ප්‍රැන්සිස් පාප් වහන්සේ ම්‍යන්මාවට - එරටට පා තබන ප්‍රථම සුදොතුම් පියතුමා

Pope Francis to visit Myanmar: The first Pope to visit the country 

අවුන් සාන් සු කී මේ වසරේ මැයි මාසයේ වතිකානයේ දී සුදොතුම් පියතුමා හමු වූවා

(2017 අගෝස්තු 8)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික අපෝස්තලික සංචාරයකට සූදානම් වන බව ආසියානු  සහ ජේසු නිකායට සමීප ඇමෙරිකානු  ආරංචි මාර්ග වාර්තා කරයි.

 මේ අනුව දැන් ම්‍යන්මාව ලෙස හඳුන්වන බුරුමයට පා තබන ප්‍රථම පාප් වහන්සේ ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතිහාසයට එක්වනු ඇත.

ආසියාවේ ප්‍රමුඛතම කතෝලික  මාධ්‍ය ජාලය වන යූකාන් ප්‍රවෘත්ති සේවාව වාර්තා කරන අන්දමට එතුමා එන නොවැම්බර 27 වනදා ම්‍යන්මාවේ අපෝස්තලික සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ කතෝලික ආරංචි මාර්ග උපුටා දක්වන එම පුවත් සේවාව කියන්නේ එතුමා ම්‍යන්මාවේ දින හතරක් ගතකරනු ඇති බවයි. එතුමා එම මාසයේම බංග්ලාදේශයේ  අපෝස්තලික සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. එහෙත් මෙය තහවුරු වන්නේ නම් බුරුම හෙවත් ම්‍යන්මා සංචාරය ඊට කලින් යෙදෙනු ඇත.

මෙම වාර්තා අනුව අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුලින්ම සැපත් වන්නේ ම්‍යන්මාවේ නව අගනුවර වන නේපිඩෝවට යි. එහිදී සූ මහත්මිය සමග නිල සාකච්ඡා වලින් පසුව එතුමා එරට පැරණි අගනුවර වන යැංගොන් (රැංගුන් ) නුවරට පැමිණෙනු ඇත. එරට අගරදගුරු පදවිය යැංගොන් පදවියයි. එහි ගත කරන කාලය තුළ  එතුමාගේ කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

යැංගොන් නුවර ශා. මරියා ආසන දෙව්මැදුර 


බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල ඒකාබද්ධ අපෝස්තලික ගමනක නිරත වීමට සුදොතුම් පියතුමා මීට කලින් සැලසුම් කර තිබුනේය. එහෙත් සුදොතුම් පිය සංචාරයකට ඉන්දීය ආණ්ඩුව සමග කටයුතු සම්පාදනය කර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ.

මෙම සංචාරය එක අතකින් ම්‍යන්මාව  සහ කතෝලික සභාව (වතිකානය) අතර සබඳතාවල අතිශය වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරනු ඇත. සභාවේ ගතානුගතික කාදිනල් ආසන ක්‍රමය අතික්‍රමණය කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2015 පෙබරවාරි 15 වනදා යංගොන් හි අගරදගුරු චාල්ස් බෝ හිමිපාණන් කාදිනල් ධුරයෙහි පිහිටු වීය. එම වසරේ පැවැති එරට මහ මැතිවරණයෙන් අවුන් සාන් සු කී මහත්මියගේ පක්ෂය ජයගැනීමෙන් පසුව (තවදුරටත්  යුද හමුදාව එරට තුළ සැලකිය යුතු බලයක් අත්පත් කරගෙන සිටියත්) එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සුළුවෙන් හෝ ඇති වන්නට විය. නව ආණ්ඩුව පත් වීමෙන් පසුව වතිකානය හා ම්‍යන්මාව අතර සබඳතා වර්ධනය වීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස එරට ආණ්ඩු පක්ෂයේ නායිකාව වන අවුං සාන් සූ කී මහත්මිය මේ වසරේ මැයි 4 වනදා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසුණා ය. එය ප්‍රජාතන්ත්‍රවාදය ලියලමින් ඇති රටකට ඉතා උණුසුම් සහ සුහද හමුවක් විය. සුදොතුම් පියතුමා ගේ ම්යන්මා සංචාරය එරටට තව දුරටත් ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට සමත් වනු ඇත.

කෙසේ නමුදු ම්‍යන්මාවේදී සුදොතුම් පියතුමාට ඉතා සංවේදී සහ සංකීර්ණ ගැටළුවකට ද මුහුණ දීමට සිදුවනු ඇත. එනම් රෝහින්ග්‍යා මුස්ලිම් සුළුතරය පිලිබඳ ප්‍රශ්නයයි. එරට බහුතර ජනතාවගේ පීඩනයෙන් බැටකමින් සිටි රෝහින්ග්‍යා ජනතාව සරණාගතයන් ලෙස බෝට්ටුවල නැගී වෙනත් රටවලට ගමන් කිරීමට පටන් ගත්හ. ඇතැමෙක් මුහුදේදී මිය ගියහ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එක වතාවක් නොව අවස්ථා කිහිපයක් ම මානව හිමිකම් අහිමි කිරීමට ලක් ක්‍රම ලද මෙම ඉස්ලාම් ආගමික ජනයා වෙනුවෙන් හඬ නැගුවේය. සිය රට තුළ ඔඅවුන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටි එතුමා මහ සයුර මද අතරමංව සිටින මෙම සරනගාමී අහිංසකයන් පිළිගන්නැයි අසල්වැසි රටවලින් ඉල්ලා සිටියේ ය.

මේ නිසා මෙම සංකීර්ණ ප්‍රශ්නය ම්‍යන්මා බලධාරීන් සමග එතුමා කවර ආකාරයෙන් සාකච්ඡා කරනු ඇත්දැයි ජාත්‍යන්තර නිරීක්ෂකයෝ අවධානයෙන් සිටිති.

2014 ජනසංගණනයට අනුව එරට ජනහනයෙන් බහුතරය, එනම් 87% ක් බෞද්ධයෝ ය. සියයට 6ක් ක්‍රිස්තු භක්තිකයන් වන අතර 4%ක් තමන් ඉස්ලාම් බැතිමතුන් ලෙස හඳුන්වා ගනිති. මේ අතරින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ම්‍යන්මාව විසින් හඳුන්වනු ලබන්නේ නීති විරෝධී සාංක්‍රමනිකයන් ලෙසයි. මේ නිසා ඔවුන් පුරවැසියන් ලෙස පිළිගැනීම එරට ප්‍රතික්ෂේප කරයි. හින්දු සහ ගෝත්‍රික ආගම් ද එරට තුළ පවතියි.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය