"පවුල දේවධර්ම 'ලැබ් එකක්' නොවේ; දේවවරප්‍රසාදීය ස්ථානයක් ": සුදොතුම් පිය දැක්ම කාදිනල් කියුපිච් හිමි විස්තර කරයි.

"Family is not a Laboratory; but a 'privileged place' where God is alive": Cardinal Cupich  explains the vision of Amoris Laetitia

පවුල: වරප්‍රසාදීය ස්ථානය  

(2017 ඔක්තෝබර 7)
"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කතෝලික සභාවෙන් ඉල්ලා සිටින්නේ, පවුල විවිධ දහම් සේවා උපක්‍රම අත්හදා බලන පර්යේෂණාගාරයක් ලෙස  නොදකින ලෙසයි. ඊට පරස්පරව  දෙවියන් වහන්සේ ලෝකය තුළ ජීවමානව වැඩවෙසෙමින් ක්‍රියා කරන 'වරප්‍රසාද ලත් ස්ථානයක්' ලෙස පවුල දකින ලෙස එතුමා සභාවෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකාවේ චිකාගෝ හි අගරදගුරු බ්ලේස් කුපිච්  කාදිනල් හිමි පෙන්වා දෙයි. "ස්වකීය දිව්‍ය යථාර්ථය අනාවරණය කිරීම සඳහා දෙවියන් වහන්සේ  පවුල් ජීවිතය නමැති වරප්‍රසාදීය ස්ථානය තෝරාගෙන තිබෙන ආකාරය කෙරෙහි සුදොතුම් පියතුමා සභාවේ අවධානය යොමු කරනවා" යි කාදිනල් තුමා ප්‍රකාශ කරයි.

අති උතුම් බ්ලේස් කුපිච් කාදිනල් හිමි මේ බව කියා සිටියේ ඔක්තෝබර 5 වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ ආරම්භ වූ සම්මන්ත්‍රණයක ආරම්භක  දේශනය පවත්වමිනි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2016 දී නිකුත් කල 'ප්‍රේමයේ ආනන්දය හෙවත් Amoris Laetitia නමැති අපෝස්තලික හසුන දහම් සේවාව සඳහා අනුගත කරගත හැක්කේ කෙසේද යන්න විමර්ශනය කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණයි. සම්මන්ත්‍රණයේ තේමාව "'ප්‍රේමයේ ආනන්දය  - නව ගතිකත්වයක්" යන්නයි. කාදිනල්  කුපිච් අගරදගුරු හිමියන් සහ බොස්ටන් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ දෙවධර්මවේදය පිලිබඳ මහාචාර්ය ජේම්ස් කීනන් ජේ. නි. පියතුමා විසින් එය සංවිධාන කර තිබේ. ඇමෙරිකානු කාදිනල් හිමිවරුන් දෙනමක්, රදගුරු හිමිවරුන් 12 නමක් ඇතුළු දේවධර්මය හා දර්ශනය පිලිබඳ වියත් ගිහි, පැවිදි, පූජක පිරිසක් ඊට සහභාගී වූහ.

"තමන්  වහන්සේ කවුරුන්ද යන්න අපට තේරුම් කරදීම සඳහා දෙවියන් වහන්සේ විසින්ම තෝරාගන්නා ලද වරප්‍රසාදීය ස්ථානය පවුලයි. අප පවුල සලකන්නට පුරුදු වී සිටින්නේ  දහම් සේවා පුහුණු වීම් හෝ දේව ධර්මවේදය පිලිබඳ විවිධ අත්හදා බැලීම් කරන පර්යේෂණාගාරයක් හැටියටයි. එය එසේ නොවේ. ඇත්තෙන්ම එය අප කොටස්කරුවන් වීමට වරම් ලබා සිටින වරප්‍රසාදීය ස්ථානයක්;  දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දැකීමට, දෙවියන් වහන්සේ ජීවමානව දැකීමට සහ උන්වහන්සේ අභිනවයෙන් යමක් කරන ආකාරය දැකීම සඳහා අපට ලැබී ඇති වරප්‍රසාදීය ස්ථානයක්. 'ප්‍රේමයේ ආනන්දය' අපෝස්තලික හසුනෙන් සුදොතුම් පියතුමා අපට පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙයයි " යයි කාදිනල් කුපිච් හිමි පෙන්වා දුන්නේය.

පූජකවරුන් තමන් නිවැරදිය  යන මතයේ තරයේ පිහිටා නොසිට ජනතාව සහ පවුල් සමග හර්දයාංගම සංවාදයක යෙදිය යුතු බව කාදිනල් තුමා කියා සිටියේය. මෙය පැහැදිලි කිරීම සඳහා එතුමා සිය ජීවිතයෙන් සිද්ධියක් ගෙනහැර පෑවේය.

සිය සීයා සහ ආච්චී ක්‍රොඒශියාවේ සිට ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ජනපදයේ ඔමාහා වෙත පැමිණි සාංක්‍රමනිකයන් වූ බව එතුමා අනාවරණය කළේය. මේ දෙදෙනාට දරුවන් සිව් දෙනෙකු සිටි අතර ඔවුන් ගේ බාලයා, රෝසියෑන් , මානසික හා භාවාත්මක ආබාධිත දැරියක් වූවාය. මෙම ආබාධිත තත්වය නිසා රෝසියෑන් බොහෝ විට අතිශයින් චණ්ඩ ලෙස හැසිරුණාය. අවසානයේ දී රෝසියෑන්ට නිසි ප්‍රතිකාර හා සැලකිල්ල ලබා දිය හැකි දයා සේවා නිවහනකට (Care Home) ඇය භාර දීමට මෙම දෙමව්පිය දෙදෙනා තීරණය කළහ.

මේ තීරණය ගැන ඔව්හු සිය මීසමේ පියතුමා සමග සාකච්ඡා කළහ. එය අසා සිටි පියතුමා අවසානයේ කියා සිටියේ, "නැහැ. මේ දරුවා ඔබ ලඟම තබා ගත යුතුයි. අත්නොහැරිය යුතුයි" කියාය.

"පියතුමා ගේ උපදේශය ගැන ඔබ මොනවද හිතන්නේ" මීසම් ගෘහයේ සිට ආපසු ගෙදර එන අතර සිය සීයා ආච්චි ගෙන් විමැසූ බව කාදිනල් කියුපිච් හිමි කීවේය. "අපි දරුවාව එයාගෙ ගෙදරට- ඒ කිව්වේ දයා සේවා නිවසට - ගෙනියනවා" ඈ පිළිතුරු දුන්නාය. "පියතුමා මේ දරුවා එක්ක ජීවත් වෙන්නේ නැහැනේ" ඇය තවදුරටත් කියා සිටියාය.

"මා පූජකවරය ලැබීමෙන් සතියකට පසුව ආච්චී  බැලීමට ගිය අවස්ථාවේ ඇය මේ කතාව මට කීවා" කාදිනල් කුපිච් හිමි පැවසුවේය.

"ඇය මේ සිද්ධිය මා සමග බෙදා ගැනීමෙන් මට දෙන්නට බලාපොරොත්තු වූ පණිවිඩය මෙයයි: ජනතාව සමග වැඩකිරීමේදීත්, ඔවුන්ට සැලකීමේදීත් (treating them) මා වෙනස් මාර්ගයක් අනුගමනය කල යුතු බවට ඇය මට ඇඟවීමක් කළා. ජනතාව එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අරගල වලට සංවේදී වීම සඳහා...එම අරගල තේරුම් ගැනීම සඳහා, ඒ වගේම ඔවුන් ජීවිතයේ දී ගන්නා දුෂ්කර තීරණ වලදී ඔවුන් ගේ සිත් ස්පර්ශ කිරීම සඳහා ...   මගේ සිත් හැරීමක් සිදුවිය යුතු බව ඇය මට පහදා දුන්නා..." එතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය