සුදොතුම් පියතුමා අතිශය සංවේදී අපෝස්තලික ගමනක් අරඹයි: ම්‍යන්මාවේ දී රෝහින්ග්‍යාවන්ට හිංසා කරන මිලිටරි නායකයාත් බංගලි දේශයේ දී රෝහින්ග්‍යා සරනාගතයනුත් මුණගැසෙයි

Holy Father begins a highly sensitive Apostolic Journey in the Peripheries: meets controversial Military Chief in Myanmar and Rohingya refugees in Bangladesh 


(2017 නොවැම්බර 26)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (නොවැම්බර 26) රෝමයේ වේලාවෙන් රාත්‍රී 7.40ට සිය පාප් ධුර කාලයේ අතිශය සංවේදීම අපෝස්තලික ගමනට ආරම්භ කරයි. එතුමා සඳුදා (27) ම්‍යන්මාවට සැපත් වන අතර එහි දින තුනක් ගත කොට නොවැම්බර් 30 වනදා එහි සිට බංගලි දේශය බලා පිටත්වෙයි. බංගලිදේශ චාරිකාව අවසන් වන්නේ දෙසැම්බර 2 සවස 4. 45ටයි.

මෙම අපෝස්තලික ගමන සැලකෙන්නේ එතුමන් බොහෝ සෙයින් ආදරය කරන කතෝලික සභාවේ පර්යන්ත කරා ගමන් කිරීමක් ලෙසයි. මේ රටවල කතෝලික ජනගහනය ඉතා සුළුය. එසේම ඔව්හු විවිධ හිංසාවලට ද ලක්වෙති.

එහෙත් ප්‍රැන්සිස් සුදතුම් පියතුමා මේ රටවලට සැපත් වන්නේ  නොසන්සුන් සහ සංවේදී අවස්ථාවකට මේ රටවල් දෙකම මුහුණ දී සිටිය දී  ය. එනම් රෝහින්ග්‍යා ජනයා අරභයා හටගෙන තිබෙන වාතාවරණයයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝහින්ග්යාවන්ට එල්ල කෙරෙන දැඩි හිංසා වලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැගු ආගමික නායකයෙකි. අනෙක් අතින් රෝහින්ග්‍යාවන්ට එරෙහිව දැඩි මර්දනකාරී මෙහෙයුමක් දියත් කර ඇති ම්යන්මා මිලිටරිය 'රෝහින්ග්‍යා' යන නම සඳහන් කිරීමට පවා දැඩි ලෙස විරෝධය දක්වති. එසේ කිරීම එරට අතිශය සුළුතරයක් වන කිතුනුවන් හිංසාවට ලක්වීමේ ආරම්භය විය හැකි බවට තතු දත් ආරංචි මාර්ග අනතුරු අඟවා තිබේ. එහෙත් ලොව පුරා සාමය හා යුක්තිය වෙනුවෙන් හඬ නගන, ආයාචනා කරන සහ යාච්ඥා කරන ප්‍රැන්සිස් පාප් වහන්සේට  රෝහින්ග්‍යාවන්ගේ ඉරණම ගැන කතා නොකර සිටිය හැකි වේද? මෙම සංවේදී තත්වය නිසා බොහෝ විචාරකයන් පවසන්නේ ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ පා තබන්නේ 'බිම් බෝම්බවලින් ගහන' බිමකට බවයි.

එතුමා ගේ මෙම අපෝස්තලික සංචාරයට මුලින් ඇතුලත්ව නොතිබූ අංග දෙකක් අලුතින් ඇතුලත් වීම නිසා මෙය ලොව පුරා දැඩි අවධානයට ලක්වූ සංචාරයක් බවට හදිසියේම පත්ව තිබේ.

එනම්  සුදොතුම් පියතුමා ම්යන්මාවේ දී එරට හමුදාපති ජෙනරාල් මිං අවුං හ්ලේයින් මුණගැසීමට කැමැත්ත පළකිරීමයි. නොවැම්බර 30 වැනිදා සිදුවීමට නියමිත මෙම හමුවට මෙතෙක් වෙලාවක් නියම කර නැත. සුදොතුම් පියතුමා හමුදාපති වරයා මුණගැසෙන්නේ යැංගොන් අගරදගුරු නිවසේදී ය. මෙදිනම පෙරවරු 10.30ට  යැංගොන් හි සාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී එතුමා  ම්‍යන්මා කතෝලික තරුණ තරුණියන් වෙනුවෙන් දිව්‍ය පූජාවක් පැවැත්වීමට ද නියමිතයි.

ම්‍යන්මා හමුදාපති ආචාර පෙළපාළියක් පිළිගනිමින්

සුදොතුම් පියතුමා එරට හමුදාපතිවරයා මුණගැසෙන්නේ යැංගොන් අගරදගුරු චාර්ල්ස් බෝ කාදිනල් හිමිපාණන් ගේ ඉල්ලීම අනුව බව වතිකානය කියයි. සාමාන්‍යයෙන් සුදොතුම් පියතුමා හමුදා නායකයකු මුණගැසීම රාජ්‍ය නායක සන්ධාන ප්‍රතිපත්ති (Protocol) වලට විරුද්ධය. ම්‍යන්මාවේ ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවක් තිබුණත්, අවුන් සාන් සු කී මෙම ආණ්ඩුවේ කිරුළු නොපලන් නායිකාව ලෙස කටයුතු කලත්, එරට මිලිටරිය රට පාලනයෙහි ලා දැවැන්ත බලයක් තවමත් භාවිත කරයි. සූ කී මහත්මිය ගේ නිල ආණ්ඩුව අකැමැති වූවත් මිලිටරිය විසින් රෝහින්ග්‍යා හිංසනයක් දියත් කරන්නේ ඒ නිසාය. මෙම අභ්‍යන්තරය චාල්ස් බෝ කාදිනල් හිමි දනියි. ඇතැම් විට සුදොතුම් පියතුමන් හා මිලිටරි  නායකයා අතර ඍජු හමුවකින් සාමය සඳහා නව මාවතක් විවර කරගැනීමට හැකිවනු ඇතැයි එතුමා සිතන බව පෙනේ. එහෙත් දැඩි මතධාරියකු වන හමුදාපතිවරයා සුදොතුම් පියතුමන්ට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත ද? මෙය අයුක්තිය  හෙලා දකින, සාමය ප්‍රවර්ධනය කරන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  රාජ්‍යතාන්ත්‍රික කුසලතා අභියෝගයට ලක්කෙරෙන අවස්තාවක් ද වනු ඇත.

මේ නිසා එතුමා ම්‍යන්මාවට යාමෙන් වැළකී සිටිය යුතුව තිබූ බවට ඇතැම් විචාරකයන් මත පළකර තිබිණ. කෙසේ නමුත්, මෙතරම්  සංකීර්ණ නොවූවත් මෙවැනි "බිම් බෝම්බ සහිත බිම්" වල එතුමා මීට පෙර උපද්‍රවයකින් තොරව පා තබා තිබේ. මේ නිසා එතුමා ගේ ම්‍යන්මා අපෝස්තලික ගමන ගැන ද බොහෝ දෙනා අපේක්ෂා සහගතව බලා සිටිති.

මේ  හමුවෙන් පසුව බංගලිදේශයට  යන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එරට සිටින රෝහින්ග්‍යා සරණාගතයන් මුණගැසීමට නියමිත බව ද වතිකානය නිවේදනය කළේය. මෙය එතුමන් ගේ කාලසටහනට කලින් ඇතුළත් කර නොතිබූ අංගයකි.

දෙසැම්බර් 1 වනදා ඪකා අගරදගුරු නිවසේදී සර්වාගමික හමුවක් පැවැවීමට නියමිතව තිබේ. රෝහින්ග්‍යා සරණාගතයන්  ද  එම හමුවට සහභාගී වන බව වතිකානය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. රජයේ  බලධාරීන් හා සිවිල් සමාජ නියෝජිතයන් ද සහභාගිවන මෙම හමුවට රෝහින්ග්‍යා සරණාගතයන් 4,600ක් පැමිණෙන බව ඪකා අගරදගුරු නිවෙස ප්‍රකාශ කරයි. මෙමෙ තීරණය ගනු ලැබුවේ එක්සත් ජාතීන් ගේ හිටපු මහ ලේකම්වරයකු වන කොෆී අන්නන් මහතා ප්‍රන්සිස්  සුදොතුම් පියතුමන් සමග පැවැති  සාකච්ඡාවකින් පසුවය. සරණාගතයන් හමුවන ලෙස ම්යන්මාවේ චාල්ස් බෝ කාදිනල් හිමියන් ද සුදොතුම් පියතුමන්ගෙන් ඉල්ලා ඇති බව වතිකාන වාර්තා කියයි.

 "රෝහින්ග්‍යා සරණාගතයන් හමුවීම මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝක නායකයිනට බලවත් පනිදයක් දෙනවා" යයි හින්දු  බැතිමතකු හා නීතීඥයකු වන රනා දස්ගුප්තා මහතා පවසයි. ඔහු බංගලි දේශ හින්දු බෞද්ධ කිතුනු සමගි සංගමයේ ලේකම්වරයායි. "එම පණිවිඩය නම් රෝහින්ග්‍යා ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා  දිය යුතු බවයි. ඒ වගේම එම ක්‍රියාව  ලොව පුරා හිංසාවට ලක්ව සිටින සියලුම සුලුතරයනට කෙරෙන  සාමයේ සහ සැනසීමේ සංකේත ක්‍රියාවකුත් වනු ඇති" යයි ඔහු සඳහන් කරයි.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය