදාපතිවරයාට තෑගි කලේ සිය සංචාරය වෙනුවෙන් නිකුත් කරන ලද පදක්කමකි. යාත්‍රාවක් ආකාරයට සකස් කර ඇති  වීනාවක් හමුදාපතිවරයා එතුමනට තිලින කලේය.

මෙම හමුව සූදානම් කර තිබුනේ යැංගොන් අගරදගුරු චාල්ස් බෝ කාදිනල් හිමිපාණන් විසිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් යුදහමුදාපති වරයා මුණගැසීම සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සන්ධාන රීති (Protocol) බිඳීමකි. අනෙක් අතින් එතුමා ම්‍යන්මාවේ හමුදාපති ඇතුළු හමුදා බලධාරීන් මුණගැසුනේ එරට රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ බලධාරීන් හමුවීමට පෙරය. ම්‍යන්මා ජනාධිපති වරයාගේ නිල රාජ්‍ය මට්ටමේ පිළිගැනීම යෙදී තිබුනේ අඟහරුවාදා ටය. අනෙක් අතින් ම්‍යන්මා හමුදාව විසින් සුදුකරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් එක්සත් ජාතීන් ගේ දැඩි හෙලදකීමට ලක්ව තිබේ. රෝහින්ග්‍යාවනට එල්ල වන ප්‍රහාරය එක්සත් ජාතීන් විසින් හඳුන්වා දී ඇත්තේ ජනවර්ගයක් මුලිනුපුටා දැමීමක් (Ethnic Cleansing)  ලෙසය.  මේ නිසා මෙම මුණගැසීම ලොව වටා දේශපාලන නිරීක්ෂකයන් මවිතයට පත්කර තිබේ.

එහෙත් එතුමා සන්ධාන රීති වලට පිටින් හෝ ඔවුන් හමුවීම දළු ලමින් පවතින එරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් ආණ්ඩු පක්ෂයේ නායිකා විදේශ ඇමති අවුන් සාන් සූ කී මහත්මිය ශක්තිමත් කිරීමකුත් බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ම්යන්මාවේ කතෝලික පියනමක්  ජේසු නිකායික "ඇමෙරිකා සඟරාව"ට පැවසීය. එතුමා කියා සිටියේ ම්‍යන්මාවේ ඡන්දයෙන් තේරී පත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තිබෙන නමුත් දශක හයක් තිස්සේ බලය අල්ලාගෙන සිටි හමුදාව තවමත් දේශපාලනය තුළ සිය බලය අතහැර නොමැති බවයි. එරට පාර්ලිමේන්තුවේ ආසනවලින් සියයට 25 ක් පත් කරනු ලබන්නේ හමුදාපති විසිනි. ආරක්ෂක, ස්වදේශ කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍යධුර කිහිපයක් ඇත්තේ හමුදාව අතේය. රටේ ස්වභාවික සම්පත් පාලනය කරනු ලබන්නේ ඔවුන් විසින් ය. ඒ අතර කිසියම්ම හෝ ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අස්ථාවර කොට, ඊට චෝදනා කොට බලය පහර ගැනීමට ඔවුන් බලා සිටින බව මෙම පියතුමා ඇතුළු පියවරු කණ්ඩායමක් කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ රෝහින්ග්‍යා ජනකොටසට පීඩා කිරීමද හමුදාවේ එම  උත්සාහයේම කොටසක් බවයි. චාල්ස් බෝ කාදිනල් තුමා මේ බව හොඳාකාරව දනියි. එතුමා මෙම හමුව සූදානම් කලේ ඒ නිසාය.

සුදොතුම් පියතුමා ද සන්ධාන රීති වෙනුවට රටට යහපතක් විය හැකි මෙම පියවර ගත්තේ ඒ නිසාය.

මෙම හමුවේදී සාකච්ඡා කරන ලද්දේ කවර කරුණු ගැන ද යන්න ගැන වාර්තා වී නැත.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය