"භේදය ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන්නක් නොවේ; උන්වහන්සේ විවිධත්වය තුළ ඒකත්වයේ මැවුම්කාරයානෝ යි" - පෙන්තකොස්ත දින දිව්‍ය පූජාවේ දේශනය

"Holy Spirit is the creator of Unity in Diversity and vise-versa": Pope on Pentecost


(2017 ජුනි 5)
ශුද්ධාත්මයාණන් රැගෙන එන්නේ "විවිධත්වය තුළ ඒකත්වයත්" "ඒකත්වය තුළ විවිධත්වයත්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. භේදය ශුද්ධාත්මයාණන්ගෙන් නොපැමිණෙන් බව එතුමා අවධාරණය කරයි. "විවිධත්වයෙන් තොර ඒකත්වයේ" සහ "එකත්වයෙන් තොර විවිධත්වයේ" දුර්පරීක්ෂාවෙන් මිදෙන්නැයි එතුමා සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ජුනි 4 වැනිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති ශුද්ධාත්ම ආගමන මහා මංගල්‍ය දින දිව්‍ය පුජාවේ ධර්ම දේශනය කරමිනි. මෙදින මෙම මංගල්‍යය සමගම, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රසාද ස්නාපනය පිළිගන්නා ඉවැන්ජලිකල් කිතුනු සභා නියෝජිතයන් ගේ ද සහභාගීත්වයෙන්  ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරයේ 50 වැනි සංවත්සරය ද සැමරිණි.  කිතු දන පුබුදුව කතෝලික සභාවේ ශුද්ධාත්ම කේන්ද්‍රීය ගිහි ව්‍යාපාරයයි.

මෙම මංගල්‍ය දිව්‍ය භෝජන මෙහෙයට 60,000ක පමණ ජනතාවක් සහභාගී වූ බව වතිකාන ආරංචි මාර්ග කියයි. වලාකුළුවලින් තොර නිල් අහසක් හා මදනල සහිත පැහැබර කාලගුණයක් රෝමය පුරා ඊයේ  (ජුනි 4) පැවැතින.

සුදොතුම් පියතුමන් ගේ ශුද්ධාත්ම දින ධර්ම දේශනයේ තේමාව වූයේ සියලු කිතුනුවන් ගේ "එකම මෑණියන්" හා "එකම  ගෙදර" වන සභාවේ ඒකත්වය තුළ පැවතිය යුතු විවධත්වය හා විවිධත්වය තුළ පැවැතිය යුතු ඒකත්වයයි.  විවිධ වූ ශුද්ධාත්ම දීමනා හා වරම් මගින් සභාවේ විවිධ සාමාජිකයන් දේව වචනය පැතිර වීමටත් යහපත් කිතුනු ජීවිත ගත කිරීමටත් ගන්නා ප්‍රයත්න අගය කල යුතු අතර අනෙක් පැත්තෙන් සභාව තුළ  තවත් ස්වාධීන සභා ඇතිකර ගැනීමේ දුර්පරීක්ෂාවෙන් ඉවත් වීම ද වැදගත් බව එතුමා මෙහිදී පැහැදිලි කළේය. විවිධත්වයත් ඒකත්වයත් සහිතව සභාව හැඩගස්වන්නෝ ශුද්ධාත්මයානෝය. මේ නිසා භේදයට තුඩු දෙන දුර්පරීක්ෂාවෙන් ජයගැනීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඥා කල යුතුය යන්න එම දේශනාවේ සාරාංශයයි.

"සෑම කාලයකම හා සෑම ස්ථානයකම වෙනස් කරිස්මාවන් හා වරප්‍රසාද  ලබාදෙමින් පෝෂණය කරන ශුද්ධාත්මයාණෝ විවිධත්වය තුළ ඒකත්වය උපදවන සේක. උන්වහන්සේ එය සිදු කරන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුව සැබෑ එක්සත්බවක්  ගොඩනැගෙන ආකාරයෙනි. මෙම එක්සත්කම  ඒකාකාරබවක්  නොහොත් සමානත්වයක් නොව, වෙනස් කම් තුළ එක්සත් කමකි" යැයි මෙදින සුබ අස්න සහ දේව ප්‍රකාශන පැහැදිලි කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"එහෙත් මෙම වරප්‍රසාද ලබා ගැනීම සඳහා අප විසින් වැළැකිය යුතු දුර්පරීක්ෂා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ඒකත්වයෙන් තොර විවිධත්වයක් කරා යාමට ඇතිවන දුර්පරීක්ෂාවයි. මෙය සිදු වන්නේ අප එකිනෙක පැති අල්ලා ගැනීමට හෝ අපගේම ක්‍රමවේදයනට කොටුවීමට උත්සාහ කරද්දීය. නැතහොත් ඇතැම්විට 'අප අනෙක් අයට වඩා හොඳයි' හෝ 'සෑමවිටම  අපම තමයි හරි' යන ආකල්පයෙන් කටයුතු කරද්දීය. මෙසේ  සිදු වූ විට අප තෝරාගන්නේ සම්පූර්ණ දේ නොව එක් කොටසක් පමණි. අප අයත් වීමට උත්සාහ කරන්නේ සභාවට වඩා එක් කණ්ඩායමකට ය. එසේ වූ විට  සිදුවන්නේ එක් ආත්මයාණන් වහන්සේ තුළ සහෝදර  සහෝදරියන් කැලක් වනු වෙනුවට අප එක් පාර්ශවයක ආධාරකරුවන් පිරිසක් බවට පත්වීමය; ජේසු සමිඳුන් ගේ පැත්තේ සිටිනු වෙනුවට  අප 'දකුණේ' හෝ 'වමේ' කිතුනුවන් බවට පත්වීමයැ" යි  එතුමා විස්තර කළේය.

දෙවැනි දුර්පරීක්ෂාව මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එනම් විවිධත්වයෙන් තොර ඒකත්වයක් සෙවීමට උත්සාහ කිරීමයි. මේ නිසා  ඒකත්වය, ඒකරූපතාවක් නොහොත් ඒකාකාරත්වයක් බවට පත්වෙයි. එනම් 'සෑම කෙනෙකුම සෑම විටම එක සමානව සිතිය යුතුයි; සෑම දෙයක් ම එකට එක වගේ කළ යුතුයි" යන සිතිවිල්ල බව එතුමා පැහැදිලි කළේය.


"මෙවැනි එක්සත්කමක් විසින් නිදහස අහිමි කරයි. එහෙත් ශු. පාවුළු තුමා පෙන්වා දෙන්නේ 'ස්වාමීන් වහන්සේ ගේ ආත්මයාණන් වැඩ වසන තැන නිදහස ඇති බව' ය. (2 කොරෙ. 3:17) . එබැවින් ශුද්ධාත්මයානන්ට කරන යැදුමේ දී අප ඉල්ලා සිටින්නේ මෙම එක්සත් කම, ඒකත්වය අපට ලබා දෙන ලෙසයි. අපගේ පෞද්ගලික මනාපයන්, අභිරුචීන් ඉවත දමා උන්වහන්සේ ගේ සභාවේ, එනම්  අපගේ සභාවේ ප්‍රේමය වැළඳගැනීමට වරම් දෙන ලෙසයි. මේ යාච්ඥාව මගින් සියල්ලන් අතර එක්සත්කම වෙනුවෙන් වගකීම භාර ගැනීමටත්   විසංවාදයේ වල්පැලෑටියත් වෛරයේ විෂත් වපුරන ඕපාදුප මුලිනුපුටා දැමීමටත් අපට හැකිවේ. මන්ද සභාවේ මිනිසුන් හා කාන්තාවන් යනු සහභාගීත්වයේ  මිනිසුන් හා කාන්තාවෝ යැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. 

ශුද්ධාත්මයානන් තුළ සභාව යනු අපගේ පෙම්බර ගෙදර හා පෙම්බර මෑණියන් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය:

"ශුද්ධ වූ සභාව අපගේ අම්මා සහ අපගේ ගෙදර බව දැනෙන හදවතක් අපට දෙන ලෙසත්  අපි යාච්ඥා කරමු. එසේම සභාව ශුද්ධාත්මයානන් ගේ බහුවිධ ප්‍රීතිය බෙදාගන්නා විවෘත සහ ආදරයෙන් පිළිගන්නා ගෙදරක් වන ලෙසද අපි යදිමු. 






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය