"අවසානයේදී, අපි හැම කෙනෙකුම දෙවිඳුන් මුණගැසෙන්නේ 'හිස් දෑතින්'" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි

" We Present ourselves before God with empty hands; Hope in his Mercy redeems us", Says Pope 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ පිලදෙල්පියා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ සිරකරුවකු එතුමන් වැළඳගත් අවස්ථාව 

(2017 ඔක්තෝබර 28)
දෙවියන් වහන්සේ සෑම කෙනෙකුම වෙනුවෙන් බලා සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. වෙනෙකක් තබා සිය අවසන් හුස්ම හෙලන මොහොතේ වුව ද පශ්චාත්තාපී වන දරුණුම පව්කාරයා වෙනුවෙන් පවා උන්වහන්සේ බලා සිටින බව එතුමා පෙන්වා දෙයි.

"දෙවියන් වහන්සේ අභිමුඛයේ අප පෙනී සිටින්නේ හිස් දෑත් වලින්" යි එතුමා කීවේය. මෙයින් අදහස් කෙරෙන්නේ කෙනෙකු ස්වර්ගීය ජීවිතයට  ඇතුලත් කරගැනීම සඳහා එම තැනැත්තා මිහිමත ජීවිතයේදී  කරන හෝ නොකරන යහපත් ක්‍රියා මිනුම් දණ්ඩක් ලෙස භාවිත නොකරන්නේය යන්නයි "ජේසු සමිඳුන් ගේ හදවත ස්පර්ශ කිරීම සඳහා බැහැපත් පශ්චාත්තාපයේ වචනයක් පමණක් ප්‍රමාණවත්" යයි එතුමා කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ 2017 ඔක්තෝබර 25 වැනිදා උදාසන වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී පැවැති බදාදා පොදු හමුවේ සිය ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. මේ වසර තුළ එතුමන් ගේ බදා පොදු හමුවේ තේමාව වූයේ බලාපොරොත්තුවේ ධර්මගුණය යි. බලාපොරොත්තුව පිලිබඳ සිය ධර්මෝපදේශ කතා මාලාව අවසන් කරමින් එතුමා මේ බව කියා සිටියේය. බලාපොරොත්තුව පරිපූර්ණත්වයට පත්වන්නේ ස්වර්ගයේ දී බව මෙදින ධර්මෝපදේශ කතාව අරඹමින් එතුමා කීවේය. මෙදින එතුමාගේ භාවනාවට පාදක වූයේ ජේසු සමිඳුන් සමග කුරුසියේ ඇණගසන ලද 'දකුණේ සොරා' ගේ සිද්ධියයි.

"කුතුහලය දනවන කරුණක් වන්නේ 'පාරාදීසය' යන වචනය සඳහන් වන්නේ එකම එක සුබ අස්නක පමණක් වීමයි. ජේසු සමිඳුන් මෙම වචනය භාවිත කරන්නේ උන්වහන්සේ සමග එකට කුරුසියේ ඇණගසන ලද සොරාට පොරොන්දුවක් දෙමින්: 'අද ඔබ මා සමග පාරාදීසයේ සිටීන්නෙහිය'යි  උන්වහන්සේ කුරුසියෙහි සිට ඔහුට පැවසුවේය. උන්වහන්සේ එසේ කීවේ. 'ඔබ ඔබගේ රාජ්‍යයට පැමිණි විට මා මතක් කරන්නැ'යි ඔහු කල බැහැපත් ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසය.

"ජේසු සමිඳුන් මිහිමත ගත කළ කාලයේ දී අවසන් වරට පව්කාරයකු මුණගැසුනේ එහිදීය; එනම් කල්වාරිය මතය; කුරුසියේ එල්ලී සිටියදීය. එතැන දී ද උන්වහන්සේ කලේ ඔහුටත් සිය රාජ්‍යයේ දොරටු හැර දීම යැ"යි   සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"මෙම යහපත් සොරා සිය ජීවිතය තුළ කිසිදු යහපත් ක්‍රියාවක් කර තිබුනේ නැත. එමෙන්ම ජේසු සමිඳුනට පෙන්වන්නට සිය ජීවිතයේදී උපයාගත් කිසිවක් හෝ තමන් ස්වර්ගීය ජීවිතය ලැබීමට සුදුස්සකු වන්නේ ඇයි දැයි ප්‍රදර්ශනය කල හැකි කිසිවක් හෝ  ඔහු සතුව තිබුනේ නැත. ඔහු සතුව එවැනි  කිසිවක් තිබුනේ නැත. එහෙත් මේ සොරා ජේසු සමිඳුන් කෙරෙහි විශ්වාස කළේය. ජේසු සමිඳුන් අහිංසක, යහපත්, තමන්ට වඩා වෙනස් තැනැත්තෙකු ලෙස ඔහු හඳුනාගත්තේය."

අපගේ ද සදාතනික ජීවිතයේ දොරටුව විවර කල හැකි 'යතුර' මෙම සිද්ධිය තුල අන්තර ගත වී ඇති බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය:
"යහපත් සොරා අපට පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ සැබෑ ස්වරූපයයි. එනම් අප උන්වහන්සේ ගේ දරුවන් බවයි. උන්වහන්සේ අප වෙත දයාව දක්වන බවයි. අප උන්වහන්සේ ගේ ප්‍රේමය කෙරෙහි දැඩි ආශාවකින් පසුවන බව අප පෙන්වන විට උන්වහන්සේට ඊට පිටුපෑමට නොහැකි බවයි"

දෙවියන් වහන්සේ ගේ සමාවේ ප්‍රාතිහාර්යය නොකඩවා සිදුවන බවත්, විශේෂයෙන් ම රෝහල්වල සහ  සිරමැදිරි තුළ එය යළි යලිත් සිදුවන බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තුවේ කුඨප්‍රාප්තිය විස්තර කරමින් කියා සිටියේය.
"අයහපත් ජීවිතයක් ගත  කළ නමුත් බලාපොරොත්තු විරහිත අවසානයේ දී  එකම බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේ ගේ කරුණාව ප්‍රාර්ථනා කර දේව වරප්‍රසාදය ප්‍රතික්ෂේප කෙරුණු එකදු පුද්ගලයකු ගැන හෝ අසන්නට නොලැබේ. දෙවියන් වහන්සේ තාත්තා ය. නාස්තිකාර පුත්‍රයා ගේ පියා සේ අප හැරී එනතෙක් අවසන් මොහොත දක්වා උන්වහන්සේ බලාසිටින සේක."

පාරාදීසය යථාවක් බව  සුදොතුම් පියතුමා අවධාරණය කළේය.
"පාරාදීසය සුරංගනා කතාවක් හෝ  ඉන්ද්‍රජාලික උද්‍යානයක් හෝ නොවේ. පාරාදීසය යනු දෙවියන් වහන්සේගේ ආලිංගනය යි. එය සදාතනික ප්‍රේමය යි. අපට එහි ඇතුළුවන්නට වරම් ලැබුනේ කුරුසියේ අප වෙනුවෙන් ජීවිතය පුද දුන් ජේසු සමිඳුනට ස්තෝත්‍ර වන්නටයි."

"ජේසු සමිඳුන් වැඩවසන තැන දයා කරුණාවත් ප්‍රීතියත්  තිබේ. උන්වහන්සේ නොමැති වූ විට ඉතිරි වන්නේ දැරිය නොහැකි සීතල හා අන්ධකාරය පමණි....දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන උන්වහන්සේ ගේ වචනය ගැන බලාපොරොත්තුවන අය මරණයට බිය වන්නේ නැත. මන්ද ඔවුන් උන්වහන්සේ ගේ පොරොන්දුවත් අනන්ත වූ දයා කරුණාවත් කෙරෙහි විශ්වාස කරන නිසාය" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේ ය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය