"සාන්තුවරු පරිපූර්ණ අය නොවේ. පාපයට එරෙහිව සටන් කරමින් දෙවියන් වහන්සේට සිය ජීවිත ස්පර්ශ කිරීමට ඉඩ දුන් අයයි" - සියලු සාන්තුවරයන් ගේ දින අනුශාසනය

"Saints embraced the Light of God and passed it on to the world in different shades, fighting hard against stains of sin" - Pope's All Saints day Angelus meditation 


(2017 නොවැම්බර 4)
සාන්තුවරුනට අප ගෞරව කරන්නේ ඔවුන් සර්ව සම්පූර්ණ පුද්ගලයන් වූ නිසා හෝ ඔවුන් සියලු දේ නිවැරදිව කල නිසා නොවන බව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා පෙන්වා දෙයි. ඔවුන් අපගේ ගරු බුහුමනට පාත්‍ර වන්නේ ඔවුන් දෙවියන් වහන්සේට සිය ජීවිත ස්පර්ශ කිරීමට ඉඩදීම හා පාපයට එරෙහිව දැඩිව සටන් කල නිසා බව එතුමා පවසයි.

"සියලු සාන්තුවරයන් ගේ ගාම්භීර මංගල්‍යය 'අපගේ'  මංගල්‍යයයි. ඒ  අප යහපත් පුද්ගලයන් නිසා නොවේ. එහෙත් දෙවියන් වහන්සේගේ සුපරිශුද්ධභාවය  අපගේ ජීවිත ස්පර්ශ කර ඇති නිසා" යැයි එතුමා  කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ නොවැම්බර 1 වැනිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය අනුශාසනය කරමිනි. සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය නිමිත්තෙන් ඉතාලියේ රජයේ නිවාඩු දිනයක් වන මෙදින මධ්‍යාහ්නයේ සුදොතුම් පියතුමා ගේ තුන්කාල ආරාධනා යැදුමට සහභාගී වීම සඳහා දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් හා සංචාරකයන් පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ.

"සාන්තුවරු පරිපූර්ණ පුද්ගලයෝ නොවෙති" යි ඔවුන්ට අනුශාසනා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "සාන්තුවරයන් යනු දෙවියන් වහන්සේට සිය ජීවිත හරහා ගමන් කිරීමට ඉඩ දුන් අයයි. සාන්තුවරුන් අපගේ පැරැණි දෙව්මැදුරු සුන්දර කරන වර්ණ වීදුරු ජනේලවලට සමාන කල හැකියි. මේ වර්ණ වීදුරු ජනේල (රංත වීදුරු ජනේල ) කරන්නේ කුමක්ද? ඒවා සූර්යාලෝකයට  තමන් තුළින් ඇතුළු වී විවිධාකාර පැහැයන්ගෙන් තමන් හරහා ගමන්  කිරීමට  අවකාශ සලසයි."

" අපගේ ම සහෝදර සහෝදරියන් වන  ශුද්ධවරයන් කලේ දෙවියන් වහන්සේ ගේ ආලෝකය සිය හදවත්  තුළට ආදරයෙන් පිළිගෙන එම ආලෝකය සිය ජීවිත හරහා ලෝකයට ගලා යාමට සැලැස්වීමය. ඒ එකිනෙක සාන්තුවරයා දෙවියන් වහන්සේ ගේ ආලෝකය තමන් හරහා ගමන් කිරීම සැලස් වූයේ  සිය වර්ණයේ හා පැහැයේ ස්වභාවයට අනුව ය.එහෙත් එක් වැදගත් පොදු සාධකයක් තිබිණ. එනම් ඔවුන් කවර "පැහැයක්" ලබා දුන්නත් ඔවුන් 'සියලු දෙනා පාරදෘශ්‍ය' වූහ" යයි එතුමා පැහැදිලි කළේය.

"සාන්තුරයන් වූ අපගේ සහෝදර සහෝදරියන් සියලු  දෙනා දෙවියන් වහන්සේ ගේ මෘදු ආලෝකය තමන් තුළින් අවහිරයකින් තොරව  ගමන් කිරීම සඳහා පාපයේ කිලිටි පැල්ලම් සහ අන්ධකාරය තමන් වෙතින් ඉවත් කරගැනීම සඳහා දැඩි ලෙස සටන් කළ අයයි.  මෙය ජීවිතයේ අරමුණයි; එය අපගේ ජීවිතයේ ද අරමුණයි" යැයි එතුමා පෙන්වා දුන්නේය.

"භාග්‍ය අෂ්ටාංගික මාවත" 

සියලු සාන්තුවරුන් ගේ මංගල්‍ය දින  දිව්‍ය පූජාවේ සුබ අස්න වෙත අවධානය යොමු කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ජේසු සමිඳුන් සිය ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ කරන්නේ "භාග්‍යවන්තයෝ" යන වචනයෙන් බවයි. "මෙම මහා දේශනයම සුබ අස්න යි. මන්ද එය ප්‍රීතියට මාවත පෙන්වා දෙන නිසායැ"යි එතුමා කීවේය.

"ජේසු සමිඳුන් සමග සිටින තැනැත්තා භාග්‍යවන්තයි. ඔහු සතුටින් ජීවත්වෙයි. මන්ද සතුට යනු යමක් අත්පත් කරගැනීම හෝ  යම් තැනැත්තෙකු  බවට පත්වීම හෝ නොවේ. සැබෑ සතුට යනු ජේසු සමිඳුන් සමග සිටීමයි; ප්‍රේමය වෙනුවෙන් ජීවත් වීමයි. "

"  ජේසු සමිඳුන් 'භාග්‍ය' යනුවෙන් හඳුන්වා දෙන්නේ  ප්‍රීතිමත් ජීවිතයකට 'අවශ්‍ය ද්‍රව්‍ය'යි. එබැවින් 'භාග්‍ය' දේශනයෙන් ජේසු සමිඳුන් පෙන්වා දෙන්නේ ප්‍රීතිමත් ජීවිතයට මාවතයි."භාග්‍යවන්ත අය සරලය; ඔව්හු දෙවියන් වහන්සේට ඉඩ දෙමින් බැහැපත් වෙති; අන් අය වෙනුවෙන් සහ තමන් ගේ ම වැරැදි වෙනුවෙන් ඔව්හු වැළපෙති; ඔවුන් සෞම්‍යය; මෘදුය. ඔවුහු යුක්තිය වෙනුවෙන් සටන් කරති; ඔව්හු සියල්ලනට දයා කරුණාව දක්වති; ඔව්හු හදවතේ පිවිතුරු බව රකගනිති; නිතර සාමය වෙනුවෙන් ක්‍රියා කරන ඔවුන් ජීවත් වන්නේ වෛරයෙන් නොව ප්‍රීතියෙනි; තමන් ගේ දුක් කම්කටොලු වලදී පවා ඔව්හු නපුරට යහපතින් ම පිළිතුරු දෙති" යි  'භාග්‍ය අෂ්ටාංග මාවතේ  ගමන් කරන්නන්ගේ ලක්ෂණ පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා පැවසුවේය.

" මේ නිසා භාග්‍යයන් යනු 'සුපිරි මිනිසුන්' විසින් පමණක් කල හැකි 'උද්වේගකර ක්‍රියා' සමූහයක් නොවේ. ඒවා ලෝකයේ එදිනෙදා අභියෝග  සමග පොරබදන  හා ඒවායින් හෙම්බත්වන සාමාන්‍ය ජනතාවගේ ආකල්ප ය."

"සාන්තුවරු ද එබඳු අය  වූහ. අප සෑම කෙනෙකු සේම ඔවුන් ද ආශ්වාස කලේ ලෝකයේ පවතින අයහපතින් දුෂිත වූ වාතයයි. එහෙත් ඔව්හු කිසි විටෙකත් ජේසු සමිඳුන්ගෙන් සිය අවධානය ඉවත් නොකළහ. ඒ සඳහා ඔවුන්ගේ මාළිමාව වූයේ මෙම 'භාග්‍ය' යි. මෙම භාග්‍ය කිතුනු ජීවිතයේ මාර්ග සිතියම ලෙස පෙන්වා දිය හැකි"යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩිදුරටත්  කියා සිටියේය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය