"ප්‍රේමයේ ආනන්දය"ට පාදක වී ඇත්තේ තෝමියාන දේව ධර්මයයි - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසුනුවන්ට පැහැදිලි කරයි

"Philosophy of "Amoris Leatitita" is Thomist": Pope tells Columbian Jesuits  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියාවේ දී ජේසුනුවන් මුණගැසුණු අවස්ථාව

(2017 ඔක්තෝබර 15)
"ප්‍රේමයේ ආනන්දය" (Amoris Leatitita) නමැති සිය අපෝස්තලික හසුන සම්බන්ධයෙන් සභාවේ ඇතැම් කණ්ඩායම් මතු කරන ප්‍රශ්න වලට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිතුරු දී තිබේ.

මෙම ලේඛනයේ සභා ඉගැන්වීම්වලට පටහැනි අපැහැදිලි ප්‍රකාශ ඇති බව කියමින් "Dubia" නමැති ප්‍රශ්න පහක ලිපියක් සුදොතුම් පියතුමාට භාර දෙමින් ඊට ප්‍රථමයෙන් ම අභියෝග කරන ලද්දේ රේමන්ඩ් බර්ක් කාදිනල් තුමන් ප්‍රමුඛ කාදිනල් වරුන් 4 නමක් විසිනි. ඉන් පසුව මෑතකදී එතරම් ප්‍රමුඛ නොවන කණ්ඩායමක් විසින් "ප්‍රේමයේ ආනන්දය" ලේඛනයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන ලදී. ඔවුන් චෝදනා කරන්නේ සුදොතුම් පියතුමා ගේ දැක්මට මාටින් ලුතර් ගේ ඉගැන්වීම් සහ නූතන වාදය බලපා ඇති බවයි.

මෙම චෝදනා ගැන  සඳහන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ සිය අපෝස්තලික හසුනට පාදක වී ඇත්තේ කතෝලික සභා දර්ශනයේ සහ දේවධර්මයේ කුළුණ ලෙස සැලැකෙන  ශු. තෝමස් අක්වයිනස් තුමන් ගේ ශීල ධාර්මික ඉගැන්වීම් (Moral Teachings ) බවයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව පවසා තිබෙන්නේ පසුගිය මාසයේ කොලම්බියාවේ සිදුකල අපෝස්තලික ගමනේ දීය.

වෙනත් රටවල දී මෙන් ම  (ශ්‍රී ලංකාවේ දී හැරුණු කොට) තම රටේ සිටින ජේසු නිකායික පියවරුන් සමග සුන්දර සන්ධ්‍යාවක් විවේකීව ගත කිරීමට කොලම්බියාවේ සුදොතුම් පිය සංචාර සංවිධායකයන් විසින් එතුමාට අවස්ථාව ලබා දී  තිබිණ. මෙහිදී සිය නිකායේ සහෝදර පියවරුන් සහ සහෝදරවරුන් සමග සුපුරුදු පරිදි වඩාත් විවෘත වූ එතුමා  ඔවුන් ඇසූ ප්‍රශ්න කිහිපයකට ම පිළිතුරු දුන්නේය. සැප්තැම්බර් 28 වනදා සිදු වූ  මෙම පෞද්ගලික හමුවේ සම්පූර්ණ වාර්තාව රෝමයේ පල වන La Civilta Cattolica නම් ජේසු නිකායික ප්‍රකාශනයේ පළකර තිබිණ.

"මම මෙහි ඉන්නේ ඔබ වෙනුවෙන්. ඔබට කතාවක් පවත්වන්නට නොවේ. මේ වෙලාව ඔබ සමග ගත කරන්නයි. ඒ අතර ඔබට තිබෙන ප්‍රශ්න වලටත් ඔබගේ විවේචන වලටත් සවන් දෙන්න මම කැමතියි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහිදී සිය නිකායිකයනට කීවේය. ඉන් පසුව සුහද සංවාදයක් ආරම්භ විය.

"කොලම්බියාවේ පමණක් නොව, පොදුවේ සමස්ත කතෝලික සභාවේ ම වර්තමාන දර්ශනවේද සහ දේවධාර්මික භාවනාව තුළ ඔබ දකින්නට කැමති කුමක්දැ"යි  ජේසු නිකායික දර්ශනවේදී ආචාර්ය වරයෙක් මෙහිදී එතුමන් ගෙන් විමසුවේය.

පර්යේෂනාගාරයක් තුළ දර්ශනවේදය  කළ නොහැකියි
"දේවධර්මවේදය සේ ම දර්ශනයවේදය  ද පර්යේෂණාගාරයක් තුළ කල නොහැකියි" ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය."

"දර්ශනයත් දේවධර්මයත් කළ  යුත්තේ තාත්වික ජීවිතය තුළයි; යථාව සමග සංවාදයක යෙදෙමින් ජීවිතය තුළ එය කල යුතුයි. ...සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ සත්‍යය විග්‍රහ කලේ මුණගැසීමක් නොහොත් සම්මුඛවීමක් හැටියටයි.(Encounter ). එනම් සත්‍යය  තවදුරටත් වර්ගීකරණයක් නොවේ. මාර්ගයක් පමණයි. මේ නිසා මෙය නිතරම කළ යුත්තේ යතාර්ථතාව  සමග සංවාදයක යෙදෙමිනුයි (dialogue with the reality). එය පැහැදිලියි. මන්ද, ලඝුගණක චක්‍රයක් තුළ දර්ශනය කළ නොහැකියි. " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

ජේසු සමිඳුන් ගේ දේව ධර්මය 
මෙම සංවාදයම දේවධර්මවේදයටත් අදාළ වන බව එතුමා පෙන්වා දුන්නේය. "මෙවැනි සංවාදයක් මගින් දේවධර්මය දුෂ්‍ය වන්නේ හෝ කිලිටි වන්නේ නැහැ. ඇත්තවශයෙන් ම සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. හොඳම නිදසුන ජේසු සමිඳාණෝයි. උත්තරීතරම යථාර්ථතාව (Reality) වන උන්වහන්සේ,  දෙවියන් වහන්සේ වෙතට යාමට ජනතාවට මග පෙන්වීම නිතරම ආරම්භ කලේ ජනතාව ගේ සාමාන්‍ය ජීවිත වලින්.  ජේසු සමිඳුන් ගේ දේව ධර්මය අත්‍යන්තයෙන් ම යතාර්ථවාදී ඉගැන්වීමයි. එය යතාර්ථයෙන්  ආරම්භ වී පියාණන් වහන්සේ වෙත ඔසවනු ලැබුවා. එය ආරම්භ වුනේ බීජයකින්; උපමාවකින්;  සිද්ධාන්තයකින්. පසුව එය විස්තර කරනු ලැබුවා. ජේසු සමිඳුනට අවශ්‍ය වූයේ ගැඹුරු දෙවධර්මයක් ඇතිකිරීමටයි. මේ අයුරින් බලු විට උත්තරීතර ම යථාර්තතාව වන්නේ ජේසු සමිඳානෝයි " යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

සැබෑ දේවධර්මවේදියා යාච්ඥාවේ මිනිසෙකි
දේවධර්මය හුදෙක් විද්‍යාවක් හෝ බුද්ධියට සීමා වූ දෙයක් නොව එය දෙවියන් වහන්සේ සමග බද්ධ වී ඇති දෙයක් බව ද  ප්‍රැන්සිස් පියතුමා අවධාරණය කළේය.

"මා මෙය අවධාරණය කරනු කැමතියි. හොඳ දේවධර්මවේදියකු වන්න නම්, ඉගෙන ගැනීමෙන් ඔබ්බට යන කැපවීමක් ඔබ තුළ තිබිය යුතුයි. එසේම ඔබ අවදිවසිට යතාර්තතාව ග්‍රහණය කරගත යුතුයි. එපමනක් නොවේ. ඔබ මේ සියල්ල ඔබගේ දණහිස් මත සිට භාවනා කල යුතුයි. යාච්ඥා නොකරන පුද්ගලයකුට දේවධර්මවේදියකු විය නොහැකියි" එතුමා පෙන්වා දුන්නේය.

"අද අප කල්පනා කල යුත්තේ අප දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්න කෙසේද? දෙවියන් වහන්සේ යනු කවුරුන්දැයි අප කියා දෙන්නේ කෙසේද? ශුද්ධාත්මයානන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගේ තුවාල සහ ක්‍රිස්තුන් වහන්සේ පිලිබඳ අබිරහස අප ප්‍රකාශ කරන්නේ කෙසේද? යන ප්‍රශ්න ගැනයි." යයි එතුමා පැහැදිලි කළේය.

"ප්‍රේමයේ ආනන්දය" පිලිබඳ විවේචන
මෙම ජේසු නිකායික ගුරුවරයා ගේ ප්‍රශ්නය "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික හසුන සම්බන්ධයෙන් පලවී ඇති විවේචන ගැන සිය අදහස පලකිරීමට ද අවස්ථාවක් කරගන්නා බව ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා කීවේය.

"මෙම පශ්චාත් සෛනෝඩීය අපෝස්තලික හසුන සම්බන්ධයෙන් පලවී ඇති විවේචන ගැන මා අදහස් පල කරන්නේ සාධාරණත්වයෙන් හා දයාවෙන් යුතුවයි" එතුමා කීවේය.

"මේ අතරින් බොහොමයක් අර්ථ දැක්වීම්  සහ විවරණ, ගෞරවාන්විතයි. මන්ද ඒම විවරණ කර තිබෙන්නේ දේව දරුවන් විසින් නිසා. එහෙත් ඒවා වැරැදියි" එතුමා පෙන්වා දුන්නේය.

"'ප්‍රේමයේ ආනන්දය' තේරුම් ගැනීමට නම් ඔබ එය මුල සිට අගටම සම්පූර්ණයෙන් කියවිය යුතුයි. 2014 -2105 රදගුරු සිනෝඩ් සභාවේ දී කියවුණු දේ කෙරෙහිද අවධානය යොමු කරමින්, ඒ සියල්ල ගැන භාවනා කරමින්, මෙම අපෝස්තලික හසුන මුල සිට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට අනුක්‍රමිකව කියවිය යුතුයි" සුදොතුම් පියතුමා කීවේය.

"මෙම ලේඛනයේ අන්තර්ගත ශීල ධර්මය (Morality) කතෝලික ශීලධර්මය නොවන බව ඇතැම් අය පවසනවා. එසේම එහි අන්තර්ගත ශීලධර්මය නිශ්චිත නොවන බවටත් සැකසහිත බවටත් තවත් අය තර්ක කරනවා. මේ  අයට මා පෙන්වා දෙන්නට කැමතියි "ප්‍රේමයේ ආනන්දයට" පාදක වී ඇති ශීලධර්මය තෝමියාන ශීල ධර්මය බව. එනම්, එයට පදනම් වී ඇත්තේ ශු. තෝමස් ඇක්වයිනස්  තුමා ගේ ශීලධාර්මික දර්ශනය බව" යැයි එතුමා පැහැදිලි කළේය.

මෙම ලේඛනය පැහැදිලි කල හැකි දැනට සිටින පරිණතම දේවධර්මවේදියා ඔස්ට්‍රියාවේ වියානා අගරදගුරු අති උතුම් ක්‍රිස්ටොෆ් ස්ඛොන්බොන් හිමිපාණන් බව සුදොතුම් පියතුමා කියා සිටියේය.

"සදාචාරය මුළුමනින්ම විතණ්ඩවාදී යැයි පවසන පිරිසට, එනම්, සභා දහම් සේවා කටයුතු වල ශීලධාර්මික විසඳුම තීන්දු කිරීමේ දී එක් පොදු ප්‍රවේශයකට වඩා,  එක් එක් සිද්ධිය හෝ අවස්ථාව අනුව ශීලධර්මය වෙනස්  වන බව විශ්වාස කරන කොටස් වලට පිළිතුරු දීමට පහසු වනු සඳහා මෙම කරුණු මා ඔබට පැහැදිලිකල යුතු වෙනවා."

"ශීල ධර්ම විෂයයේදී ආවස්ථික බවට නොවැටී අප ඉදිරියට ගමන් කල යුතු වෙනවා. පොදු මූලධර්මය සියලු අවස්ථාවලට ආදාළ වන බව ශු. තෝමස් ඇක්වයිනස් සහ ශු. බොනවැන්චර් මුනි වරුන් දෙනාම  උගන්වනවා.එහෙත් කෙනෙකු විශේෂිත කරුණු වලට යොමු වන විට ප්‍රශ්නය  විව්ධාංගකෘත වී, පොදු මූලධර්මය වෙනස් නොවී   සියුම් වෙනස්කම් ඉස්මතු වෙනවා"  යයිද සුදොතුම් පියතුමා සඳහන් කළේය.                                                                                                                                                                                                                                                                                                                   



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය