"අපි ඔබට ආදරෙයි ...." - බ්‍රිතාන්‍ය රදගුරු හිමි අන්තවාදී ත්‍රස්තවාදීන්ට යැවූ සෙනෙහසේ පණිවිඩය

"You are Loved" - British Coptic Bishop tells terrorists

 

(2017 ජුනි 5)
වෛරය වෛරයෙන්ම හා ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන් ම මර්දනය කළ යුතු බව කියමින් දත්මිටි කන මේ කාලයේ "මම ඔබට ආදරය කරනවා" යැයි ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීනට කියන කෙනෙක් සිටින බව ඔබ විශ්වාස කරනවා ද? එහෙම කෙනෙක් සිටියි. ඔහු කිතුණුවෙක්. ඔහු කොප්ටික කිතුනු පූජකවරයෙක්. ඔහු නම් මහා බ්‍රිතාන්‍යයේ කොප්ටික ඕතඩොක්ස් සභාවේ ප්‍රධාන රදගුරු අති උතුම් අන්ජෙලෝස් රදගුරු හිමිපාණෝයි.

අන්ජෙලෝස් රදගුරු හිමිපාණන් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන් ද දෙවියන් වහන්සේ ගේ සමානත්වයට මවනු ලබා සිටින බවයි. අතිශය කුරිරු හා නපුරු ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් පවා මානවයන් ලෙස ප්‍රේම කරනු ලැබීමට සුදුසුකම් තිබෙන බවද එතුමා අවධාරණය කරයි.

අන්ජෙලෝස් රදගුරු හිමි

අන්ජෙලෝස් රදගුරු හිමි මේ බව ප්‍රකාශ කරන්නේ ඉකුත්දා ලන්ඩනයේ ඓතිහාසික "ලන්ඩන් බ්‍රිජ්" අසල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි. ලන්ඩන් බ්‍රිජ් ඓතිහාසික දර්ශනීය පාලම මත සහ ඒ අන්තයේ පිහිටි වෙළෙඳපොල තුළ එල්ල කෙරුණු අන්තවාදීන් ගේ මෙම ප්‍රහාරයෙන් 9 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුහ. මෙම සිද්ධියේදී ද බ්‍රිතාන්‍ය වැසියන් වාර්ගික හැඟීම් වලින් ප්‍රකෝප නොවී ප්‍රඥාවන්ත ලෙස මෙම අර්බුදයට මුහුණ දෙන බව පෙනෙන්නට තිබිණි. එහෙත් මෙම තත්වය සිය ප්‍රයෝජනයට ගත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් සිය මුස්ලිම් විරෝධය තහවුරු කර ගැනීමට එය යොදා ගනිමින් සිටියි.

මේ පසුබිම තුළ  රදගුරු හිමියන් ගේ මෙම පණිවිඩය වෛරය අවෛරයේ සිසිල් දියෙන් නිවන්නට කරන ඇරැයුමකි. එසේම, අවිශ්වාසිකයනට වෛර කොට ඔවුන් මරා දමන ලෙස සිය අනුගාමිකයනට නියෝග කරන දෙවි කෙනෙකු වෙනුවට, "ඔබට ආදරය කරන දෙවියන් වහන්සේ ,ඒ ආදරය නිසා මේ කුරිරු ක්‍රියා වෙනුවට ඉතා විශිෂ්ට දෑ කිරීමට ඔබ මේ මිහිතලය මත තබා ඇතැ"යි හිංසාවාදීනට පෙන්වා දෙන දයාබර උපදේශයකි.

එම පණිවිඩයේ අන්ජෙලෝස් ප්‍රධාන රදගුරු හිමි මෙසේ කියයි:

"ඔබ ආදරය කරනු ලබති. ඔබ සිදුකරන ප්‍රචණ්ඩ සහ කුරිරු අපරාධ පිළිකුල්සහගත සහ නින්දිත වන නමුදු ඔබ ප්‍රේම කරනු ලබති.

ඔබගේ මැවුම්කරුවාණන් වන දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරති. මන්ද උන්වහන්සේ ස්වකීය සමානත්වයට හා ප්‍රතිරූපයට ඔබ මවා මේ මිහිතලයේ ඔබ තබා ඇත්තේ, සමස්ත මානව වර්ගයා කෙරෙහි උන්වහන්සේ ගේ සැලැස්මට අනුව ඔබ මීට වඩා ශ්‍රේෂ්ඨ දේ කරනු පිණිසය. මා ද මා මෙන් තවත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ද ඔබට ආදරය  කරති. එසේ කරන්නේ ඔබ දැන් කරන දේ නිසා නොව, දෙවියන් වහන්සේ ගේ ඒ විශිෂ්ට මැවිල්ල ලෙස ඔබට කළ හැකි දේ වෙනුවෙනි. 

මා සහ දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඔබට ප්‍රේම කරති. මන්ද අප සියලු දෙනා
සිත් පරිවර්තනය නොහොත් සිත්මාරුව පිළිබඳව විශ්වාස කරන නිසාය. ක්‍රිස්තියානි ජනතාව සිත් පරිවර්තනය කෙරෙහි විශ්වාස කරති. ක්‍රිස්තුන් වහන්සේට වද  හිංසා කළ තැනැත්තන්  පවා දේව වරප්‍රසාදී ජීවිතයකට ඇතුළු වී තිබේ" යැයි අන්ජෙලෝස් රදගුරු තුමා කියයි.

"කිතුනු අප සිත් පරිවර්තනය කෙරෙහි විශ්වාස කරන්නේ අප දිනපතාම මානව දුර්වලකමේ සහ පාපයේ ජීවිතයෙන් බලවත්කමේ සහ දැහැමියාවේ ජීවිතයකට පෞද්ගලිකව පරිවර්තනය කරනු ලබමින් සිටින නිසා ය. සිත් පරිවර්තනය කෙරෙහි කිතුනු අප විශ්වාස කරන්නේ මානව සංහතිය පාපයේ සහ මරණයේ බැමි වලින් මුදා ගෙන යහපත්කමේ සහ සදාතනික  ජීවිතයේ විමුක්තිය වෙත ගෙනයාම, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසියේ සහ උත්ථානයේ සමස්ත පණිවිඩය වන නිසාය. 

මෙම පණිවිඩය ජනතාව අපේක්ෂා කරන ප්‍රතිචාරයට වඩා බොහෝ සෙයින් වෙනස් එකක් වන්නට පුළුවන. එහෙත් ක්‍රිස්තියානි පණිවිඩයේ හරය මෙයයි." යයි රදගුරු තුමා අවධාරණය කරයි.

අන්තවාදී අදහස් වලට ගොදුරු වී ශෝචනීය ලෙස ජීවිතය අවසන් කරන තරුණයන් ගැන තමා කනගාටු වන බව ද අන්ජෙලෝස් රදගුරු තුමා කියයි. කිසිදු පවුලකට මේ ආකාරයෙන් සිය පුතුන් අහිමි නොවිය යුතු බව එතුමා මහත් සෙනෙහසින් පෙන්වා දෙයි:
"තමා බඳු වෙනත් තරුණ තරුණියන් ගේ ජීවිත විනාශ කිරීම යුක්තිසහගත, කීර්තිමත් සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස තේරුම් ගෙන ඇති තරුණයන් ගැන මම මහත් සේ ශෝකයට පත්ව සිටිමි. කිසිදු පවුලකට සිය පුතුන් මේ ආකාරයෙන් අහිමි නොවිය යුතුය. මෙම සාවද්‍ය න්‍යායවාදයට මේ තරුණ පුතුන් සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ වගකිව යුතු වූවත් කිසිදු පවුලකට ඔවුන් මේ ආකාරයෙන් අහිමි විය යුතු නැත" යි එතුමා අවධාරණය කරයි.

"මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ එසේ කරන තැනැත්තන් තුළ ජීවිතයේ ශුද්ධවන්තභාවය පිලිබඳව අවබෝධයක් නොමැති බැවිනි."

මෙම පණිවිඩය හුදෙක් කියවා නිහඬ නොවන ලෙස අන්ජෙලෝස් රදගුරු හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි හිංසා ක්‍රියාවලට පෙළඹෙන තැනැත්තන් ගේ සිත් මාරුව සඳහා මෙම පණිවිඩය සන්නිවේදනය කිරීම වැදගත් බව එතුමා පෙන්වා දෙයි.
"වැදගත් වන්නේ මෙම පණිවිඩය කියවීම නොවේ; එය සන්නිවේදනය කිරීමය. වැදගත් වන්නේ මෙම පණිවිඩය පිළිගැනීම නොවේ, එය තවත් දෘෂ්ටිකෝණයක් ලෙස අවබෝධ කර ගැනීමය; වැදගත් වන්නේ මෙම පණිවිඩය සම්පූර්ණයෙන් වැළඳගත යුතු යැයි සිතීම නොව,ජනතාවට  හිංසා කොට වේදනාවට පත්කිරීමේ අදහසින් කටයුතු කරන්නන් තුළ ඔවුන් ගේ එම ක්‍රියාව ගැන අවම වශයෙන් සැකයේ සේයාවක් වත් ජනිත කිරීම යැ"යි සිය පණිවිඩය අවසන් කරමින් රදගුරු තුමා කියයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය