දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාව: ප්‍රේමයේ ත්‍රිත්වයික භාවාර්ථීය සම්බන්ධතාව

The Mystery of God's identity- Pope's Angelus meditation


(2017 ජුනි 11)
අද (ජුනි 11 ) ශුද්ධවූ ත්‍රිත්වයේ අති ගාම්භීර මංගල්‍ය දිනයයි.
මෙය පදනම් කරගනිමින් අද දහවල් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා යැදුමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය භාවනාවට පදනම් කරගත්තේ "දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාවයේ අබිරහසයි". ත්‍රිපුද්ගල ඒක දෙවි ප්‍රේමය, සහභාගීත්වය සහ සම්බන්ධතාවය අද  ඉරිදා ශුද්ධ ලියවිලි පාඨවලින් හෙළිදරව් වන දයා කරුණාබර දෙවියන් වහන්සේ ගේ අනන්‍යතාව බව එතුමා පෙන්වා දුන්නේය.

අද දෙවැනි දේව ප්‍රකාශනයේ එන පරිදි ශු. පාවුළු තුමා කොරින්තිවරුනට ලියූ දෙවැනි හසුනේ ඔවුනට සුබ පතන්නේ "අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් ගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් ගේ සාංඝිකත්වයත් ඔබ සමග වේවා" යනුවෙනි.

"මෙම ආශිංසනය කිරීමට ශු පාවුළු තුමන් පෙළඹවූයේ  දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය පිළිබඳව එතුමන් තුළ  වූ අත්දැකීමයි" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "කිතුනු ප්‍රජාව තුළ ඇති දුර්වලතා සහ සීමා නොතකා ශුද්ධවූ ත්‍රිත්වයේ සහභාගිකමේ, යහපත්කමේ සහ ශුද්ධවූ ත්‍රිත්වයේ සුන්දරත්වයේ ප්‍රතිබිම්බයක් වන්නැයි පාවුළු තුමා එම කිතුනු ප්‍රජාව දිරිමත් කළා.  මෙසේ විය හැක්කේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව සහ සමාව අත්දැකීමෙන් පමණයි."

"ඊජිප්තුවේ වහල්බවේ සිට පොරොන්දු දේශය බලා ගිය නික්මයාමේ ගමනේ දී ජුදෙව් ජනතාවගේ අත්දැකීම වූයේ මෙයයි" යැයි එය පැහැදිලි කරමින් සුදොතුම් පියතුමා කීවේය. "ජුදෙව් ජනතාව ගිවිසුම කඩකළ විට, එය යළි අළුත්කිරීම සඳහා   වලාකුලක් සේ මෝසස් තුමා හමුවට ආ දෙවියන් වහන්සේ  තමා ගේ ම නමත් එහි වැදගත් කමත් ඔහුට හෙළිදරව් කළා. එනම්, 'ස්වාමීන් වහන්සේ, දයාබර සහ  කරුණාභරිත දෙවියන් වහන්සේ, පහසුවෙන් කෝප නොවන, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් පොහොසත් වූ සමිඳාණෝ' යන්නයි.  මෙම නමින් ප්‍රදර්ශනය කෙරෙන්නේ 'දෙවියන් වහන්සේ දුරස්ථ නොවන්නා වූ ද තමන් තුළ සංවෘත නොවන්නා වූ ද තැනැන්වහන්සේ ' බවයි. ඒ වෙනුවට උන්වහන්සේ තමන්වහන්සේවම සන්නිවේදනය කරන ජීවනයයි; උන්වහන්සේ විවෘතභාවයයි; උන්වහන්සේ මිනිසාගේ අවිශ්වාසවන්තකම මුදාලන ප්‍රේමයයි" යැයි දේව ස්වභාවයේ අබිරහස විස්තර කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේය.

 "පැරැණි ගිවිසුමේ දෙවියන්වහන්සේ ගේ නාමය හෙළිදරව් කිරීම නව ගිවිසුම තුළ තවදුරටත් සිදුවෙයි. එය සිදුවන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගේ වචන හා උන්වහන්සේ ගේ ගැලවීමේ මෙහෙවර තුළයි. භාවාර්තයෙන් ඒකීය වූ ත්‍රිත්වයික පුද්ගල  දෙවියන් වහන්සේ ගේ වත මඬල ජේසු සමිදුන්  අපට පෙන්වා තිබේ. සියල්ල මවන්නා වූද, ගලවන්නා වූද පරිශුද්ධත්වයට පත් කරන්නාවූද යැපුම් සම්බන්ධතාවක් තුළ වෙසෙන දෙවියන් වහන්සේ සමස්තයෙන්ම  ප්‍රේමය ය; ප්‍රේමය පමණක්මය; පිතා පුත්‍රයා සහ       ශුද්ධාත්මයානෝ ය."

අද ශුද්ධවූ සුවිශේෂයේ ජේසු සමිඳුන් නිකදේමුස් සමග සාකච්ඡා කරන්නේ මෙම පසුබිම තුළ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.  නිකදේමුස් ජුදා සමාජයේ වැදගත් පුද්ගලයකු වූවත් ඔහු දෙවියන් වහන්සේ සෙවීම නවතා නොතිබූ බව එතුමා පැහැදිලි කලේය. "එහෙත් දෙවියන් වහන්සේ තමන්ව සියමින් සිටි බව ජේසු සමිඳුන් සමග කතා කරද්දී නිකදේමුස්ට අවබෝධ විය. දෙවියන් වහන්සේ තමා සොයමින් සිටි බව, උන්වහන්සේ තමා එනතෙක් බලා සිටින බව සහ තමන්ට පෞද්ගලිකවම ප්‍රේම කරන බව ඔහු තේරුම් ගත්තේය. ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රකට ප්‍රේමනීය වචන අප හමුවන්නේ මෙතැනදීය. එනම්, 'දෙවියන් වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කලේද යත් උන්වහන්සේ සිය පුත්‍රයාණන් මෙලොවට ඒවා වදාළ සේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම කෙනෙකුම විනාශ නොවනු පිණිසත් සදාතන ජීවිතය ලබනු පිණිසත් ය' යන්නයි. මේ සදාතනික ජීවිතය යනු වෙන කවරක් හෝ නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපගේ විමුක්තිය උදෙසාකුරුසිය මත  සිය ජීවිතය පූජාකරමින් ඔප්පු කල, දෙවිපියාණන් වහන්සේ ගේ අපරිමිත වූත් මිලකළ නොහැකිවුත් ප්‍රේමයයි".

සුදොතුම් පියතුමා සිරිත් පරිදි  මෙම භාවනාව අවසන් කලේ මරිය මෑණියන්ට ඔප්පුකල යැදුමකිනි. "අපගේ පැවැත්මට අර්ථයක් දෙන ත්‍රිත්වයික ප්‍රේමය  ජීවත් කරමින් ඊට සාක්ෂි දරනු සඳහා ත්‍රිත්වයික සහභාගිකමට සම්පූර්ණයෙන්ම ඇතුළුවීමට මරිය මෑණියෝ අපට සහාය වෙත්වා" යි එතුමා ප්‍රාර්ථනා කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය