ඩාජීලිං හි වෙනම "ගොර්ඛාලන්තයක්" සඳහා කරන ඉල්ලීමට කතෝලික සභාවේ සහය

Church expresses support for separate Gorkha homeland 


(2016 ජුනි 24)
ජනතාවක් දුක් පීඩා විඳින විට කතෝලිකයනට හෝ කතෝලික නායකත්වයට ඉවත බලාගෙන සිටිය නොහැකිය. නොහොත් නොදැක්කා සේ සිටිමින් සිය එදිනෙදා ආගමික කටයුතු සහ (ඇතැම් අයගේ  'ව්‍යාපාරික" කටයුතු) ඉටුකරමින් දවස් හැරිය  නොහැකිය. දුක් විඳින "ලාසරස්ලා" මෙන්ම , කුසගින්නෙන්, පිපාසයෙන් සිටින,  අයුතු ලෙස සමාජයෙන් බැහැර කිරීම නිසා තනිව හුදෙකලාව සිටින,අයුක්ති  සහගත පීඩනයට හා අයිතිවාසිකම් පැහැර ගනු ලැබීමට ලක්ව සිටින, වයස්ගතව, රෝගීව සිටින, ,මංකොල්ල කරුවන්' ගේ පහර කෑමට ලක්ව සිටින ජනතාව තුළ දුක් විඳින ජේසු සමිඳුන් දැක උන්වහන්සේට උපස්ථාන කිරීම හෝ උපකාර කිරීම කතෝලිකයා ගේ යුතුකමකි. වගකීමකි. සැබෑ ක්‍රිස්තියානි කම එයය.

මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබඳ සංකල්පයේ කතෝලික පදනම වන කතෝලික සමාජ ධර්මයේ හරය එයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලය ආරම්භයේ සිටම සභාව තුළ ඇතිකරන්නට උත්සාහ කරන පරිවර්තනය  එයයි.

කතෝලික සභාවේ නායකත්වය වන රදගුරු-පූජක පිරිස සැලැකෙන්නේ ජේසු සමිඳුන් ගේ 'බැටළු රැල' වන විශ්වාසයේ ජනතාව ආරක්ෂා කර, පෝෂණය කර, මග පෙන්වන 'බැටළු එඬේරුන්' ලෙසය.

"එඬේරුන් තුළින් වහනය විය යුත්තේ බැටළුවන් ගේ සුවඳයි" යයි පූජාත්වර සක්‍රමේන්තුව ස්ථාපනය කිරීමේ මංගල්‍යය වන මහ බ්‍රහස්පතිදා දිනකදී ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා කීවේය. එසේම "පූජකවරුන් සිය සුව පහසු කලාපයෙන් පිටතට විත් වීදි වලට පිවිස තුවාල වූ තනිවූ බැලුවන් සොයා යා යුතු" යැයි එතුමා තවත් මහ බ්‍රහස්පතින්දා දිනෙක කීවේය.

රදගුරු-පූජක පිරිස් මෙවැනි "අභීත එඬේරුන්" වන්නට නම් ඔවුන් තුළ ලක්ෂණ දෙකක් පිහිටිය යුතුය.

ඔවුන් සිය ස්වාමියාණන් වන ක්‍රිස්තුන් වහන්සේ තුළ පමණක් තදින් නැංගුරම් ලාගෙන, උන්වහන්සේට පමණක් ප්‍රේමකරමින්, උන්වහන්සේට පමණක් පක්ෂපාතී වෙමින්, උන්වහන්සේ පමණක් ම විශ්වාස කල යුතුය. දෙවැන්න ඔවුන් තම කීර්තිය, තනතුරු , ලාබ අපේක්ෂා සියල්ල පසෙක ලා ජනතාවට ප්‍රේම කල යුතුය. ජනතාව ගේ දුක ඔවුන් ගේ දුක විය යුතුය. ජනතාවගේ පීඩනය රදගුරු-පුජක පිරිස්වල පීඩනය විය යුතුය. ජනතා කඳුළු ඔවුන්ගේ කඳුළු විය යුතුය. "එඬේරුන් තුළ තිබිය යුතු බැටළුවන් ගේ සුවඳ" එයයි.

එවැනි එඬේරෙකු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් වසරේ භාග්‍යවරයට එසවුයේය. එනම් භා. ඔස්කා රොමෙරෝ රදගුරු තුමායි.

මේ දිග පූර්විකාව ලිව්වේ දැන් අපේ අසල්වාසියේද "බැටලුවන්ගේ සුවඳ හමන එඬේරුන්" පිරිසක් සිටින බව කියන්නටය.

මේ එඬේරුන් නම් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඩාජීලිං දිස්ත්‍රික්කයේ පූජක පිරිස සහ රදගුරු තුමා ය.

තමන් වෙනුවෙන් වෙන්වූ  ස්වයං පාලන අයිතිය ඉල්ලා හඬනගන නැගෙනහිර දිග ඉන්දියාවේ ඩාජිලිං දිස්ත්‍රික්කයේ ගොර්ඛා ජනතාවට සිය සහයෝගය පළකරණ බව එම පළාතේ කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ.

තමන්ට වෙන්වූ ස්වයං පාලන ප්‍රදේශයක් (ගොර්ඛාලන්තය)  ලබා දෙන තෙක් ගොර්ඛා ජන්මුක්ති මොර්චා සංවිධානය ජුනි 8 වැනිදා සිට දින නියමයක් නොමැති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. විරෝධතා පෙළපාලි, පොලිසිය විසින් පෙලපාලිකරුවනට ගල් මුල් වලින් දමා ගැසීම සහ දෙපාර්ශවය අතරම ප්‍රචණ්ඩ සිදුවීම් ජුනි 12 වනදා සිට වර්ධනය වෙමින් තිබේ. මෙම සිද්ධි වලදී පුද්ගලයන් තුන් දෙනෙකු  මිය ගෙස් ඇත.

"කතෝලික සභාව මේ විරෝධතාවට ඍජු සම්බන්ධයක් නැහැ. එහෙත් සභාව ජනතාව සමග සිටිනවා" යයි ඩාජිලිං හි රදගුරු ස්ටීවන් ලෙප්චා රදගුරු තුමා යුකාන් ප්‍රවෘත්ති සේවයට පැවසුවේය. යුකාන් ප්‍රවෘත්ති සේවාව ආසියාවේ  කතෝලික ප්‍රවෘත්ති සේවාවයි. "මේ ප්‍රදේශයේ ජනතාව ස්වයං පාලන අයිතිය ඉල්ලා සිටින්නේ ප්‍රදේශය අයත් බටහිර බෙංගාල ප්‍රාන්ත ආණ්ඩුව එම ජනතාවගේ අවශ්‍යතා නොසලකා හරින නිසා" යි එතුමා විස්තර කළේය.

ගොර්ඛාවරුන් ජීවත් වන්නේ බටහිර බෙංගාලයේ කඳුකර ප්‍රදේශයේය. භාෂා හා සංස්කෘතික වශයෙන් වෙනම අනන්‍යතාවක් සහිත මෙම ප්‍රදේශය සංවර්ධන කටයුතු වලදීද නොසලකා හැර තිබිණ. මේ හේතුවෙන් 1986-88 සමයේ හටගත් සන්නද්ධ අරගලය නිසා 1200ක පමණ පිරිසක් මිය ගියහ.

මෙම තත්වය විසඳීමේ අරමුණින් බටහිර බෙංගාල ප්‍රාන්ත රජය 1988 දී ඩාජීලිං ගොර්ඛා කඳුකර සභාව පිහිටුවූයේය. මෙය ඩාජීලිං ප්‍රදේශය පාලනය කිරීම සඳහා පිහිටුවන ලද අර්ධ-ස්වාධීන පළාත් ආණ්ඩු සභාවක් විය. එහෙත් ගොර්ඛා ජනතාවගේ සංවර්ධන හා දේශපාලන අවශ්‍යතා අනුව එම පළාත පාලනය කිරීමට මෙම පළාත් ආණ්ඩුවට හැකියාව ලැබුනේ නැත. ඊට හේතුව සියලු කටයුතු බටහිර බෙංගාල ප්‍රාන්ත ආණ්ඩුව විසින් පාලනය කරනු ලැබීමයි.

"නිදහසක් හෝ ස්වාධීනත්වයක් නොතිබූ නිසා ජනතාවගේ සුබ සාධන කටයුතු ඉටුකිරීමට ද මෙම සභාව සමත් වූයේ නැහැ" ස්ටීවන් ලෙප්චා රදගුරු තුමා පෙන්වා දුන්නේ ය.

"මෙම අර්බුදය යළිත් දරුණු වෙමින් තිබෙනවා. මන්ද ආණ්ඩුව මෙම කඳුකර ප්‍රදේශයේ කිසිදු සංවර්ධන කටයුත්තකට සහාය දෙන්නේ නැහැ. ජනතාව විවිධ ප්‍රශ්න වලින් දුක් විඳිනවා. විරැකියාව හා දුප්පත්කම ඒ අතරින් ප්‍රධානම ප්‍රශ්නයි" එතුමා විස්තර කළේය.

ස්වයං පාලනය සහිත ගොර්ඛාලන්තයක් සඳහා වන ඉල්ලීම අව්‍යාජ එකක් බව ලෙප්චා රදගුරු තුමා කියා සිටියේය. "මේ මගින් සිය  සංස්කෘතිය ආරක්ෂා කරගන්නා අතර අර්බුදකාරී ආර්ථික සංවර්ධනය ද සපුරා ගැනීමට මෙම ජනතාවට හැකි වනු ඇති. මේ නිසා තත්වය තවත් දරුණු වීමට පෙර රජය හා ගොර්ඛා ජනතාව සාකච්ඡා ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි" යි එතුමා සඳහන් කළේය.

වැඩ වර්ජනය තව දුරටත් දිග්ගැස්සුනහොත් එයින් ද පීඩාවට පත් වන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාව බව ඩාජීලිං හි ජේසු නිකායික ප්‍රාදේශාධිපති කින්ලි ට්ෂෙලින් පියතුමා කීවේය. ඩාජීලිං ප්‍රදේශයේ දැනටමත් ආහාර හිඟයක් පවතියි. වැඩ වර්ජනය හේතුවෙන් ආහාර රැගත් ලොරි රථ ප්‍රදේශයට නොපැමිණීම හා මාර්ග වලට බාධා වීම නිසා නව ආහාර සැපැයුම් ලැබීම ඇණහිටින තත්වයට පැමිණ තිබේ. ජනතාවට ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වුවහොත් විරෝධතා  දරුණු අතට හැරීමට ඉඩ තිබේ.

ජනතාව දුකටත් පීඩනයටත් පත්ව සිටිනවා. මේ තත්වය තුළ අපට (ආගමික නායකයනට) ඔවුන්ගේ  වගකීම් වලින් පලායන්නට බැහැ. ජනතාව වෙනුවෙන් අප යාච්ඥා කරන අතර අපගේ සහයෝගය ඔවුන්ට ලබා දෙනවා" එතුමා අවධාරණය කළේය.

ඩාජීලිං දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් බහුතරය,එනම් 75%ක්  හින්දු භක්තිකයෝ වෙති. (2011 සංඛ්‍යා ලේඛන වලට අනුව) 11%ක් බෞද්ධයන් වන අතර කිතුනු සහ මුස්ලිම් ජනතාව සැලකෙන්නේ එම ප්‍රදේශයේ සුලුතරයන් ලෙසයි. එම ආගමික ප්‍රතිශතය පිළිවෙළින් 7% ක් සහ 5% කි.

නේපාල සහ ඉංග්‍රීසි, ඩාජීලිං ජනයා කතා කරන  ප්‍රධාන භාෂායි. හින්දි සහ බෙංගාලි භාෂා කතා කරන්නෝ ද ඒ අතර වෙති. ඩාජීලිංහි සියලුම පාසල්වල බෙංගාලි බස ඉගැන්වීම අනිවාර්ය කිරීමට ප්‍රාන්ත රජය මෑතකදී ගත් තීරණය ද වෙනම පාලනයක් සඳහා වූ අරගලය උග්‍ර කිරීමට හේතු විය.




 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය