"මැසිවිලි කීම තහනම්": සුදොතුම් පිය කාමර දොරේ ඇති දැන්වීම අමුත්තන්ට 'අනතුරු අඟවයි'

"No Whining": A sign on Pope Francis' Vatican door warns 

"මැසිවිලි නොනගනු" දැන්වීම සහිත සුදොතුම් පිය කාමරයේ දොර 

"මැසිවිලි කීම තහනම්."
(Complaining is Prohibited)

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ නිවහන වන වතිකානයේ සාන්තා මාර්තා තානායමේ එතුමන් ගේ කාමරයට ඇතුළුවන දොර මත අලවා ඇති 'අනතුරු ඇඟවීමේ' එසේ සඳහන් වේ.

මීට දින කිහිපයකට පෙර අලවන ලද මෙම 'අනතුරු ඇඟවීම'  මේ වන විට අන්තර් ජාතික මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වූ මුවගට හසරැලි ගෙනෙන පුවතක් බවට පත්වී තිබේ.

මෙම 'දැන්වීමේ' ඡායාරුපයක් ගෙන ප්‍රථම වරට ඒ ගැන හෙළිකරන ලද්දේ ඉතාලියේ පලවන La Stampa පුවත් පතේ වෙබ් අඩවිය විසිනි. දැන්වීම මුද්‍රණය කර ඇත්තේ ඉතාලි බසිනි. එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ වන විට ලොව පුරා ප්‍රචාරය වී ඇත.

"මැසිවිලි කීම තහනම්" යන ලොකු අකුරින් කෙරෙන  'අනතුරු  ඇඟවීමට පසුව කුඩා අකුරු වලින් එහි මෙසේ කියැවේ:

"මෙය කඩකරන්නන් තමන් වින්දිතයකු බව නිතර සිතෙන 'වින්දිත සින්ඩ්‍රෝමයට' ලක්විය හැකි අතර, එවැනි පුද්ගලයන් ගේ  මනෝභාවය ද ප්‍රශ්න විසඳීමේ හැකියාව ද අඩු වී යයි. මෙම වරද ළමයින් ඉදිරියේ සිදු කළහොත් දඬුවම දෙගුණ වේ.
"දැන්වීම අවසන් වන්නේ මෙසේය: "හොඳම ඔබ වීම සඳහා ඔබගේ දුර්වලතා කෙරෙහි නොව ඔබගේ ම ශක්තීන්  කෙරෙහි සිත යොමු කරන්න. ඉතින් මැසිවිලි කීම නවත්වා ඔබගේ ජීවිතය වඩා යහපත් තත්වයට වෙනස් කර ගැනීමට ක්‍රියාත්මක වන්න".

මෙම 'අනතුරු ඇඟවීමේ' ස්ටිකර් පත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමනට ලැබුණු ආකාරය ද සිත්ගන්නා සුළු ය.

මෙය ඉතාලි ජාතික මනෝ විද්‍යාඥයකු සහ මනෝ චිකිත්සකයකු ද අභිප්‍රේරකයෙකු ද වන සාල්වෝ නෝයේ ගේ නිර්මාණයකි. ඉකුත් මාසයේ දිනක  ඔහු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ බදාදා පොදු හමුවට පැමිණියේ මේ සම්බන්ධයෙන් තමන් ලියු  පොතකුත්, මෙම කාඩ් පත සහ තවත් එවැනි දේ කිහිපයක් ද සමගය. පොදු හමුවෙන් පසුව සුදොතුම් පියතුමා හමුවීමට ඔහු අවස්තාවක් ලබා ගත්තේ ය. එම මොහොතේ දී නෝයේ මෙම පොතත් ස්ටිකර් කාඩ් පතත් සුදොතුම් පියතුමාට පිලිගැන්වීය. එය කියවා බැලූ එතුමා ගේ මුවගට සිනහවක් නැගුනේ ය.

"මම මේක මගේ කාර්යාල දොරේ සවිකරන්නම්" එය අගය කරමින් එතුමා කීවේය.

සුදොතුම් පියතුමා ගේ කාර්යාලය පිහිටා ඇත්තේ අපෝස්තලික මාලිගයේ ය. එහෙත් එතුමා එහි යන්නේ අමුත්තන් පිළිගැනීම වැනි ඉහළ පෙලේ නිල කටයුතු සඳහාය. මේ නිසා තමන් ගේ නිවහන් කුටියේ දොරේ ස්ටිකරය සවිකිරීමට එතුමා තීරණය කෙළේය.

(මෙම ස්ටිකරයේ පින්තුරයක් ගෙන එය ප්‍රසිද්ධ කිරීමට මුල් වූයේ නිතර සුදොතුම් පියතුමන් දකින්නට එහි යන ඉතාලි ජාතික පියතුමෙකු ය.)

සුදොතුම් පියතුමා ගේ මෙම ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වන්නේ, මේ කාලය එතුමා ඉතා අභියෝගාත්මක මෙන්ම විවේචකයන් රැසක ගේ ග්‍රහණය මැද විවිධ ගැටළු වලට මුහුණ දෙමින් ගත කරන සමයක් වුවද සුපුරුදු හාස්‍ය රසය එතුමන් තුළ නොවෙනස්ව පවතින බව යැයි ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ගත වූ කාලය තුළ වතිකානයේ විගණකාධිපතිවරයා ඉල්ලා  අස්විය. සුදොතුම් පියතුමා ගේ සමීපතමයකු වූ වතිකානයේ ආර්ථික කටයුතු භාර කාදිනල් පෙල් හිමි ළමා අපචාර චෝදනා නඩු විභාගයකට පෙනී සිටීම සඳහා ඔස්ට්‍රේලියාවට ගියේය. වතිකානයේ බලවත් ම 'අමාත්‍යංශය' සේ ගැනෙන විශ්වාස ධර්මය පිලිබඳ වතිකාන නියෝජනයේ ප්‍රධානි ගර්හාඩ් මුලර් කාදිනල් හිමි ගේ ධුර කාලය සුදොතුම් පියතුමන් විසින් දීර්ඝ නොකිරීම නිසා සභාවේ සම්ප්‍රදාය මතවාදීන්ගේ දැඩි විවේචන වලට මුහුණ දීමට ද සුදොතුම් පියතුමාට සිදුවිය.

මේ සියලු තත්ත්ව මැද  "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුපුරුදු සැහැල්ලුවෙන්" තම වැඩකටයතු කරගෙන යන බව මේ පින්තුරය ප්‍රසිද්ධ කල ඉතාලි ජාතික පියතුමා La Stampa පුවත්පතට ප්‍රකාශ කර තිබේ. මෙය සුදොතුම් පියතුමා ගේ  ග්‍රීෂ්ම නිවාඩු කාලයයි. එහෙත් එතුමා සිය වැදගත් කටයුතු කිහිපයක නිරත වී සිටින බව එම පියතුමා සඳහන් කර ඇත.

කිතුනුවන් ගේ "මැසිවිලි නැගීම" ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිහිප වතාවක් කතා කර තිබේ. එතුමා ඒ ගැන වරක මෙසේ කීවේය: "සමහර කිතුනුවන්  ගේ මුහුණු හරියට අච්චාරු දැමූ මිරිස් කරල් වගෙයි. තමන් ලැබූ  සුන්දර ජීවිත වලින් ගලන ප්‍රීතියට ඒ මුහුණු තරම් නොවේ"














Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය