වැනිසියුලාවේ පාලක මදුරෝ රෙජීමයට මුහුණ දීමේ දී එරට රදගුරු මණ්ඩලයට සුදොතුම් පියතුමා ගේ පූර්ණ සහය

Pope expresses "full support" to Venezuelan Bishops in their efforts to face the oppression of the Maduro Regime 

වැනිසියුලාවේ ආණ්ඩු විරෝධී පෙළපාලියක්

(2017 ජුනි 9)
වැනිසියුලා ජනතාව මත දැඩි පීඩනයක් ඇති කර තිබෙන එරට පාලක රෙජීමයට මුහුණ දීමේ දී තමන්ට සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ ගේ පූර්ණ සහයෝගය ලැබී ඇතැයි වැනිසියුලාවේ කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.

එම රදගුරු මණ්ඩලය මේ බව කියා සිටියේ ජුනි 8 වැනිදා වතිකානයේ දී සුදොතුම් පියතුමා සමග පැවැති හදිසි හමුවෙන් පසුව වාර්තාකරුවන් අමතමිනි. වැනිසියුලා රදගුරු මණ්ඩලයේ මෙම හමුව පාප් වහන්සේ ගේ දිනපොතේ සඳහන් වී තිබුනේ නැත. එහෙත් රටේ පවතින වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට තමා හමුවන්නැයි  එතුමා වැනිසියුලා රදගුරු හිමිවරුනට ආරාධනා කර  තිබිණ. මෙය අත්‍යවශ්‍ය හදිසි හමුවක් බැවින් පැනමා රදගුරු මණ්ඩලයේ  "අද් ලිමිනා' හමුවට පෙර මෙම සාකච්ඡාව හදිසියේ සුදොතුම් පියතුමා ගේ වැඩසටහනට ඇතුළු කෙරිණ.

එම හමුවෙන් පසුව වාර්තාකරුවනට කතා කල කුමානාවේ අගරදගුරු දියෙගෝ පැද්‍රෝන් සාන්චෙස් හිමි වැනිසියුලා  ජනාධිපති නිකුලස් මදුරෝ ගේ රෙජීමය ජනතාව කෙරෙහි පවරා ඇති දැඩි පීඩනය නිසා සිය රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්වය ගැන විස්තර කළේය.

"රෙජීමයේ ප්‍රධානම ඉලක්කය  වී තිබෙන්නේ ඕනෑම පුද්ගලයකු ගේ ජීවිතය හෝ වෙනත් ඕනෑම මිළක් ගෙවා තම බලය රැකගැනීමයි. එපමණක් නොවෙයි. තමන්ට අවනත, විරෝධතා නොදක්වන, නිහඬ ජනතාවක් ඇති කිරීමේ දැඩි උවමනාවක් සහ අධිෂ්ටානයකුත් ආණ්ඩුව සතුව තිබෙනවා. මෙසේ වීම සහතික කිරීම සඳහා කෑමබීම නැති, අවශ්‍ය බේත්හේත් නොමැති, එදිනෙදා වේල  ගැන සිතමින් සිටින දුර්වල ජනතාවක් සහිත සමාජයක් ගොඩනැගෙමින් පවතිනවා, පීඩනයට පත් වූ , කුසගින්නෙන් හාමත් වූ, දුක් වේදනා වලින් හෙම්බත් වූ ජනතාවකට කිසිවෙකුටත් එරෙහිව විප්ලව කිරීමට තරම් ශක්තියක් ඇතිවන්නේ නැහැ" යැයි පැද්‍රෝන් අගරදගුරු හිමි කියා සිටියේය.

තම රදගුරු මණ්ඩලය සුදොතුම් පියතුමන් සමග පැවැත්වූ සාකච්ඡාව ගැන ද අගරදගුරු හිමි කරුණු සඳහන් කළේය.

"රටේ වර්තමාන අර්බුදය ගැන අප පාප් වහන්සේ සමග කතා කළා. එම අදහස් හුවමාරුව ඉතා සුහද, සහෝදරත්වයෙන් යුත් සාකච්ඡාවක්. සුදොතුම් පියතුමා අප රටේ අර්බුදය ගැන ඉතා හොඳින් තොරතුරු දැන සිටින බව අපට අවබෝධ වුනා. අපගේ රට පිළිබඳව දිනපතාම තමන්ට තොරතුරු ලැබෙන බව එතුමා අප සමග කීවා" යි එතුමා සඳහන් කළේය.

වැනිසියුලා රදගුරු මණ්ඩලය සුදොතුම් පියතුමන් හමුවී

මෙම තත්වයෙන් පීඩාවිඳින ජනතාව සමග තමන් හදවතින් සමීප වන බව සුදොතුම් පියතුමා මෙහිදී එම රදගුරු මණ්ඩලයට කියා සිටියේ ය. කරිටාස් සංවිධානය සමග නොකඩවා කටයුතු කරමින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය, ළමයිනට හා කුඩා දරුවනට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට දිගටම කටයුතු කරන්නැයි එතුමා රදගුරු මණ්ඩලයට උපදෙස් දුන්නේ ය.

සුදොතුම් පියතුමා විශේෂයෙන් කියා සිටියේ මෙම අර්බුදය විසඳීම සඳහා නිකුලස් මදුරෝ රෙජීමය සමග කටයුතු කිරීමේ දී වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණන් ලබා දී ඇති මාර්ගය අනුගමනය කරන ලෙසයි. මදුරෝ රෙජීමය හා සාකච්ඡා කිරීමේදී අනුගමනය කලයුතු කොන්දේසි හතරක්  පැරෝලිනි හිමිපාණන් ගේ මෙම උපදෙස් වල අඩංගු වේ.

එනම්, ජනතාවට ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම සඳහා මානුෂවාදී මාවතක් ඇතිකිරීම ගැන රෙජීමය සහතික විය යුතුය; ජාතික සභාව (පාර්ලිමේන්තුව) ප්‍රතිෂ්ඨාපනය කිරීම හා ඊට ගරු කිරීම; සියලුම දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ සහතික කිරීම එම කොන්දේසි හතරයි.

ලෝක කරිටාස් සංවිධානයෙන් ලැබෙන ආහාර, බෙහෙත් හා ළමයිනට අවශ්‍ය කිරි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා හැරීමට ද ගැටළු පැනනැගී ඇති බව අගරදගුරු හිමි පෙන්වා දුන්නේ ය. ඊට හේතුව ඒවා බෙදා හැරීමට මදුරෝ රෙජීමය විසින් දැඩි කොන්දේසි පනවා තිබීමයි.

වැනිසියුලා අර්බුදයේ සුල මුල
වැනිසියුලාව කලක් තිස්සේ අනුගමනය කළ දැඩි සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් එරට  මේ වන විට හදිසි මුල්‍ය හා මානුෂවාදී අර්බුදයකට මුහුණ දී සිටියි. මේ හේතුවෙන් අධික උද්ධමනයක් ඇති වී තිබෙන අතර මෙය වැලැක්වීම සඳහා ආණ්ඩුව හඳුන්වා දී ඇති මිළ පාලනය හේතුවෙන් ආහාර හා සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක්  ඇති වී තිබේ. පාලන මිළට වෙළෙඳ පොලට එන ආහාර ඇතුළු භාණ්ඩ ඇසිල්ලකින් අතුරුදන් වන අතර ටික වෙලාවකින් ඒවා කළු කඩයේ  අධික මිලට විකිණේ. එය ද ජනතාවට ප්‍රමාණවත් තරම් නොමැත.

රෙජීමයට එරෙහිව දිනපතාම පාහේ  සිදුකෙරෙන විරෝධතා හා රෙජීමය අනුකම්පා විරහිතව ඒවා මර්දන කිරීමට ගන්නා ක්‍රියා මාර්ග නිසා සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී තිබේ.

ස්වාභාවික සෞන්දර්යයෙන් හා සම්පත් වලින් අනූන වැනිසියුලාවේ  1999 සිට පවතින්නේ සමාජවාදී ආණ්ඩුවකි. දුෂිත දක්ෂිනාංශික ආණ්ඩුවලින් පීඩා විඳිමින් සිටි ජනතාවට හියුගෝ චාවේස් ගේ සමාජවාදී ප්‍රතිපත්ති යටතේ සහන ලැබෙනු ඇතැයි විශ්වාස කළ එරට කතෝලික සභාවේ ඇතැම් කොටස් ඔහුට බලයට පැමිණීමට සහය දුන්හ.

දැඩි ඇමෙරිකානු විරෝධියකු වූ ජනාධිපති හියුගෝ චාවේස් ගේ පාලන සමයේ මුල් භාගය රටේ දුප්පත් ජනකොටස් වලට සහන ලැබුණු සමයක් විය. වැනිසියුලාව ලෝකයේ විශාලතම ඛනිජ තෙල් නිධිය ඇති රටයි. ඛනිජ තෙල් කර්මාන්තය ජනසතු කල චාවේස්, තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම දුප්පත් ජනතාව නගා සිටුවීම සඳහා යෙදවීය. මේ නිසා එම කාලය තුළ රටේ දුප්පත්කම විශාල ලෙස අඩු වූ අතර ළමයින් බහුතරයකට පාසල් යාමට අවස්තාව ලැබිණි. පිසිරිදු පානීය ජල පහසුකම් සියලු ජනතාවට ලබා දීම හා ආහාර සහනාධාර ආදිය ද ලබා දෙනු ලැබිණි.

තෙල් මිළ ඉහල ගිය සමයේ මෙය සිදු කල හැකි වුව ද තෙල් මිල පහත වැටීමත් සමග මෙම සහනාධාර පවත්වාගෙන යාම අසීරු විය. රාජ්‍ය මට්ටමේ පැවැතුනු දුෂණය නිසා මුදල් පරිපාලනයක් හෝ නිසි කළමනාකරණයක් ක්‍රියාත්මක නොවීය. මේ නිසා ක්‍රමයෙන් උද්ධනමය උග්‍ර වන්නට පටන් ගත්තේය.

හියුගෝ චාවේස් ගේ මරණයෙන් පසු 2013 දී බලයට පත් වුයේ බස් රියැදුරකු වූ නිකුලස් මදුරෝ ය. ඔහුට අවශ්‍ය වූයේ චාවෙස්ගෙන් උරුම වූ බලය රැක ගැනීමට මිස නිසි රාජ්‍ය පාලනය නොවේ. ආහාර ගිඟය වැඩි වෙමින්, උද්ධමනය අධික වෙමින් රට මෙම අර්බුදයට ඇද වැටුනේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

වැනිසියුලාවේ පාන් පෝලිමක් 

මේ වන විට වැනිසියුලා ජනතාවට අවම වශයෙන් වේල් දෙකක් කුස ගින්න නිවා ගැනීමට ආහාර සොයා ගැනීම පවා දුෂ්කර වී තිබේ. මේ නිසා විශේෂයෙන් ළදරු මන්ද පෝෂණය හා ළමා මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතියි. තමන් ගන්නා ඉතා කුඩා ප්‍රමාණවත් නොවන ආහාර වේල වැනිසියුලා වැසියන් හඳුන්වන්නේ "මදුරෝ ඩයට් එක" ලෙසයි. මන්ද  "කෑම නොමැතිව සිටීමෙන් ඔබ ශතිමත් වෙනවා" යැයි ඔහු නිතර පැවසීමයි.

මදුරෝ විදේශ රටවලින් ආහාර ආධාර ලබා ගැනීම ද ප්‍රතික්ෂේප කරයි.

ඔහු පවසන්නේ මෙම ආහාර හිඟය හා උද්ධමනය තමා සහ සමාජ වාදී ආණ්ඩුව පෙරලා දැමීම සඳහා ක්‍රියාත්මක වන "විදේශ කුමන්ත්‍රණයක්" බවයි.

මේ අතර, දැවැන්ත මානව හිමිකම් කඩකිරීම් ද වැනිසියුලාවෙන් වාර්තා වේ. රෙජීමයට විරෝධය  දක්වන්නන් පැහැරගනු ලැබීම, ඔවුනට වදහිංසා කිරීම, නඩු වලින් තොරව දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම වැනි සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි. විරෝධතා වලට ආණ්ඩුව එල්ල කල ප්‍රහාර වලින් විශාල පිරිසක් මියගොස් තිබේ.

වතිකානයේ දී අද වාර්තාකරුවන්  ඇමතූ පැද්‍රෝන්  අගරදගුරු හිමි කියා සිටියේ රදගුරු හිමිවරුන් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බවයි. තම අරමුණ ජනතාවට උදව් වීම බව එතුමා අවධාරණය කළේය. එහෙත් එතුමා කියා සිටියේ ජාතික සභාව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ජනාධිපති මදුරෝ කරන ප්‍රකාශය විශ්වාස කල නොහැකි බවයි.

මෙම හමුවේ දී රදගුරු හිමිවරු පාප් වහස්නේට ලිපිගොනු දෙකක් භාර දුන්හ. ඉන් එකක ඇතුලත් වන්නේ විරෝධතා වලට එල්ල වූ රෙජීමයේ හමුදා වල වෙඩිපහරින් මිය ගිය පුද්ගලයන් 70 දෙනෙකු ගේ පමණ විස්තරය. දෙවැන්න මේ අර්බුදය විසඳිමට කතෝලික සභාව ගන්නා ක්‍රියාමාර්ග ඇතුලත් වාර්තාවකි.

රදගුරු හිමිවරුන් ගේ ක්‍රියාමාර්ග ගැන තමන් පූර්ණ විශ්වාසය තබන බවත් ඊට සිය සම්පූර්ණ සහාය දෙන බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය