"'යුද්ධයේ දූෂිත අන්ධකාරයෙන්' ඉවත්වන්න" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියානුවන් දිරිමත් කරයි: "ප්‍රචණ්ඩ ක්‍රියාවල මඩ වගුරෙන් නැගී සිටින්න".

"Move beyond 'corrupting darkness' of war": Pope Francis tells Colombians 



(2017 සැප්තැම්බර් 9)

"සමාජය හා සිත් දුෂ්‍ය කරන යුද්ධයේ අන්ධකාරයෙන් මිදී ඉන් පිටතට ගමන් කරන්නැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියා ජනතාවට ආරාධනා කරයි.එක්  පසෙකින් පළිගැනීම සඳහා වූ පිපාසයේ අන්ධකාරයෙන් ද අනෙක් පැත්තෙන් යුද්ධයට නිසා තවමත්  දුක් විඳින්නන් ගේ වේදනාවට අසංවේදී වීමේ අන්ධකාරයෙන් ද රට තවමත් වෙලී පවතින බව එතුමා පෙන්වා දෙයි. මේ අන්ධකාරයෙන් මිදිය හැක්කේ, ඉන් ඉවත්වී  සමාව දීමේ හා එකිනෙක පාර්ශවයේ වේදනාවනට සංවේදී වීමේ ආලෝකය වෙත පිය නැගීමෙන් බව එතුමා අවධාරණය කරයි.  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ දිනවල අපෝස්තලික සංචාරයක යෙදී සිටින්නේ අවුරුදු පනහක් -එනම් අඩ  සියවසක් -  පුරා උනුන් මරාගන්නා සිවිල් යුද්ධයකට මැදිව සිටි කොලම්බියාවේ ය. ඉකුත් සිකුරාදා ආරම්භ වූ මෙම සංචාරය ඉරිදා අවසන් වීම නියමිතය.

කොලම්බියාවේ සාම හා සමගි සන්ධාන ප්‍රයත්නය ධෛර්යවත් කිරීම තමාගේ කොලම්බියා සංචාරයේ අරමුණ බව රෝමයේ සිට බෝගොතා බලා එන අතර ගුවන් යානයේ දී මාධ්‍යවේදීනට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා පවසා තිබිණ.

කොලම්බියාව - අරගලයේ කෙටි සටහනක් 
දකුණු ඇමෙරිකාවේ උතුරු දිග කෙලවරේ පිහිටි කොලම්බියාවේ ඉකුත් 50 වසර පුරා සිවිල් යුධයක් පැවතියේය. එරට වාමාංශික කැරලි කරුවෝ සාධාරණ හා යුක්තිසහගත අමාජ ආර්ථිකයක් පතා කොලම්බියානු ආණ්ඩු සමග දරුණු යුද්ධයක පැටලී සිටියේය. මේ බිහිසුණු යුද්ධයේදී එක් පසෙකින් FARC වාමාංශික කැරලි කරුවන් ගේ ප්‍රහාර හා බෝම්බ පිපිරවීම් වලින් විශාල පිරිසක් මිය ගියහ. ආණ්ඩුවේ හමුදා මෙන්ම රාජ්‍ය සහය ලද අර්ධ හමුදා කල්ලි විසින් අනුකම්පා රහිතව එල්ල කෙරුණු ප්‍රති ප්‍රහාර වලින් ද තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරු මුවට පත්වූහ. 1958 සිට 2013 දක්වා  මෙම යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 220,000 කට අධිකය. තවත් පිරිසක් 'අතුරුදන්' කරන ලදහ. මේ අතරින් 177,000 කට වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය වැසියෝය. ළමයි 45, 000ක් මිය ගිය අතර 23 ලක්ෂයක් සිය නිවාස වලින් අවතැන් වූහ.

ලොව පුරා විවධ රටවල  පැවැති සිවිල් යුද්ධ එම රටවල ආණ්ඩු විසින් මර්දනය කරන ලද්දේ සාහසික, අකාරුණික හා අමානුෂික ප්‍රති ප්‍රහාරයකිනි. එය අනුගමනය කරමින් කොලම්බියා ත්‍රස්තවාදයට ද එවැනි ම පිළිතුරක් ලබාදීමේ හැකියාවක් තිබිණ. එහෙත් කතෝලිකයකු වන එරට ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්තොස් යුද්ධය වෙනුවට තෝරාගත්තේ සාමයේ හා සංහිදියාවේ මාර්ගයයි.

කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ ගේ  මැදිහත්කම ඇතිව හේ FARC කොමියුනිස්ට් කැරලිකරුවන් සමග සාම ප්‍රයත්නයකට පිවිසියේය.

මෙම ප්‍රයත්නය ඵල දරමින් 2016 ජූලි මාසයේ දී කැරලිකරුවන් හා ආණ්ඩුව අතර සාම ගිවිසුමක් අත්සන් තැබිණ. එහි එක කොන්දේසියක් වුයේ මෙම ගිවිසුම ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි. කනගාටුගායක  ලෙස පළමු ජනමත විචාරණයෙන් මෙම ගිවිසුම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

ජනාධිපති සාන්තොස් යුද වාදියකු, 'රණකාමියකු' හෝ 'රණ විරුවකු' වූයේ නම් "ජනතාව මේකට කැමති නැහැ" කියා සාම ප්‍රයත්නය පහසුවෙන් අත්හැර දැමීමට ඔහුට ඉඩ තිබිණ. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. කැරලිකරුවන් සමග වාඩි  වී ගිවිසුම සංශෝධනය කර, එය ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මාක්ස්වාදී ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කැරලිකරුවෝ දැන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වී සිටිති.  (මේ සාම ගිවිසුම සඳහා  දැක්වූ කැපවීම හා ධෛර්යය වෙනිවෙන් 2016 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද්දේ ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්තොස්ටය.)

එහෙත් මේ සාම වැඩපිළිවෙලේ දී ජනාධිපතිවරයා සීමාවෙන් ඔබ්බට යමින් කරලිකරුවනට සහන සලසා ඇතැයි ජනතාව වෙතින් තවමත් චෝදනා එල්ල වෙමින් තිබේ. යුද්ධය අත්හැර සාමය වෙනුවෙන් කැපවූ ජනාධිපතිවරයා ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් පවතියි. ශ්‍රී ලංකාව නමැති ඉන්දීය සාගර කොදෙව්වේ සේ ම සාමය සහ සමගි සන්ධානය වෙනුවට යුද්ධය සහ වෛරය වෙතම රට ඇදදමන්නට වලිකන යුදවාදීන්ගේ සටන් පාඨවල දුමාරයෙන් ද, තම මිතුරන් හා දරුවන් හා නෑසියන් යුද්ධය නිසා නැති වීම නිසා තවමත් අධික වේදනාවෙන් පෙලෙන්නන්ගේ වේදනාව තේරුම් නොගැනීමේ අන්ධකාරයෙන් ද රට වෙලී පවතියි.  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය මව් බිම අයත් කලාපයේ පිහිටි, එකම භාෂාව කතා කරන කොලම්බියාවට පැමිණෙන්නේ මෙම වටපිටාව තුළය. කොලම්බියාව තුළ එතුමා කරන  කියන දෑ මෙම පසුබිමට සම්බන්ධය.


බෝගොතා නුවර දිව්‍ය පූජාව 

මේ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියාවේ නගර තුනක දිව්‍ය පූජා ඔප්පු කර තිබේ. එම දිව්‍ය පූජා තුනේ දීම පැවැති ධර්ම දේශනා වලදී එතුමා  කොලම්බියා ජනයාට අභියෝග කලේ සාම මාර්ගය තුළ අඛණ්ඩව ගමන් කරන ලෙසයි.


බෝගොතා අගනුවර යුද්ධයේ ගිනිදළුවලින් පිලිස්සී ගිය ස්ථානයකි. එම නගරයේ  පිටියක පැවැති දිව්‍ය පුජාවට දශ ලක්ෂයකට අධික ජනතාවක් රැස්වී සිටියහ.

""වෙනත් ස්ථාන වල සේ ම මෙහි ද, ජීවිතයට තර්ජනය කරන හා ජීවිතය විනාශ කරන ඉතා ඝන අන්ධකාරයක් පාවතියි.  තමන් අත ඇති අධිකාරී බලය යොදවා වැරැද්ද නිවැරැදි කරන පුද්ගලයන් ගේ පුද්ගලයන් ගේ දෑත් කිලිටි කරන වෛරයේ පිපාසයේ අන්ධකාරය එක් අතකිනි; තවත් අතකින් යුද්ධයට ගොදුරු වූවන්ගේ ගේ වේදනාවට අසංවේදී වන ජනතාව නිසා ඇති වන අන්ධකාරයයි. ......මෙම දුෂිත අන්ධකාරයෙන් මිදී ඉන් පිටතට පියමං කරන්නැයි" එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


විලියාවිසෙන්සියෝ ගම්මානයේ දිව්‍ය පූජාව 

කොලම්බියාවේ සිවිල් යුද්ධයේ ඉතා බිහිසුනුම සටන් පැවැතියේ බෝගොතා අගනුවරින් සැතැපුම් 75ක් දකුණින් පිහිටි විලියාවිසෙන්සියෝ ගම්මානයේය. සුන්දර අන්දිස් කඳු වැටියට නැගෙනහිරින් පිහිටි තැනිතලාව වර්ණවත් කරන  මෙම පුංචි  නගරය සාරවත් ප්‍රදේශයකි. එහෙත් යුද්ධය නිසා එහි ඵල නෙලා ගත බෝහැකි විය.   මෙම ප්‍රදේශවාසීහු යුද්ධයෙන් අපමණ ලෙස බැටකෑහ.

යුද්ධයෙන් මෙම සමාජ දේහයට සිදුවූ බරපතල තුවාල වරක් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සංකේතවත් විය.

2002 මයි 2 වනදා FARC කැරලිකරුවන් එල්ලකළ බෝම්බයක්  වැරදීමකින් මෙම ගම්මානයේ දේවස්ථානය මත පතිත වී  එතුළ පුපුරා ගියේය. ඒ අවස්ථාවේ යුද්ධයෙන් ආරක්ෂා වීම සඳහා දෙව්මැදුරේ  රැකවරණ ලබමින් සිටි බැතිමත්තු බොහෝ දෙනෙක් මෙම පිපිරීමෙන් මිය ගියහ.

දෙව්මැදුරේ පුදසුන මත එල්ලෙමින් තිබු ජේසු සමිඳුන් ගේ කුරුස ප්‍රතිමාව ද එහි සිටි ජනයාගේ සිරුරු සේ ම පුපුරා ගොස් එහි දෑත් සහ දෙපා කැඩී වෙන්වී ගියේය. බිඳුණු ශ්‍රී දෑත් සහ ශ්‍රී දෙපා සහිත බරපතල තුවාල ලද   මෙම ප්‍රතිමාව අදත් කොලම්බියා යුද්ධයේ බිහිසුණු බවේ සංකේතයක් ලෙස එම ජනතාව සලකයි.  එම ජනයා මෙම ප්‍රතිමාවට ගෞරව කරන්නේ "විකලාංග ජේසු සමිඳාණෝ" (Cristo de Bojayá - The "Mutilated Christ") යන ප්‍රේමවන්ත නාමයෙනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දෙවන දින (සැප්තැම්බර 8) දිව්‍ය පූජාව පැවැත්වූයේ මෙම නගරයේ ය.

එතුමා සිය සිය දේශනය ආරම්භ කලේ මෙම අංග විකල ක්‍රිස්තු ප්‍රතිමාව දෙස අවධානය යොමු කරමිනි. "මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ පසුගිය දශක ගණනාව  තුළ කොලම්බියාව විඳි අප්‍රමාන වේදනාවත්, අසංඛ්‍ය වූ මරණ හා බිඳ වැටුණු ජීවිතත් රටේ පොළොව මත ඉහිරුණු රුධිරයත්" යයි එතුමා කීවේය. "

"වේදනාව ජීවයේ උල්පත හා උත්ථානය බවට පරිවර්තනය කරගන්නා ලෙස  ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන සේක. ඒ අනුව උන්වහන්සේ සමග සමාව දීමේ බලය හා ප්‍රේමයේ මහිමය ගැන ඉගෙන ගැනීමට අපට හැකිවනු ඇත. "

"ඔබගේ සහෝදරයකු සහා පියෙකු ලෙස මම මෙසේ ඉල්ලා සිටිමි. කොලබියාව, දේව ජනතාවක් ලෙස ඔබගේ සිත් විවර කර සමගි සන්ධාන වන්න; සත්‍යයට හා  යුක්තියට බිය නොවන්න."

"සමගි සන්ධානයට විරෝධයක් නොදක්වන්න. එකිනෙකාට  සමීප වී සහෝදර සහෝදරියන් සේ එකිනෙකා මුණගැසීමටත් එදිරිවාදිකම් ජයගැනීමටත් අවකාශ  සලසන්නේ සමගි සන්ධානය මගිනි. ඒ නිසා ඊට විරුද්ධ නොවන්න. මේ තුවාල සුවපත් කිරීමට කාලයයි; පාලම් ඉදිකිරීමට කාලයයි; වෙනස්කම් ජයගැනීමට කාලයයි. මේ වෛරය තුරන් කිරීමටත්, පලිගැනීම ප්‍රතික්ෂේප කොට, සත්‍යය සහ යුක්තිය මත පදනම් වූ සහජීවනයකට ඔබ විවෘත කිරීමටත් ,සහෝදරාත්මක සම්බන්ධතාවේ අව්‍යාජ සංස්කෘතියක් උදා කිරීමටත් කාලයයි" යයි පවසමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය නිම කළේය.

ශ්‍රී ලංකාව - මඩු කඳවුර 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2015 ජනවාරි 8 වැනිදා පැමිණියේ  ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ අවසන් අදියරේ බිහිසුණු ම සටන් පැවැතුණු මන්නාරම් පදවියේ මඩු මාතා දෙව්මැදුරට යි.

එදා මඩු මව් පාමුල සිට එතුමා කල ධර්ම දේශනාවේ රිද්මය ද, අර්ථය ද, එම ඉල්ලීම ද  අද එතුමා විලියාවිසෙන්සියෝ සිට කල දේශනයට සහ මුලින් ම සමානය. වෙනස් වන්නේ වචන පමණකි.

එතුමා පිළිගන්නට අලි ඇතුන් පවා අන්දවමින් සූදානම් වූ ශ්‍රී ලංකාවේ එකම කතෝලිකයකුටවත් එතුමා ගේ එම පණිවිඩය ඇසුනා ද? එම පණිවිඩය මතක ද?





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය