"කුසගින්නට හේතුව යුද්ධය සහ දේශගුණ වෙනස්වීමයි; යුද ගැටුම් අවසන් නොකොට කුසගින්න අවසන් කළ නොහැකියි" - සුදොතුම් පියතුමා ලෝක ආහාර සංවිධානයට කියයි

"It is clear: war and climate change cause hunger" - Pope tells FAO

ලෝක ආහාර සංවිධාන ගොඩනැගිල්ලතුළ නිමවා ඇති සිරියාවේ සිට පලා එද්දී ලොවම හඬවමින් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය ගිය 3 හැවිරිදි ඇලන් කුර්දි නම් දරුවාගේ මුර්තියයි මේ.

(2017 ඔක්තෝබර 18)
ලෝකයෙන් කුසගින්න තුරන් කිරීමට නම් ඊට හේතු වී ඇති සාධක තුරන් කල යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"කුසගින්නට හේතු වී තිබෙන්නේ යුද ගැටුම් සහ දේශගුණ විපර්යාස බව පැහැදිලිය. මේවා විසඳා ලූ විට කුසගින්නට ද විසඳුම් ලැබෙනු ඇත. මේ නිසා කුසගින්න සුව කල නොහැකි රෝගයක් ලෙස හඳුන්වා දීම අපි නවත්වමු" යි එතුමා ඇරැයුම් කළේය.

"මෙම තත්වය තුළ අපි  අප ගමන් කරන දිශාව වෙනස් කල යුත්තෙමු. එය අපට කල හැකිය...මේ සම්බන්ධයෙන් අප පියවර නොගන්නා නිසා සමස්ත ජාත්‍යන්තර ක්‍රමයේම විශ්වසනීයත්වය අනතුරට ලක්ව තිබේ" යයි ද එතුමා පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ  ලෝක ආහාර සංවිධාන දිනය නිමිත්තෙන් රෝමයේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැති සමුළුවේ  සමාරම්භක දේශනය පවත්වමිනි. ඔක්තෝබර 16 වනදා පැවැති  මෙම සමුළුවට කාර්මික රටවල් හතේ කණ්ඩායමේ අමාත්‍යවරුද, ලෝක ආහාර සංවිධානයේ සාමාජික රටවල තානාපතිවරුන් සහ උසස් නිලධාරීහු ද සහභාගී වූහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝක නායකයනට මෙම අභියෝගය එල්ල කරන්නේ දශක කිහිපයකට පසු ප්‍රථම වරට ලොව පුරා කුසගින්න දරුණු ලෙස හිස ඔසවමින් තිබෙන බවට ලෝක ආහාර සංවිධානයේ නිල වාර්තා හෙළිදරව්  කරන අවස්ථාවකය.එම  සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් හොසේ ගාර්සියානෝ ද සිල්වා සිය පිළිගැනීමේ කතාව කරමින් කියා සිටියේ මේ වන විට ලොව පුරා මිලියන 815ක ජනතාවක් උග්‍ර කුපෝෂණයෙන් පෙලෙන බවයි. දශ ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් ලොව පුරා සාංක්‍රමනිකයන් බවට පත්ව ඇති බව ද ඔහු කියා සිටියේය.

කුසගින්නට විසඳුම් සෙවිය හැකි පියවර කිහිපයක් ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

"කුසගින්න සහ ජන සංක්‍රමණය අතර ඇති සම්බන්ධයට අපට මුහුණ දිය හැක්කේ  මෙම අර්බුදයේ මුල් වලට ම අප පිවිසෙන්නේ නම් පමණි. කුසගින්න සහ ජන සංක්‍රමණය යන අර්බුද වලට ඵලදායි විසඳුම් ලබා දීමට නම් ප්‍රධාන බාධක දෙකක් ජය ගත යුතු බව ලෝක ආහාර සංවිධානයේ සිවිල් සමාජ විසින් කරන ලද අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. එම බාධක නම් යුද ගැටුම් සහ දේශගුණ වෙනස් වීම් යැ"යි එතුමා කියා සිටියේය.

"යුද ගැටුම් වැළක්වීමේ සහ ඒවා කඩිනමින් විසඳීමේ යාන්ත්‍රණයක් ජාත්‍යන්තර නීතිය සතුව ඇත. එසේම දුර්භීක්‍ෂ  සහ සමාජ ජාල විනාශ වීම වැළක්වීමේ ක්‍රමවේදයක් ද එතුළ තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ, යුද ගැටුම් නවත්වාලීමට අවශ්‍ය හොඳ හිත සහ සංවාදයත් සන්නද්ධවූවන් ක්‍රමයෙන් නිරායුධ කිරීම සඳහා වන පූර්ණ කැපවීමත් ය. ඊට අමතරව ආයුධ වෙළෙඳාම නැමති  බිහිසුණු වසංගතයට  පිළියම් යෙදීම ද අවශ්‍ය වේ" යි සුදොතුම් පියතුමා කීවේය.

"මානුෂවාදය" සහ "ආදරය"
විවිධ හේතු මත පීඩනයට පත් වූ ජනතාව වෙත ලබා දෙන ආධාර හෝ එවැනි ජන කොටස් අරභයා ක්‍රියාත්මක වන ක්‍රියා මාර්ග හඳුන්වනු ලබන්නේ "මානුෂික" ක්‍රියාමාර්ග ලෙසය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යෝජනා කලේ  ඊට "ආදරය" හෝ "ප්‍රේමය" යන වචනය එක් කිරීම වඩා යෝග්‍ය බවයි.

ශ්‍රවනාගාරයේ සිටි සම්භාවනීය අමුත්තන් වෙත නෙත් ඔසවා බැලූ එතුමා මෙසේ  කීවේය: මම මගෙනුත් ඔබගෙනුත් මේ ප්‍රශ්නය අසමි: ජාත්‍යන්තර සහයෝගිතා භාෂාවට ඇතුළත් වන, ත්‍යාගය, සමානව සැලකීම, සහයෝගිතාව, සහෝදරත්වය, දයාව යන වචන වලට "ආදරය" යන වර්ගය හඳුන්වාදීම අතිශයෝක්තියක් වන්නේද?  මේ වචනයෙන් නිරූපනය වන්නේ 'මානුෂවාදී' යන්නෙහි ප්‍රායෝගික අන්තර්ගතය යි. "

"කිසිදු ප්‍රතිලාභයක් නොපතා ස්වකීය සහෝදර සහෝදර සහෝදරියනට ආදරය කිරීම සියලු ආගම් සහ සංස්කෘතීන් තුළ හමුවන පොදු ධර්මතාවකි. මෙය "මනුෂ්‍යත්වයේ ප්‍රතිපත්තිය" බවට පරිවර්තනය වී ජාත්‍යන්තර සම්බන්ධතා භාෂාවේ කොටසක් බවට පත්වී තිබේ" යැයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය