සුබ උපන් දිනයක් ක්‍රිස්තු සභාව: පෙන්තකෝස්ත දිනයේ සුල මුල

Happy Birthday, Church!


(2017 ජුනි 3)
ඔබ අවදිවන්නේ පෙන්තකෝස්ත මංගල්‍ය දිනයටයි. එනම් ශුද්ධාත්ම මංගල්‍ය දිනයටයි. මේ ශුද්ධවන්ත මහා මංගල දිනය සැලැකෙන්නේ ක්‍රිස්තු සභාවේ උපන් දිනය ලෙසයි. කුමක්ද පෙන්තකෝස්ත දිනය? මේ ඒ පිලිබඳ විමසුමකි.

පැරැණි ගිවිසුම 
"පෙන්තකෝස්ත" මංගල්‍යය මුලින්ම සම්බන්ධ වූයේ පුරාණ ගිවිසුම පාදක කරගත් ජුදා ආගමටය. මෙය ජුදෙව් නිවාඩු දිනයකි. "ශාවූ'ඔත්" යනුවෙන් හැඳින්වෙන මෙම දිනය යෙදෙන්නේ පාස්කු මංගල්‍යයෙන් පසු 50 වැනි දිනයේය. (පාස්කු මංගල්‍යය යනු ජුදෙව්වන්ගේ "Passover" මංගල්‍යයයි. එනම් දෙවියන් වහන්සේ ජුදෙව්වන් ඊජිප්තුවේ වහල්බවින් මුදාගත් දා රාත්‍රියේ දෙවියන් වහන්සේගේ දූතයා මිසරයේ නිවෙස් "පසුකරයාමේ" මංගල්‍යයයි.)

අතීතයේ දී පෙන්තකෝස්තය ජුදෙව්වන් ගේ අස්වනු මංගල්‍යය වී තිබිණි. දැන් මේ මංගල්‍යයේ දී සිහිකෙරෙන්නේ දෙවියන් වහන්සේ සීනායි කඳු මුදුනේ දී මොසස්තුමාට "පුරාණ ගිවිසුම", එනම් දස පනත දීමේ අවස්ථාවයි. මෙම නීතිය ජුදෙව් දහමේ හැඳින්වෙන්නේ ටෝරාව යනුවෙනි. සෑම වසරකම පෙන්තකෝස්ත දිනයේදී ජුදෙව්වෝ  දෙවියන් වහන්සේ දුන් මෙම තිළිණයට තමන්ගේ පක්ෂපාති බව ශපථ කරති.

නව ගිවිසුම
නව ගිවිසුමේ පෙන්තකෝස්තය යෙදෙන්නේ ජේසු සමිඳුන් ගේ උකුත්වීමෙන් හා උත්ථානයෙන් පසු 50 වැනි දිනය. එසේම උන්වහන්සේ ගේ ස්වර්ගාරෝහණයෙන් පසු 10 වැනි දිනය. එම දිනය යෙදෙන්නේ ජුදෙව් පෙන්තකෝස්ත දිනයට සමාන්තරව ය.
කතෝලිකයන් "නුවානය" හෙවත් නව දින ධ්‍යානය යනුවෙන් හඳුන්වන දැහැනේ උපත ද මේ මංගල්‍යයට සම්බන්ධ වේ. ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහණයෙන් පසු දේව මාතාවහන්සේ සහ අපොස්තුලුවරු 'ඉහළ මාලයේ කාමරය' හෙවත් සේනාකුළු කාමරයට රැස්ව දින නවයක් පුරා යාච්ඥා කරමින් සිටියහ. ශුද්ධාත්මයාණන් ඔඅවුන් මත වැඩම කලේ දස වන දිනයේය.

ශුද්ධාත්ම මංගල්‍ය දා 
කිතුනු සම්ප්‍රදායට හා නව ගිව්සුමට අනුව පෙන්තකොස්ත දිනයේ උත්සවාකාරයෙන් සැමරෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ අපොස්තුළුවරුන් හා මරිය මෑණියන් මත වැඩම කිරීමේ අවස්ථාවයි.

ඔවුන් දොරගුළුලාගෙන සිටි කාමරය හදිසියේම  "ප්‍රබල, ජවසම්පන්න" මාරුතයකින් පිරිණු බව අපොස්තුලුවරුන් ගේ ක්‍රියා පොත පවසයි. ඒ සමගම ඔවුන් එකිනෙකා ගේ හිස් මත ගිණි දිව් පිහිටනු ඔවුහු දුටුහ. මෙතෙක් ඔවුන් වෙලාගෙන තිබූ බියගුළු බව පහව ගියේය. තමන් අන්‍ය භාෂාවලින් කතා කරන බව ද ඔවුන්ට පෙනී ගියේය. තමන් තුළ මහා බලයක් අත්දුටු ඔව්හු ඒ බලයත් සමග දේව මාලිගාවට ගියහ. ඒ වනවිට පෙන්තකෝස්ත මංගල්‍යය සඳහා ලොව විවිධ රටවලින් ජෙරුසලෙමට පැමිණි ජුදෙව් සහ වෙනත් ජනයාගෙන් එම ප්‍රදේශය පිරී තිබුනේය.

උපන් දිනය: සුබ උපන් දිනයක් ක්‍රිස්තු සභාව!
ඒ ජනතාව මධ්‍යයට පැමිණි පේදුරු අපෝස්තුළු තුමන්  සිය ස්වාමියාණන් වන ක්‍රිස්තුන් වහන්සේ පිලිබඳ පළමු වන දේශනය කලේ මෙදිනය. එතුමා ශුද්ධාත්මයානන් ගෙන් පූර්ණව ජුදෙව්වන් හා එම දහම විශ්වාස නොකරන්නන් ඉදිරියේ  ශුද්ධ ලියවිල්ල දිග හරිමින්, ජුදෙව්වන් විසින් කුරුසියේ ඇණගසා මරාදමන ලද නමුත් තුන්වන දිනයේ මරු පරදා උත්ථාන වූ  ක්‍රිස්තුන් වහන්සේ දේව පුත්‍රයාණන් බවත් විමුක්තිය ලබාගත හැක්කේ උන්වහන්සේ තුළින් පමණක් බවත් පැහැදිලි කර දුන්නේය.

මෙම දේශනය ඔවුන්ගේ 'සිත් තුළට කා වැදුණු' බව ක්‍රියා පොත සඳහන් කරයි.මේ නිසා, "ඉතින් අප කුමක් කළ යුතුද" යැයි එහි සිටි විවිධ පළාත්වලින් පැමිණි ජනයා විමසූහ. "පව් වලට පශ්චාත්තාප වී, ප්‍රසාද ස්නාපනය ලබා ක්‍රිස්තුන් වහන්සේ පිළිගන්න"  එතුමා පිළිතුරු දුන්නේ ය.

පේදුරු තුමන් ගේ මෙම දේශනයෙන් පසුව 3000ක් දෙනා ප්‍රසාද ස්නාපනය ලබා ක්‍රිස්තුන් වහන්සේ අදහා ගත්හ. හිංසාවට ලක්වන සිරියාවේ නූතන කිතුනුවෝ මෙලෙස ප්‍රථම වරට ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් ජනයාගෙන් පැවතෙන්නෝ වෙති.

පෙන්තකෝස්ත මංගල්‍යය සභාවේ උපන් දිනය ලෙස සැලකෙන්නේ මේ නිසාය. ප්‍රථම පාප් වහන්සේ වූ පේදුරු  තුමා ප්‍රට්මවරට දේශනා කරයි. එතුමන් ගේ ධර්මදේශනය හමුවේ දහස් සංඛ්‍යාත ජනතාවක් ජේසු සමිඳුන් අනුගාමී වෙති.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය