"අතීතයේ දුහුවිලි ගසා දමා නව යුගයට මුහුණ දෙමු": සුදොතුම් පියතුමාගෙන් කිතු දන පුබුදුවට ඇරැයුම්

Pope tells the Charismatics: "Leave the dust of time behind; face the new with faith in the action of the Holy Spirit!”

සුදොතුම් පියතුමන් පුබුදු ජයන්ති රාත්‍රී යැදුම් මෙහෙයට සහභාගී වෙමින්

((2017 ජුනි 6)
කතෝලික සභාව තුළත් වෙනත් කිතුනු සභා සහ නිකායන් සමගත් එක්ව යහපත් කටයුතු කිරීමේ දී ශුද්ධාත්ම ආලෝකය හා මග පෙන්වීම ඉල්ලා නිරන්තරයෙන් යාච්ඥා කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. යාච්ඥාව සහ යහපත් සේවා ඔස්සේ එක්ව ගමන් කරමින් එක්ව ඉදිරියට යද්දී  ශුද්ධාත්ම වරම් අත්‍යවශ්‍ය බව එතුමා පෙන්වා දෙයි. එසේම, ශුද්ධාත්මයාණන් එක් සභාවක හෝ කණ්ඩාමක හෝ වස්තුවක් නොව සමස්ත කිතුනු ජනතාවගේම සමිඳාණන් බව ද එතුමා අවධාරණය කරයි.

"ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ බෞතීස්මය සෑම කෙනෙකු සමගම බෙදා ගන්න. තොරක් නැතිව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. වෙනත් ක්‍රිස්තියානි සභා සහ  ප්‍රජාවන් සමග යාච්ඥාව තුළ එකමුතු වෙමිනුත් අවශ්‍යතාවලින් පෙලෙන ජනයාට සරණ වෙමිනුත් එක්ව පා නගමු....."

"ශුද්ධාත්මයානන් වහන්සේ ගේ වරප්‍රසාදය එක් පිරිසකට හෝ සමහර අයට පමණක් නොවේ. උන්වහන්සේ ගේ වරප්‍රසාදය සමස්ත සභාවටය. අප කිසිවෙකුත්  සෙසු අයගේ 'ස්වාමියා' නොවන අතර සෙසු ජනතාව අපගේ සේවකයන්  නොවන බවද මතක තබා ගනිමු.  අපි සියල්ලෝම මේ එකම වරප්‍රසාදයේ දිය දහරට සේවය කරමින් සිටිමු" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

එතුමා මේ බව කියා සිටියේ ජුනි 3 සෙනසුරාදා සන්ධ්‍යාවේ රෝමයේසුවිසල්  'සර්කුස් මාක්සිමුස්" පිටියේ පැවැති පූර්ව ශුද්ධාත්ම මංගල රාත්‍රී යැදුම් මෙහෙයේ දීය.

මෙම ශුද්ධාත්ම රැලියේ දී ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරය උපත ලැබීමේ 50 වැනි සංවත්සරය ද සැමැරිණි. මේ සඳහා ලොව පුරා රටවල් රැසකින් කිතු දන පුබුදු නියෝජිතයෝ රෝමයට පැමිණ සිටියහ. මීට අමතරව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ආරාධනයෙන් ඉවැන්ජලිකල් සහ පෙන්තකොස්ත කිතුනු නිකාය සාමාජිකයෝ රැසක් ද මෙම කිතු දන පුබුදු ස්වර්ණ ජයන්තියට හා ශුද්ධාත්ම මංගල දිනයට එක්ව සිටියහ. එම නියෝජිතයන්  මේ පූර්ව ශුද්ධාත්ම මංගල රාත්‍රී මෙහෙන් පසුව ජුනි 4 ඉරිදා සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති පෙන්තකොස්ත දින දිව්‍ය පුජාවට ද සහභාගී වීම විශේෂත්වයකි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග කිතු දන පුබුදු ව්‍යාපාරයේ නායකයෝ ද  පෙන්තකොස්ත හා ඉවැන්ජලිකල් නිකාය නායකයෝ ද වේදිකාවේ සිට ජනතාව සමග එක්ව යාච්ඥා කළහ. 

නායක පිරිස. මෙම සේයාරුවේ සුදොතුම් පියතුමාගේ  දකුණු පසින් සිටින්නේ වතිකානයේ ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරයේ සභාපති මිචෙල් මොරන්ය


මෙම රාත්‍රිය සුදොතුම් පියතුමන් හැඳින්වූයේ වරප්‍රසාදයේ  රාත්‍රියක් ලෙසයි. 
"අප එක්ව සිටින්නේ එළිමහන් විවෘත ප්‍රදේශයකයි. අප තුළ කිසිදු බියක් නැත. මන්ද අපගේ හදවත් දෙවියන් වහන්සේ ගේ පොරොන්දුවට විවෘතව පවතින නිසා ය. මෙහි සිට අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අප සියල්ලන් එක්ව ශුද්ධාත්ම දීමනා යදින නිසා මෙය විවෘත 'සේනාකුළු ශාලාවක්' ලෙස හැඳින්විය හැකි" බව ද එතුමා කීවේය.

මේ අනුව මෙය කිතුනු එකමුතුව සඳහා කටයුතු කිරීමට සුදුසුම ස්ථානයක් බව එතුමා පෙන්වා දුන්නේ ය. එම අරමුණ වෙනුවෙන් වැඩ කිරීම කිසිදා අත්  නොහරින්නැයි එතුමා ඉල්ලා සිටියේ ය. "අප ලබා ඇති වටිනාම පොදු තිළිණය බෞතීස්ම ස්නාපනයයි. දැන් ශුද්ධාත්මයාණන් විසින් මග පෙන්වනු ලබන සිත්මාරුවේ මාර්ගයේ සමස්ත කිතුනු ලෝකයම ගමන් කරමින් සිටියි."

මෙම ගමනේ දී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතරම අවශ්‍යතාවලින් පෙලෙන්නන් අප සමග කැටුව යා යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය. මෙය කිතු දන පුබුදු ව්‍යාපාරයේ ද සේවාවක් විය යුතු බව එතුමා පෙන්වා දුන්නේය. 
"දුප්පත් ජනතාවටත් රෝගී ජනතාවටත් සේවය කරන්න. සභාවත් පාප් වහන්සේත් ඔබගෙන් එය අපේක්ෂා කරයි. කතෝලික කිතු දන පුබුදු සහෝදරත්වයෙනුත්, ඔබ සම දෙනාගෙනුත් සභාව මෙය බලාපොරොත්තු වෙයි. මන්ද ඔබ සියල්ලන් මේ වරප්‍රසාදයේ ධාරාවට ඇතුළු වී සිටින නිසාය."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය