"දිව්‍ය පූජාව පිලිබඳ දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකියි": සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Holy Father is emphatic: "Reforms of Vatican II 'Irreversible'"


(2017 අගෝස්තු 29)
ජනවන්දනාව (දිව්‍ය පූජා යාගය) සම්බන්ධයෙන් දෙවන වතිකාන කතිකාවේ දී ඇතිකරන ලද ප්‍රතිසංස්කරණ යළිත් වෙනස් කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එම ප්‍රතිසංස්කරණ ගැන යළි සිතා බැලීමට උත්සාහ දරනු වෙනුවට කතෝලික සභාව කල යුත්තේ  එම ප්‍රතිසංස්කරණ තේරුම් ගැනීමටත් ඒවා සිදුකරන ලද්දේ මන්ද යන්න වටහා ගැනීමටත් නොකඩවා කටයුතු කිරීම යයි එතුමා කියා සිටියේය.

"මෙම උපදේශයෙන් පසුව, (වතිකාන කතිකාවෙන් පසුව පැමිණි) මෙම දීර්ඝ  ගමනින් පසුව, ජනවන්දනා ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය නොහැකි බව අධිකාරී ගුරු බලයෙන් යුතුව සහ නිශ්චිතවම අපට තහවුරු කළ හැකියැ" යි  සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

"දෙවන වතිකාන කතිකාවේ ප්‍රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේවවන්දනාවේදීන් කල යුත්තේ,  දේවවන්දනාව ප්‍රතිසංස්කරණය කිරීමට ගත් තීරණ යළි අනාවරණය කර ගැනීමයි; එම තීරණවලට පදනම් වූ  දේව අනුප්‍රානීය ප්‍රතිපත්ති ආත්ම ගත කර ගැනීමයි; එසේම ඒවා පාලනය කෙරෙන විනය නීති අනුගමනය කිරීමයි" යයි එතුමා සඳහන් කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අගෝස්තු 24 වැනිදා වතිකානයේ පැවැති ඉතාලි ජනවන්දනා සංවිධානයක සංවත්සර උත්සවයකදීය.

ඉතාලියේ ක්‍රියාකාරී ජනවන්දනා සංවිධානයක් වන ජනවන්දනා ක්‍රියාමාර්ග කේන්ද්‍රය මේ වසරේ සිය 70 වන සංවත්සරය සමරයි. මෙම ආයතනය කතෝලික ජනතාවට ජනවන්දනා පුහුණුව ලබා දෙන අතර ඉතාලි රදගුරු මණ්ඩලයේ ජනවන්දනා සහ ධර්ම  සේවා  මාර්ගෝපදේශ ප්‍රවර්ධනය කිරීමත් ඒ පිලිබඳ තොරතුරු බෙදා හැරීමත් සිය දූත මෙහෙවර කරගෙන සිටියි.

එම ආයතනයට මගපෙන්වන රදගුරු හිමිවරුන් සමග එහි සාමාජිකත්වය දරන 800කට අධික පිරිසක් මෙදින සුදොතුම් පියතුමන් හමුවීමට පැමිණ සිටියහ.

කතෝලික සභාවේ ජනවන්දනාව ගැන මෙහිදී සුදොතුම් පියතුමා කල දේශනය එතුමන් ගේ පාප් ධුර කාලය තුළ එතුමා එතුමන් විසින් ජනවන්දනාව පිලිබඳ කරන ලද දීර්ඝතම සහ විස්තරාත්මකම ප්‍රකාශය ලෙස විචාරකයෝ හඳුන්වති.

සුදොතුම් පියතුමා මෙම දේශනය කළේ සභා ජනවන්දනා ක්‍රම වේද පිළිබඳව අලුතින් ආන්දෝලනාත්මක විවාදයක් පටන් ගෙන ඇති අවස්ථාවකය. මෙම විවාදය ආරම්භ කරන ලද්දේ වතිකානයේ දේවවන්දනාව සහ දේවප්‍රසාද නිධාන ශික්ෂණය පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී ප්‍රැන්සිස් අරින්සේ කාදිනල් තුමන් විසිනි.  පූජකවරුන්  "නැගෙනහිරට හැරී" (එනම් ජනතාවට පසු පස හරවා) දිව්‍ය පූජාව  පැවැත්වීමේ ක්‍රමයට සභාව යලිත් පරිවර්තනය විය  යුතු යැයි එතුමා කියා සිටියේය.   දෙවන වතිකාන කතිකාවට පෙර දිව්‍ය පුජාව ඔප්පු කරන ලද්දේ ඒ ආකාරයටය. එකල පූජාව පැවැත්වුනේ ලතින් බසිනි. පඬුරු ඔප්පු කිරීමෙන් පසුව යදින දිව්‍ය පූජා නියමයේ යැදුම් පියතුමන් විසින් නිහඬව තමාම කියවා ගන්නා ලදී. දීර්ඝ  සාකච්චා වලින් පසුව සවැනි පාවුළු පාප් වහන්සේ ගේ නායකත්වයෙන් යුත් කතිකා පියවරුන් විසින් දැනට භාවිත කෙරෙන නව ජනවන්දනා පිළිවෙත සකස් කරගන්නා ලද්දේ සමස්ත දේව ජනතාව දිව්‍ය පූජාවට සහභාගී කරගැනීමේ අරමුණෙනි. මෙම ප්‍රතිසංස්කරණ "ප්‍රති-ප්‍රතිසංස්කරණය" කල යුතු යයි අරින්සේ කාදිනල් තුමා පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගෙන් මෙතෙක් කලක් ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත.

එහෙත් මෙම දේශනයේ දී එතුමා අවධාරණය කලේ දෙවැනි වතිකාන කතිකාවේ ගුරුබලය අනුව "එවැනි ආපසු හැරීමක්" සිදු කල නොහැකි බවයි.

දෙවන වතිකාන කතිකාවේ දීප්තිමත් ඵලයක් වන"Sacrosanctum Concilium," නමැති පාරිශුද්ධ වූ ජනවන්දනා ව්‍යවස්ථාව ගෙනහැර දක්වමින්  මෙම ප්‍රතිසංස්කරණයට පාදක වූ කරුණු ද එතුමා විස්තර කළේය. "ජනවන්දනා ප්‍රතිසංස්කරණ නවෝදයේ සැබෑ අවශ්‍යතා සහ දැඩි අපේක්ෂා සඳහා ලැබුණු ප්‍රතිචාරයක් විය. එහි ප්‍රතිඵලය වූයේ විශ්වාසකයන් තව දුරටත් නිහඬ ප්‍රේක්ෂකයන් හෝ අමුත්තන් බවට පත් නොකරන ජීවමාන ජනවන්දනාවකි. මේ නිසා සභාව නොකඩවා මෙම ප්‍රතිසංස්කරණ වලට හේතු යළි අනාවරණය කරගත යුතුය; එසේම එම ප්‍රතිසංස්කරණ විරූපී කරන පදනම් විරහිත සහ අවිචක්ෂණ අර්ථයන්, අර්ධ හෙළිදරව්කිරීම් මෙන්ම භාවිතයන් ගෙන් ද වැළකී සිටිය යුතු" යයි එතුමා අවධාරණය කළේය.

"ස්වභාවයෙන් ම  ජනවන්දනාව සභාවේ සමස්ත ජනතාව උදෙසා වූ ජීවනයයි. ස්වභාවයෙන් ම දිව්‍ය පූජාව ජනතාවාදී ය. එය පුදැදුරුවාදී  නොවේ. මන්ද එම වචනයේ පද අර්ථයෙන්ම අපට උගන්වන්නේ එය ජනතාව උදෙසා වන ජනතාවගේ ක්‍රියාවක් බවය.  ජනවන්දනාව යාච්ඥාව මගින් සභාවේ සාමාජිකයන් එකමුතු කරයි. එසේම එය කිසිදු අයකු බැහැර නොකර දේව වචනයට සවන් දීමේ පිපාසයෙන් පෙලෙන සෑම කෙනකුම යාච්ඥාවෙන් එක්රැස් කරය.ජනවන්දනාව,  ලොකු-කුඩා, ධනවත්-දුප්පත්, ළමා-මහලු, රෝගී-නීරෝගී, දැහැමි-පවිටු සියල්ලන් තමන් වෙත කැඳවයි." යයි ද එතුමා සිය දේශනයේ දී කියා සිටියේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය