"කරුණාවේ විප්ලවයක් අවශ්‍යයි": හිලරි ක්ලින්ටන් ගේ සිත සුවපත් කල සුදොතුම් පියතුමා ගේ TED දේශනය

Pope Francis' TED talk that healed Hilary Clinton after the devastating election defeat  



(2017 සැප්තැම්බර් 16)
TED (තාක්ෂණය, රසවින්දනය, සැලසුම්කරණය) යනුවෙන් හැඳින්වෙන්නේ "ප්‍රචාරණය කිරීමට වටිනා" කතා නොමිලේ බෙදා හරින මාධ්‍ය සංවිධානයකි. එම කතා අන්තර්ජාලයේ නොමිලේ නැරඹිය හැකිය. තාක්ෂණය හා සැලසුම් කරණය කෙරෙහි ප්‍රමුඛව අවධානය යොමු කලද පසුව විද්‍යාත්මක, සංස්කෘතික හා ශාස්ත්‍රිය ක්ෂේත්‍රවල විද්වත් කථිකයෝ ද  TED කතාවලට ඇතුළත් කරන ලදහ.

TED වාර්ෂික සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ කැනඩාවේ වැන්කුවර් නුවරයි. එහි දේශකයන් ලෙස ඇරයුම් ලබන්නේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයෝය .

කවුරුත්  අපේක්ෂා නොකළ අමුත්තෙක් 2017 අප්‍රේල් මාසයේ පැවැති TED සමුළුව ඇමතුවේය. ඒ ප්‍රැන්සිස් පාප් වහන්සේය. එතුමා වැන්කුවර් නුවරට පැමිණියේ නැත. වතිකානයේ සිට එතුමා කළ කතාව TED සම්මන්ත්‍රණය පැවැති ශාලාවේ දැවැන්ත තිරයේ දිග හැරිණ. ශාලාවේ අසුගෙන සිටි විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන්, තාක්ෂණ සැලසුම්කරුවන්, සංස්කෘතික ප්‍රභූන් ඇතුළු සියල්ලෝ මවිතයටත් උත්කර්ශයටත් පත්ව හුනස්නෙන් නැගිට අත්පොලසන් දුන්හ.

"මෘදුබවේ, කරුණාවේ විප්ලවයක් අවශ්‍යයි" එතුමා TED සමුළුව අමතා කීවේය.

"අපට එකිනෙකා අවශ්‍යයි. අප තුළ  "අප" කෙනෙක් ජීවත්වන විට විප්ලවයක් ඇති වෙයි." එතුමා කියා සිටියේය.

"විද්‍යාත්මක හා තාක්ෂණික සොයාගැනීම් හා නවෝත්පාදනයන් ගේ වර්ධනය, සමානාත්මතාව හා සමාජ අන්තර්ග්‍රහණයත් සමග අත්වැල් බැඳගෙන එන්නේ  නම් කෙතරම් අසිරිමත් ද? අප ඈත විශ්වයේ නව ග්‍රහ ලෝක සොයා ගන්නා අතරම අප ආසන්නයේ අප වටා සැරිසරන සහෝදර සහෝදරියන් ගේ අවශ්‍යතා යළි සොයා ගන්නේ නම් කෙතරම් අසිරිමත් වන්නේද?"  අදහස් වලට විරාම තබමින්  නැගෙන අත්පොලසන් හඬ අතරින්  එතුමා ඇසුවේය.

අසහනයෙන් සිටි හිලරි ක්ලින්ටන් 
මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන 2017 අප්‍රේල් මාසය  වන විට  ඇමෙරිකාවේ 2016 ජනාධිපති වරණයේ ඩිමොක්‍රටික් පක්ෂ  අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිටියේ දැඩි මානසික අවපාතනයකිනි. මාස  හයකට පෙර පැවැති මැතිවරණයේ දී ඇය ලැබූ අනපේක්ෂිත පරාජය මානසිකව ඇය දැඩි අසහනයට හා පීඩනයට ලක් කර තිබුණේය.

කරුණාවත්, පිළිගැනීමත්, අන්තර් ග්‍රහනයත්, එසේම සහජීවනයත් වෙනුවෙන් පෙනී සිටි තමා පරාජය කර භේදය , වර්ගවාදය, තාප්ප බිත්ති,  වෛරය හා සුදු ජාතික උත්තමභාවය වෙනුවෙන් පෙනී සිටි  ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේ කෙස්ද යන්න ගැන එකඟත්වයකට පැමිණීමට ඇයට නොහැකි විය. "කරුණාවෙන්" ඉවත් විය යුතු ද?  ලෝකයට වෛර කල යුතු ද? මහත් චිත්ත සන්තාපයෙන් යුතුව හිලරි ක්ලින්ටන් සිතමින් සිටියාය.

ඒ සිටින මොහොතක ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම TED සම්මන්ත්‍රණ කතාව ඇයගේ නෙත-සවනත ගැටුණේය. ඒ කතාව ඇයගේ සිතට වැදුණු විදුලි සැරයක් මෙන් විය.

ඒ දිනවල ඇය බොහෝ විට කලේ නිව්යෝක් ප්‍රාන්තයේ චපාකා හි පිහිටි ඇයගේ ගෙවල් අද්දර ඇති පුංචි වනාන්තරයේ ඇවිදීමය. මෙසේ  ඇවිදින  අතර සුදොතුම් පියතුමාගේ TED දේශනය ගැන තමා සිතන්නට පටන් ගත්  බව හිලරි ක්ලින්ටන් පවසයි.

ඇය මේ තොරතුරු  හෙළිදරව්  කරන්නේ ඉකුත් සති අන්තයේ ඇය විසින් ප්‍රකාශනයට පත් කරන ලද  "What Happened " නමැති කෘතියේය. 2016 ජනාධිපතිවරණය හා එහි ප්‍රතිඵලයට පාදක වූ කරුණුත්, ඉන්පසුව ගත වූ කාලයත්  අළලා ක්ලින්ටන් මහත්මිය ගේ අත්දැකීම් මෙම කෘතියට ඇතුලත් වී තිබේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ TED දේශනය රිදුනු, බිඳුණු, පෑරුණු හා පීඩනයට පත් වූ සිය සිත සුවපත් කිරීමට උදව් වූයේ කෙසේදැයි මෙම  කෘතියේ ඈ විස්තර කරයි.

"කරුණාවේ විප්ලවය"
"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "කරුණාවන්ත කමේ විප්ලවයක් " ඇතිකරන්නැයි ඉල්ලා සිටියි. කෙතරම් සුන්දර වචන පෙළක් ද! එතුමා මෙසේ කියයි: 'අප සියල්ලනට එකිනෙකා අවශ්‍යයි. අප කිසිවෙක් දූපතක් නොවේ. අප කිසිවෙක් අනෙකාගෙන් වෙන් වූ ස්වායත්ත සහ ස්වාධීන "මම" කෙනෙක් නොවේ. අපට අනාගතය ගොඩ නැගිය හැකි වන්නේ, සියල්ලන් අන්තර්ග්‍රහණය කරගනිමින් එක්ව එකට සිට ගැනීමෙනි.'"

සුදොතුම් පියතුමා එම කතාවේ සඳහන් කල සිය සිත සුවපත් කල ඔසු බඳු අදහස් හිලරි ක්ලින්ටන් සිය මතක සටහන් පොතේ තව දුරටත් විස්තර කරයි.

"දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වන්නට, යහපතට විවෘත වීමට සහ  අනුකම්පාව දැක්වීමට අප තුළ ඇති දැඩි අභිලාශය හෝ නපුරට එරෙහි වීමට අපට ඇති හැකියාව විනාශ කිරීමට  කවර ක්‍රමයකටවත් නොහැකිය. මෙම අභිලාෂයන් හා හැකියාවන් ජනිත වන්නේ අපගේ  හදවත්වල ගැඹුරුම ස්ථානයෙනි."

සුදොතුම් පියතුමා මෙම අදහස් පල කලේ  සිය ජනාධිපති වරණ ව්‍යාපාරය ආරම්භ කර හරියටම වසරක් පිරෙද්දී බව හිලරි ක්ලින්ටන් සඳහන් කරයි. තමා ගේ මැතිවරණය ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරමින් නිකුත් කෙරුණු වෙළෙඳ දැන්වීමේ  තේමාව "ආදරය සහ කරුණාව" යන්න බව ඈ සහිපත් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වෛරී සටන් පාඨ වලට ප්‍රතිචාර ලෙස ඈ යොදා ගත්තේ එම තේමාවයි. එහෙත් මැතිවරණ පරාජයෙන් පසු එම තේමාව තමාගේ අවධානයෙන් ඉවත් වූ බව ඇය පෙන්වා දෙයි.

අලුත් ආරම්භය  
හිලරි ගැඹුරු ඇදහිල්ලක් ඇති කාන්තාවකි. යෞවනයේ ඇය දහම් පාසලේ ඉගැන්වූවාය. එක්සත් මෙතෝදිස්ත සභාව (ඇය කතෝලික නොවේ; එහෙත් කිතුණුය) තුළ තමා වර්ධනය වූ ආකාරයත්  සිය ජීවිතය තුළ ධර්මයේ භූමිකාවත් ගැන ඇය එඩිතරව කතා කරන්නීය. අභියෝගාත්මක අවස්ථාවල ධර්මයෙන් ලද ශක්තිය හා සහනය ගැන ද ඇය කතා කර තිබේ. "ආදරය සහ කරුණාව" පිලිබඳ  සිතිවිල්ල උපත ලැබුවේ ද ඇයගේ  කිතුනු විශ්වාසය තුළිනි.

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ කතාව 'විප්ලවීය සහකම්පනයක්" (radical empathy) වැළඳ ගන්නට මා පෙළඹවූවා" යි ඇය සිය මතක සටහන් පොතේ කියයි. "මෙයින් අදහස් වන්නේ අපගේ ගැඹුරු සමාජයීය සහ මතවාදී  භේද නොතකා පොදු මිනිසත්බවේ හැඟීමක් යලි අත්පත් කර ගැනීමත්, අප ලෝකය දකින ආකාරයට නොදකින ජනතාවගේ අදහස් ගලපා ගැනීමට උත්සාහ කිරීමත් අතිශයින් වැදගත් වන බවය."

පාප් වහන්සේ ගේ පණිවිඩය සිය ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීම සඳහා තෝරා ගැනීමට මාර්ග දෙකක් තමා අබියස තැබූ බව හිලරි ක්ලින්ටන් සිය කෘතියෙන් හෙළිදරව් කරයි:

"මට තෝරා ගැනීමට මාර්ග  දෙකක් සුදොතුම් පියතුමා ඉදිරිපත් කර තිබිණි. එක්කෝ මා සදහටම මා තුළ ඇති ක්‍රෝධය රැගෙන යා යුතුය. නැතහොත් ආදරයට හා කරුණාවට මට මගේ සිත යලිත් විවෘත කළ හැකිය. මෙයින් මා තෝරා ගත්තේ දෙවැනි මාර්ගයයි" ඇය සඳහන් කරයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය