1989 එල් සැල්වදෝර ජේසු නිකායිකයන් ඝාතනතයට සම්බන්ධ හමුදා ප්‍රධානියා පිලිබඳ නඩු විභාගයට ඇමෙරිකා අධිකරණයෙන් අවසර

US Court rules that El Salvador's  Civil War time Commander be extradited and tried for the 1989 massacre of Jesuits


ඝාතනය කරන ලද ජේසු නිකායික විශ්ව විද්‍යාලයීය නිවසේ පිරිස 


(2017 ඔක්තෝබර 6)
1989 දී එල්සැල්වදෝරයේ ජේසු නිකායික පියවරුන් පිරිසක් සාහසික ලෙස ඝාතනය කිරීමට නායකත්වය දුන් යුද හමුදා ප්‍රධානියා ඊට අදාළ නඩුව සඳහා ස්පාඥ්ඥයට යැවීමට ඇමෙරිකානු අභියාචනාධිකරණයක් අනුමැතිය ලබා දෙයි.

මේ  අනුව දැනට ඇමෙරිකාවේ ජීවත්වන එල්සැල්වදෝර් ජාතික යුද හමුදා කර්නල් ඉනසන්තේ ඔර්ලන්දෝ මොන්තානෝට  සිය නඩුවට පෙනී සිටීම සඳහා  ස්පාඥ්ඥයට යාමට සිදු වනු ඇත. කෙසේ නමුත්, මේ සඳහා ඔහු උදර්පණය කරන්නේ ද යන්න ගැන අවසන් තීරණය ගැනීමේ වගකීම  දැන් භාරව තිබෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ටය.

ජේසු නිකායික පියවරුන් ඝාතනය එල් සැල්වදෝර් සිවිල් යුද්ධය තුළ සිදු වූ කුප්‍රකටම හා සාහසිකම ඝාතනයක් ලෙස සඳහන්ව තිබේ.

මෙම සිවිල් යුද්ධයේ දී එරට කතෝලික සභාවේ 'කිතුනු හදවත්' තිබූ කොටස් සිටියේ  පීඩනයට පත්ව සිටි දුප්පත් ගොවි කම්කරු ජනතාව සමගය.  එරට ජේසු නිකායික පියවරු ද එසේම එම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූහ. පාලක දක්ෂිණාංශික රෙජීමය විසින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම් වලට විරුද්ධ වූ ඔව්හු ජනතාව දුප්පත්කමින් හා පීඩනයෙන් මුදා ගැනීම සඳහා කැපවී කටයුතු කරමින් සිටියහ. එපමණක් නොව මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්චාමය විසඳුමකට යොමු වන ලෙස ඔව්හු රෙජීමයට බල කරමින් ද ඒ සඳහා මැදිහත් වෙමින්ද සිටියහ. (සන් සැල්වදෝර අගරදගුරු භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ හිමිපාණන් ද පසුකාලීනව ජනතා  අරගලයේ සාධාරණත්වය තේරුම් ගත්තේය. එතුමා ද  ජේසු නිකායික පියවරුන් හා එක්ව ගොවි කම්කරු ජනයා වෙනුවෙන් ජීවිතය කැප කළේය.)

එක්සත් ජාතීන් ගේ සත්‍ය කොමිසම ඉදිරියේ පසුව අනාවරණය වූ කරුණු අනුව එරට ජේසු නිකායික පියවරුන් FMLN නමැති එල් සැල්වදෝර  කැරලිකරුවන්ට ආධාර කරන "කොමියුනිස්ට් කාරයන්" පිරිසක් බවට පාලක  රෙජීමය සහ යුද හමුදාව විසින් තීරණය කර තිබුනේය. ඒ අනුව ඔවුන් "විනාශ කිරීමට"  එවකට මහජන ආරක්ෂාව පිලිබඳ උප අමාත්‍ය වරයා ලෙස කටයුතු කල කර්නල් ඉනසන්තේ මොන්තානෝ ගේ ද නායකත්වයෙන් යුත් ඉහලම හමුදා කණ්ඩායමක් තීරණයට පැමිණියේය.

ඒ අනුව 1989 නොවැම්බර් 16 වනදා හැන්දෑවේ හමුදා කණ්ඩායමක් ජේසු නිකායික පියවරුන්ට අයත් සන් සැල්වදෝර්හි මධ්‍යම ඇමෙරිකානු විශ්ව විද්‍යාලයට කඩා වැදුනාහ. ඔව්හු ඒ වන විට විශ්ව විද්‍යාලයීය ආචාර්ය නිවසේ සිටි  එහි අධිනේතෘ ඉග්නාසියෝ එලකුරියා පියතුමා ඇතුළු පියවරුන් සය නමකුත්, එහි සේවිකා එල්බා රාමෝස් සහ ඇයගේ දහසය හැවිරිදි දියණියත් ඝාතනය කළහ. මෙම ප්‍රහාරය FMLN කැරලිකරුවන්  විසින් කරන ලද්දක් ලෙස ප්‍රදර්ශනය කිරීම සඳහා ද හමුදාව විසින් පියවර ගෙන තිබිණ. ප්‍රහාරය සඳහා යොදා ගැනුනේ FMLN කැරලිකරුවන් භාවිත කල ස්වයංක්‍රීය ආයුධය. ඒ හැරුණු කොට ඔවුන්ට අයත් බොහෝ සලකුණු ද ඔව්හු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දමා  ගියහ.

කෙසේ නමුත් මෙම සාහසික ඝාතනයට එරෙහිව (ජිමී කාටර් ජනාධිපති වරයාගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු ආණ්ඩුවෙන් හැර) ලොව පුරා සෑම ප්‍රදේශයකින් ම බලවත් විරෝධයක් එල් සැල්වදෝර ආණ්ඩුවට එල්ල විය.

මෙම ප්‍රහාරයට නායකත්වය දුන් කර්නල් මොන්තානෝ ඇමෙරිකානු ආරක්ෂක විද්‍යා පීඨයේ පුහුණුව ලැබුවකු සේ ම මෙම ජේසු නිකායික විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබූවෙකි.

ඔහු 2002 දී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් නීති විරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු විය. එහිදී කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු කියා සිටියේ තමා එල් සැල්වදෝර හමුදාවට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. කෙසේ නමුත් සත්‍ය කොමිසම ඉදිරියේ සියල්ල අනාවරණය විය.

මෙලෙස ඝාතනය කරන ලද ජේසු නිකායික පියවරුන්ගෙන් 5 දෙනෙකුම ස්පාඥ්ඥ ජාතිකයෝ ය. ස්පාඥ්ඥ අධිකරණය විසින් මෙම නඩුව විභාග කරන්නේ ඒ නිසාය.  මේ සඳහා ඔහු  ස්පාඥ්ඥයට උදර්පණය කරන ලෙස ඇමෙරිකාවේ දිසා  අධිකරණයක්  දුන් තීන්දුවට එරෙහිව කර්නල් මොන්තානෝ විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

එම අභියාචනය ප්‍රතික්ෂේප කල අභියාචනාධිකරණය නඩු විභාගය සඳහා ඔහු උදර්පණය කරන ලෙස දිසා අධිකරණය දුන් තීන්දුව තහවුරු කළේය.

පසුබිම

එල් සැල්වදෝර සිවිල් යුද්ධයේ දී එරට කතෝලික සභාවේ ක්‍රිස්තු හදවතින් මෙම අර්බුදය  දෙස බැලූ කොටස සමාජ අසාධාරණත්වය, දුප්පත්කම, ඝාතන හා වදහිංසා වලට එරෙහිව ක්‍රියා කළහ. මෙහිදී එරට අධ්‍යාපන හා සමාජ සේවා දූත මෙහෙවර වල යෙදී සිටි ජේසු නිකායික පියවරු පෙරමුණ ගෙන සිටියහ.

සිය පූජක ජීවිතය තුළ සම්ප්‍රදාය මතවාදියකු සහ පොත් ගුල්ලකු ලෙස ප්‍රකටව සිටි ඔස්කාර් රොමෙරෝ අගරදගුරු තුමා ද දුප්පතුන්ගේ අන්ත දුක්ඛිතකම සිය දෙනෙතින්ම දුටු පසු ඔවුන්  ගේ අභීත හඬ බවට පත්විය.

සිය සමීප මිතුරා වූ රුටිලියෝ ග්‍රන්ඩි පියතුමන් රෙජීමයේ හමුදා විසින් ඝාතනය කරනු ලැබීම එතුමා ගේ දැඩි වේදනාවට හේතු විය.

අවසානයේ දී රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ද රෙජීම හමුදා විසින් ඝුආතනය කරනු ලැබිණ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් 2015 ජුනි  මාසයේ දී එතුමන් භාග්‍යවරයට ඔසවන ලදී. රුටිලියෝ ග්‍රන්ඩි පියතුමන් ගේ ශුද්ධවර ක්‍රියා මාර්ගය ද දැන් ආරම්භ වී තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය