“රදගුරු තුමන් පිළිගන්න; නැතහොත් පූජකවරයේ කාර්යයන් අත්හිටුවනවා” සුදොතුම් පියතුමාගෙන් නයිජීරියා පූජකවරුන්ට අවසන් අවවාදයක්

"Accept the Bishop or face consequences" - Holy Father warns Nigerian Priests


(2017 ජුනි 13)
පාප් වහන්සේ විසින් පදවියට පත් කරන ලද රදගුරු තුමන් පිළිගෙන එතුමනට සිය කීකරුකම ප්‍රකාශ කරන්නැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නයිජීරියාවේ රදගුරු පදවියක පූජකවරුනට තදින් අවවාද කරයි. දින තිහක් තුළ තමන්ට මේ පොරොන්දුව නොදෙන පූජකවරුන් ගේ පූජකවර ක්‍රියාකාරකම්  තහනම් කරන බව ද එතුමා අවධාරණය කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ නයිජීරියා රදගුරු මණ්ඩලයේ රදගුරු හිමිවරුන් හා එරට අහිආරා පදවියේ නියෝජිත කණ්ඩායමක් සමග වතිකානයේ අපෝස්තලික මාලිගයේ දී පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව සිය තීරණය දැනුම් දෙමිනි.

මෙම සිද්ධියේ පසුබිම මෙසේය:

අහිආරා රදගුරු පදවිය නයිජීරියාවේ කතෝලික ජනගහනය වැඩිම රදගුරු පදවියයි. එහි නව රදගුරු තුමන් ලෙස 2012 දී සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් පත් කරන ලද්දේ වෙනත් පදවියක පියතුමකු වන පීටර් ඔක්පලෙකේ පියතුමා ය. ගෝත්‍රික වෙනස්කම් තවමත් තදින්ම පවතින නයිජීරියාවේ අහිආරා පදවියේ බහුතරය වාර්ගික ම්බයිසේ ගෝත්‍රයට අයත් ජනතාවයි. පීටර් ඔක්පලෙකේ පියතුමා එක් අතකින් වෙනත් පදවියකට අයත් කෙනෙකු වන අතර තවත් අතකින් බහුතර ගෝත්‍රයට ද අයත් නොවේ. කෙසේ නමුත්, එතුමා තම පදවියේ පියතුමෙකු නොවන්නේය යන පදනම මත එතුමන් සිය රදගුරු තුමන් ලෙස පිළිගැනීම එම පදවියේ පූජකවරුන් හා ගිහියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පදවියේ පූජකවරුන් කියා සිටියේ උගත්කම සහ  රදගුරු තුමකු වීමට අවශ්‍ය සියලු ‘සුදුසුකම්’ සහිත පූජකවරුන් ගණනාවක් ම සිය පදවියේ සිටින බැවින් ඔවුන් අතරින් කෙනෙකු රදගුරු තුමන් ලෙස පත්කළ යුතු බවයි. 670,000ක ජනගහනයෙන් යුත් අහිආරා පදවියේ සමස්ත ජනගහනයෙන් 77%ක් කතෝලිකයෝය. දේවකැඳවීම් අතින් ද පදවිය පොහොසත් ය. එහි මේ වන විට පදවි පූජකවරු 110 දෙනෙක් සේවය කරති. දේවකැඳවීම් බහුල වීම නිසා මෙම පදවිය වෙනත් රටවල ධර්මදුතික සේවා සඳහා ද පූජකවරුන් ලබා දෙයි. මෙවැනි ‘සුදුසුකම්’  නිසා තම පූජකවරයකුම රදගුරු තුමන් කරනු  ඇති බවට ඔව්හු විශ්වාස කළහ. එහෙත් බෙනඩික් පාප් වහන්සේ විසින් පත්කරන ලද්දේ වෙනත් පදවියක පියතුමෙකි.

මෙම පත්වීමට විරෝධය  පලකළ පදවියේ පූජකවරු නව රදගුරුතුමනට එම පදවිය භාර නොදෙන බව ශපථ කරමින් ආසන දෙව්මැදුර අවහිර කළහ. එම පූජකවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා, 2013 මැයි 21 වනදා  පීටර් ඔක්පලෙකේ පියතුමා ගේ රදගුරුවර අභිෂේකය හා පදවිප්‍රාප්තිය සිදුකරන ලද්දේ ඔවේරි අගරදගුරු පදවියේ දෙව්සත්හල් දෙව්මැදුරේ දීය. එහෙත් එතුමන් සිය රදගුරුතුමන් ලෙස පිළිගැනීම පුජකවරු දිගින් දිගටම ප්‍රතික්ෂේප කළහ. එතුමන් පදවියට ඇතුළුවීම ද වැලැක්වූහ.

තත්වය සමථයකට පත්කිරීමේ පියවරක් ලෙස අබුජා හි අගරදගුරු ජෝන් ඔනයියෙකාන් කාදිනල් හිමි අහිආරා පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තාවකාලිකව පත්කෙරින. අර්බුදය විසඳීමට ඊට ද හැකි වූයේ නැත.

එම පදවියේ නියෝජිත පිරිසක් සමග නයිජීරියා රදගුරු මණ්ඩලයේ හිමිවරුන් ජුනි 8 වැනිදා සිය ‘අද් ලිමිනා”’ නිල චාරිකාව සඳහා වතිකානයට පැමිණියේ මේ පසුබිම තුළ ය.  

“මෙම සිද්ධි මාලාවෙන් මම මහත් ශෝකයට පත්ව සිටිනවා” යි ඔවුන් සමග පැවැති  දීර්ඝ සාකච්ඡා මාලාවෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. “සිය රදගුරු තුමන් සිය  පදවියට පැමිණීම වලක්වන මේ සභාව හරියට වැන්දඹුවක් වගෙයි. මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු  කරන සෑම විටම මට මතක් වන්නේ සමිඳුන් වදාළ, ස්වාමියාගේ උරුමය පැහැරගන්නට තැත්කළ කුරිරු කුලීකරුවන් පිලිබඳ  උපමාවයි. (මතෙව් 21:33-44) සිය මනාලයා නොමැති අහිආරා පදවියට ඇයගේ සරුබව අහිමි වී ඇති අතර ඇයට ඵල දැරීමට නොහැකිය” යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

මේ තත්වය ඇති කරන පුද්ගලයන් ගැන එතුමා ඊලඟට කතා කළේය:
“පදවියේ බලය පැහැරගෙන ඔක්පලකේ රදගුරු තුමන්ට එරෙහිව ක්‍රියා කරන්නන්ට අවශ්‍යව ඇත්තේ සභාව විනාශ කිරීමටයි. මෙය තහනම් ක්‍රියාවක්. මේ නිසා සභාව දුක් විඳින බවත්, ඇය තුළ ජීවත් වන දේව ජනතාව දුක් විඳින බවත් මේ පිරිසට වැටහෙන්නේ නැහැ. විදේශ ගතව සිටින පූජකවරුන් විසින් පවා පාලනය කරනු ලබන පූජකවරුන් ගැන මට කනගාටු සිතෙනවා. මේ සිද්ධියේ දී අපට කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ ගෝත්‍රික ගැටළුවක් ගැන නොවේ; සමිඳුන් ගේ මිදි උයන පැහැර ගැනීම ගැනයි. මේ සම්බන්ධයෙන් පාප් වහන්සේට උදාසීනව, අක්‍රීයව සිටිය නොහැකියි”.

මෙම විස්තරය කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවසානයේ පදවිය හා එහි රදගුරු තුමන් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන පුජකවරුන් සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කළේය.

මේ අනුව, පදවියට අයත් සෑම පූජකතුමෙකුම, පදවිය තුළ හෝ විදේශගතව සිටින සෑම පූජකතුමකුම, මෙම සිදුවීම පිළිබඳව සමාව ඉල්ලන ලියුමක් තමන් වෙත එවිය යුතු බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය. “සෑම කෙනෙකුම  මෙය කල යුත්තේ මෙම පොදු වේදනාව අප සෑම කෙනෙකු විසින්ම බෙදාගත යුතු නිසයි” එතුමා සඳහන්  කළේය. තමන් “පාප් වහන්සේට සම්පූර්න කීකරුකම දක්වන බවත්, පාප් වහන්සේ විසින් එවනු ලබන හෝ පත් කරනු ලැබ සිටින රදගුරු  තුමන් පිළිගන්නා බවත්” සෑම පූජකවරයෙකුම එවන ලියුමේ පැහැදිලිව ප්‍රකාශ කල යුතුය. මෙම ලියුම් ජුනි මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 30ක්  ඇතුළත සුදොතුම් පියතුමා වෙත ලැබිය යුතුය. එසේ නොකරන පියතුමන්ලාගේ පූජකවර කාර්යයන් එම ක්‍රියාව නිසාම අත්හිටුවනු ලබන අතර දැනට දරන තනතුරු ද අහිමි වේ.

“මෙය ඉතා ආමාරු කාර්යයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එහෙත් පාප් වහන්සේ මෙවැනි තීරණයක් ගත යුත්තේ ඇයි?” ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රශ්න කළේය. “මන්ද, දේව ජනතාවට අවාදර්ශයක් දී   තිබෙනවා. අවාදර්ශයක්, අපකීර්තියක් ඇති කරන තැනැත්තන් එහි ආදීනව විඳිය යුතු බව ජේසු සමිඳුන් අපට සිහිපත් කරනවා” එතුමා විස්තර කළේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය