"ස්වාමිවරුන් නොවන්න. ජනතාව මත බර නොපටවන්න. යහපත් එඬේරුන් වන්න"- සුදොතුම් පියතුමා නවක පූජකවරුනට දුන් උපදෙස්

"Don't be 'lords'; Don't be clerics of state, but shepherds of the people of God..." Pope instructs new Priests


(2017 මැයි 7)
"සේවය ලබන්නට නොව සේවය කරන්නට පැමිණි යහපත් එඬේරාණන් ගේ  ආදර්ශය ඔබේ ඇස් ඉදිරියේ තබා ගන්න...ජනතාවට දරා ගත නොහැකි බර ඔවුන් මත නොපටවන්න. එවැනි ආචාර්යවරුනට අවමන් කල ජේසු සමිඳුන් ඔවුන් හැඳින්වූයේ 'කෛරාටිකයන්' ලෙසය...නිරන්තරයෙන්  දයා කරුණාවෙන් පූර්ණව කටයුතු කරන්න ...."

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ නවක පූජකවරුන් කණ්ඩායමකට දුන් අවවාද සමහරකි මේ.

යහපත් එඬේරාගේ මංගල්‍ය දිනය සහ දේව කැඳවීම් වෙනුවෙන් (පූජක, පැවිදි) යාච්ඥා කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ද සභාව විසින් නම් කර ඇති අද  (ඉරිදා) දිනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී තේවාචාරීන් දස නමකට පූජාත්වර ප්‍රසාද නිධානය දානය කළේය.  රෝම පදවියේ දෙව්සත්හල් කිහිපයක පූජක හැඩගැස්ම ලැබූ මෙම නවක පූජකවරු 10 නම, ඉතාලිය, පීරු , මැක්සිකෝව, සහ අසර්බයිජානය යන රටවලට අයත් තේවාචාරීහු වෙති.

මෙහිදී සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය සඳහා රෝමානු පොන්ටිෆිකල් ජනවන්දනා පිළිවෙත් පොතේ එන දේශනය පාදක කර ගත්තද නිතර එයින් ඉවත්වෙමින් සිය අනුශාසනා ඊට එක්කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ ද නවක පූජක පුතුන් සභාවට එක්වන සමයයි. එබැවින් මේ අනුශාසනා ඔවුනට ද අනුබලයක් වනු ඇත.

සේවය ලැබීමට  නොව සේවය කිරීමට  
"දෙවියන් වහන්සේ ගේ කටයුතු සඳහා ජනතාව අතරින් තෝරාගෙන ඔවුනට  ආධාර වීම පිණිස ඔබ හැඩගස්වන ලද බව මතකයේ තබා ගනිමින්, ක්‍රිස්තුන් වහන්සේ ගේ පූජක කාර්යය ප්‍රීතියෙන් ද අවංක දයාවෙන් ද ඉටු කරන්න. නිතර ප්‍රීතියෙන් සිටින්න. කිසිදා දුකට පත් නොවන්න. දුක් වේදනා, ව්‍යාකුල බව හෝ තේරුම් ගත නොහැකිවීම වැනි තත්වයන් ද නොතකා ප්‍රීතියෙන් සිටින්නැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නවක පූජකවරුනට කීවේය.

"නව ගිවිසුමේ එකම මහා  පූජකවරයා වන්නේ ජේසු සමිඳාණෝ යි. මේ නිසා සිය ශ්‍රාවකයන් අතරින් කිහිප දෙනෙකු තෝරාගැනීමට උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් සියලු ජනතාව ගේ ප්‍රසාදය පිණිස  තමා වෙනුවෙන් සභාව තුළ ප්‍රසිද්ධියේ පූජක මෙහෙවර ඉටු කරනු පිණිස ය. ඔවුන් පූජක, ගුරුවර  සහ එඬේර යන ස්වකීය තෙවදෑරුම් මෙහෙවර නොකඩවා කරගෙන යාම උන්වහන්සේ ගේ අපේක්ෂාව විය....මේ නිසා ජේසු සමිඳුන්  මේ මිනිසුන් තෝරාගන්නේ මෙය  රැකියාවක් කර ගැනීමට නොවේ.  උන්වහන්සේ ගේ සේවය ඉටු කිරීමටයි.."යි එතුමා පෙන්වා දුන්නේ ය.  

"පූජකවරයකු කැඳවීම ලබා සිටින්නේ සියල්ලටම වඩා දේව ජනතාවට සේවය කිරීමට ය. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැඩගැස්වනු ලබන්නේත් සිය රදගුරු තුමන් සමග සම්බන්ධ කරන්නෙත් මෙම සේවාව ය...... "

 "සේවය ලැබීමට නොව සේවය කිරීමට පැමිණි යහපත් එඬේරාණන් ගේ  ආදර්ශය ඔබේ ඇස් ඉදිරියේ තබා ගන්න. ..කරුණාකර හාම්පුතුන්, ස්වාමිවරුන් නොවන්න. මහේශාක්‍ය පූජකයන් නොවන්න. එඬේරුන් පමණක් වන්න. දේවජනතාව ගේ එඬේරුන් වන්න." යි එතුමා අවධාරණය කළේය.

ජේසු: ජීවිතයේ සුවඳ 
"ධර්මය සරල බසින් පහදා දෙමින් ජනතාව පොහෝණි කරන්නැ"යි සුදොතුම් පියතුමා පූජක වරුන්ට උපදෙස් දුන්නේ ය. "ජේසු සමිඳුන් ජනතාවට කතා කලේ ද සරල බසිනි. එම ඉගැන්වීම් ජනතාව ගේ හදවත් තුලට කිඳා බැස්සේය. බොහෝ දාර්ශනික, දීර්ඝ, පැණසර දේශනා නොදෙන්න. සරලව හදවතට කතා කරන්න. එවැනි අනුශාසනා දේව ජනතාවට පෝෂණයක් ද ප්‍රීතියක් ද වනු ඇත."

"ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ජීවිතයේ සුවඳ විය යුතු ය" යි සුදොතුම් පියතුමා කීවේය. "ජීවිත ආදර්ශයෙන් තොර වචනයෙන් පලක් නොවේ. ආපසු හැරීම වඩා හොඳය. මන්ද, ජීවිත දෙකක් ගත කිරීම සභාව තුළ ඇති නරක රෝගයකි."

"දේව ධර්ම ශාස්ත්‍රය බොහෝ ගැඹුරට හදාරා, උපාධි 1,2,3,හෝ 4ක් ලබා සිටියත් ක්‍රිස්තුන් වහන්සේ  ගේ කුරුසිය රැගෙන යාමට ඉගෙනගෙන නොමැති කෙනෙකුගෙන් ප්‍රයෝජනයක් නොවේ. එවැන්නකු විශිෂ්ට වියතකු හෝ මහාචාර්යවරයකු විය හැකි නමුත් පූජක වරයකු නොවේ." යි එතුමා කියා සිටියේය.

බර පැටවීම 
දයා කරුණාවේ වැදගත් කම ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "ක්‍රිස්තුන් වහන්සේ ගේත් සභාවේත් නාමයෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. නිරන්තරයෙන් දයා කරුණාවෙන් පූර්ණව සිටින්න."

"ජනතාවට ඔසවාගත නොහැකි බර, ඔබටත් ඔසවා ගත නොහැකි බර, ජනතාවගේ ගේ කර මත නොපටවන්න. ජේසු සමිඳුන් එවැනි ආචාරීනට අවමන් කලේ 'කුහකයන්/කෛරාටිකයන්' ලෙස ඔවුන් හඳුන්වමිනි" යි සුදොතුම් පියතුමා කීවේය.

වයස් ගත වූවන් සඳහා සේවාව 
ශ්‍රී ලංකාවේ බොහෝ මීසම් සේවක පියවරුන් විසින් අත්හැර දමා හෝ නොසලකා හැර ඇති සේවාවක් වන වයස්ගත වූවන් සහ රෝගීන් සඳහා සේවාව ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නවක පූජක වරුනට  අනුශාසනා කළේය.

"රෝගීන් සහ වයස්ගත වූවන් සමග කාලය ගත කරන්න. රෝගීන් සහ වයස්ගත වූවන් බලන්නට යාම ඔබට අයත් කාර්යයන් අතරින් බොහෝ නීරස වේදනාකාරී දෙයක් ලෙස ඔබට දැනෙන්නට පුළුවන. මේ නිසා ඒ වෙනුවට ඔවුන්ට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන යාම සඳහා  තේවාචාරීන්, පැවිදි සොහොයුරියන් හෝ ගිහි සාමාජිකයන් යොදා ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු වනු ඇත. එහි වැරද්දක් නැත. එහෙත් මෙම සේවාව ඔබම කළ යුතු ය. මන්ද, එසේ නොවන්නේ නම්, රෝගීන් හා වයස්ගත වූවන් තුළ වෙසෙන ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක් පීඩා විඳින මාංශය ස්පර්ශ කිරීමට ඔබට හැකිවන්නේ නැත. මෙය ඔබ ශුද්ධවන්ත කරයි. මේ මගින් ඔබ ක්‍රිස්තුන් වහන්සේට තවත් සමීප කරයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය