"කිතුනු-බොදුනු අපි අවිහිංසාවේ සහ සාමයේ නව ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට එක්ව ක්‍රියා කරමු"- ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ වෙසක් සුබපැතුම

"Let's join hands to promote a life style of non-violence and peace" - Holy Father's message for Vesak Festival 


(2016 මැයි 09)
සාමයේ සහ අවිහිංසාවේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් පැනනැගී ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. බොදු දහමත් කිතු දහමත් මෙම ගුණධර්ම අවධාරණය කරන බැවින් සාමය හා  අවිහිංසාව ප්‍රගුණ කිරීම සඳහා එක්ව ක්‍රියා කරමු යි එතුමා අරාධනා කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ඉල්ලීම කරන්නේ සිය වාර්ෂික වෙසක් සුබ පැතුම හා වෙසක් පණිවිඩය නිකුත් කරමිනි. "කිතුනුවන් හා බොදුනුවන්: අවිහිංසාවේ මාර්ගයේ එක්ව පා නැගීම" යන මැයින් යුත් මෙම වෙසක් පණිවිඩයට සුදොතුම් පියතුමන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් ජීන්-ලුයී ටෝරා කාදිනල් හිමිපාණන් සහ එහි ලේකම් අති උතුම් මිගෙල් ඇන්ජල් අයුසෝ ගුයික්සෝ රදගුරු හිමිපාණෝ ය.

අවිහිංසාව පිළිබඳව බුදු රජාණන් වහන්සේත් ක්‍රිස්තුන් වහන්සේත් වදාළ වැදගත් ඉගැන්වීම් සිහිපත් කරමින්එ,ම ඉගැන්වීම් එක්ව ක්‍රියාත්මක කල යුතු කාලය මෙය බව පවසන එම පණිවිඩය මෙසේය:

මේ උතුම් වෙසක් තෙමඟුල ඔබටත්, ඔබගේ පවුල්වලටත්, සමාජවලට හා ජාතියටත් සතුට හා සාමය ගෙන ඒවා!

සාමයේ සහ අවිහිංසාවේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳව මේ වසරේ වෙසක් සමයේ මෙනෙහි කිරීමට අපි කැමැත්තෙමු. නූතන ලෝකය තුළ ආගම වඩ  වඩාත් පෙරට පැමිණෙමින් තිබේ. ආගමික විශ්වාසිකයන්  බොහෝ දෙනෙක් සාමය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින නමුදු, ආගම සිය හිංසන, ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෛරය යුක්තිසහගත කිරීම වෙනුවෙන් අපහරණය කරන පිරිසක් ද වෙති. හිංසන ක්‍රියා  හා ප්‍රචණ්ඩ ක්‍රියා වලින් විපතට පත්වන්නන්ට මානසික-ශාරීරික සුවය හා සමගිසන්ධානය ලබා දෙන්නන් අපි දකිමු. එසේම 'අනෙකා'  පිලිබඳ මතකය සහමුලින්ම මකා දැමීමට දැරෙන උත්සාහයන් ද අපට පෙනෙන්නට තිබේ. එක අතකින්, ලෝකයේ ආගම් අතර සහයෝගීතාවක්  ගොඩනැගෙමින් තිබේ. එහෙත් අනෙක් අතින් ආගම දේශපාලනීකරණයක් ද සිදුවෙමින් ඇත. එක් අතකින්, දුප්පත්කම හා කුසගින්න පැතිර යමින් තිබේ. අනෙක් අතින් නින්දිත ආයුධ තරගය නොකඩවා සිදුවෙමින් තිබේ. මෙම තත්වය අපට අවධාරණය කරන්නේ අවිහිංසාවේ අවශ්‍යතාවයයි; සකල ආකාරයේ හිංසාවන්  හා ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාව යි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් බුදු රජාණන් වහන්සේත් අවිහිංසාවේ  හා සාමයේ   ප්‍රවර්ධකයෝ වූහ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "අවිහිංසාව: සාමයේ දේශපාලන ශෛලියක්" යන මැයින් නිකුත් කල සිය 2017 ලෝක සාම දින පණිවිඩයේ මෙසේ කියයි: "ජේසු සමිඳාණන්  ජීවත් වූයේ ද හිංසාව හා ප්‍රචණ්ඩත්වය සහිත කාලයකයි. එහෙත් ප්‍රචණ්ඩත්වය හා සාමය මුණගැසෙන සැබෑ සටන්බිම වන්නේ මිනිස් හදවත බව උන්වහන්සේ ඉගැන්වූ සේක. 'නපුරේ අදහස් පැණනගින්නේ අභ්‍යන්තරයෙනි; මිනිස් හදවතිනි' (මාර්ක් 7:21) යි උන්වහන්සේ කී සේක." සුදොතුම් පියතුමා එම පණිවිඩයේ ම මෙසේ ද කියයි: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අවිහිංසාවට මග සිය ජීවිතයෙන් ම සලකුණු කළ සේක. උන්වහන්සේ අවසානය දක්වා, එනම් කුරුසිය දක්වාම, එම මාර්ගයේ ගමන් කළ සේක. ඒ මගින් අපගේ සාමය බවට පත්වූ උන්වහන්සේ එදිරිවාදිකම් අවසන් කළ සේක......එබැවින්, වර්තමානයේ ජේසු සමිඳුන් ගේ සැබෑ අනුගාමිකයන් වීම යනු අවිහිංසාව පිලිබඳ උන්වහන්සේ ගේ ඉගැන්වීම ද ඇතුළුව උනවහන්සේ ගේ ජීවිතය වැළඳ ගැනීමයි.

ලබැඳි මිතුරනි, ඔබගේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේ ද ප්‍රකාශ කලේ අවිහිංසාවේ සහ සාමයේ පණිවිඩයකි. උන්වහන්සේ සියල්ලන්ට මෙසේ අනුශාසනා කල සේක: "වෛරය අවෛරයෙන් ජයගන්න; අයහපත යහපතින් ජයගන්න; ලෝබයා පරිත්‍යාගයෙන් ජයගන්න; බොරුකාරයා සත්‍යයෙන් ජය ගන්න." (ධම්මපද). උන්වහන්සේ මෙසේ ද ඉගැන්වූ සේක: ජයග්‍රහණය සතුරුකම ජනිත කරයි; "පරාජිතයා වේදනාවෙන් පෙලෙයි. එහෙත් සාමකාමී මනුෂ්‍යයෝ ජය සහ පරාජය බැහැර කරමින් සතුටින් ජීවත්වෙති." (ධම්මපදය). එබැවින් තමා ජයගැනීම සෙසු පුද්ගලයන් ජයගැනීමට වඩා ශ්‍රේෂ්ඨ බව තථාගතයන් වහන්සේ අනුදැනවදාළ සේක. "එක් තැනැත්තෙකු මිනිසුන් දහසක් අභිබවා දහස් වරක් ජය ගත්තද වඩා උතුම් ජයග්‍රාහකයා වන්නේ තමා ම ජයගන්නා තැනැත්තේ ය." (ධම්මපද)

අපගේ බොහෝ සමාජ මෙම උතුම් ඉගැන්වීම් නොතකා හිංසන සහ ගැටුම්වලින් සිදු වූ අතීත සහ වර්තමාන තුවාලවල බලපෑම් සමග  පොරබදමින් සිටියි. ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වය මෙන්ම, ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපගේ පොදු නිවාස වන පරිසරයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ද මෙම සංසිද්ධියට ඇතුලත් වෙයි. කනගාටුදායක ලෙස, ප්‍රචණ්ඩත්වය නිසා අනෙකුත් සමාජයීය අයහපත්කම් ජනිතවෙයි. එබැවින් "සමාජයේ සෑම මට්ටමකම වගකීම් දරන තැනැත්තන් ගෙන් අවිහිංසාව ජීවිත ශෛලිය කොටගත් ජීවිත තෝරාගැනීමක් වැඩි වැඩියෙන් අපේක්ෂා කෙරේ."

අපගේ ධර්මයන් දෙකෙහි ඇති අසමසම බව අප පිළිගන්නා අතර අපි ඒවාට කැපවී සිටිමු. ඒ අතරම, හිංසාව පැමිණෙන්නේ මිනිසාගේ හදවත තුළින් බවත්, පෞද්ගලික අයහපත ව්‍යුහාත්මක අයහපතට මග පාදන බවත් අපි දනිමු. එබැවින්, අපි සියලු දෙනාම පොදු ව්‍යවසායකට කැඳවනු ලැබ සිටිමු. එනම්, හිංසාවට හේතු අධ්‍යනය කරමු; ස්වකීය හදවත් තුළ ඇති නපුර, අයහපත ජයගැනීමට අප එකිනෙකා ගේ අනුගාමිකයනට උගන්වමු; ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වන්නන් හා ඒවාට ගොදුරුවන්නන් යන දෙපාර්ශ්වයම නපුරෙන් හා අයහපතින් ගලවා ගනිමු;  නපුර හා අයහපත හෙළිදරව් කරමින් හිංසා සහ ප්‍රචණ්ඩ  ක්‍රියා වලට පොළඹවනන්ට අභියෝග කරමු; සියලු ජනතාවටත් පරිසරයටත් ආදරය කරමින් සියල්ලන් හා පරිසරය සමග සාමයෙන් ජීවත් වන ආකාරයෙන් සියල්ලන් ගේ, විශේෂයෙන් ළමයින් ගේ  හදවත් හා මනස සකස් කරමු; යුක්තිය නොමැතිව සාමයක් නොමැති බවත්, එසේ ම සමාව දීම නොමැතිව සැබෑ යුක්තියක් නොමැති බවත් උගන්වමු; ගැටුම් වැලැක්වීම සඳහාත්, බිඳුණු සමාජ යළි ගොඩනැගීම සඳහාත් එක්ව වැඩ කරන ලෙස සියල්ලන්ටම ආරාධනා කරමු; වෛරී භාෂාවෙන් වලකින අතර එය පරාජය කිරීමට කටයුතු කරන ලෙසත්, පක්ෂපාතී සහ කුපිතකරන පුවත් වලින් වලකෙන ලෙසත් ජනමාධ්‍ය වලින් ඉල්ලා සිටිමු; ඉතිහාසය සහ ශුද්ධ ග්‍රන්ථ විකෘති කිරීම හා ඒවා වරදවා අර්ථ දැක්වීම වැලැක්වීම සඳහා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇතිකරමු; අවිහිංසාවේ මාර්ගයේ පා නගන අතර ලෝක සාමය සඳහා යාච්ඥා කරමු, ප්‍රාර්ථනා කරමු.

ප්‍රිය මිතුරනි, හිංසනය හා ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන සහ මානව පුද්ගලයාට ගරු කරන නව ජීවිත ශෛලියක් අපේ පවුල් තුළ සේ ම, අපගේ සමාජයීය, දේශපාලන,සිවිල් සහ ආගමික ආයතන තුළත්  ප්‍රවර්ධනය කිරීමට අපි ක්‍රියාශීලීව කැපවෙමු. දායක වෙමු.

මෙම ආධ්‍යාත්මික ගුණයෙන්  යුතුව ඔබට සාමයෙන් පිරි ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවායි අපි යලිත් ප්‍රාර්ථනා කරමු.









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය