ට්‍රම්ප් වතිකානයට - ජනාධිපති ලෙස පළමු නිල විදේශ රාජ්‍ය චාරිකාව

President Trump to meet Pope Francis at the Vatican on May 24


(2017 මැයි 5)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස 24 වැනිදා වතිකානයේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසෙයි.

මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් සිදුකරන ප්‍රථම නිල රාජ්‍ය සංචාරයයි. මෙම සංචාරයේදී ඊශ්‍රායෙලයට සහ සෞදි අරාබියට යන ඔහු ඊළඟට වතිකානයට පැමිණ පාප් වහන්සේ හමුවීමට නියමිතයි. පාප් වහන්සේ හමුවීමෙන් පසු බ්‍රසල්ස් නුවරට යන ඔහු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) නායකයන් හමුවෙයි. ඔහු සිය ප්‍රථම විදේශ සංචාරය නිම කරන්නේ මැයි 26 වැනිදා ආපසු ඉතාලියට පැමිණ G7 කණ්ඩායමේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවයි.

සුදොතුම් පියතුමන් හා ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුව යොදා ඇත්තේ මැයි 24 වැනිදා උදාසන 8.30 ටයි. මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් රාජ්‍ය නායකයන් හමුවන සාමාන්‍ය වෙලාව නොවේ. එතුමා රාජ්‍ය නායකයන් හමුවීම සාමාන්‍යයෙන් සිදුකරන්නේ පෙරවරු 10න් පසුවයි. පාප් තුමන් හමුවීමෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් වතිකාන රාජ්‍ය ලේකම් (අගමැති) පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණන් ද මුණගැසීමට නියමිතයි.

ඇමෙරිකානු ජනාධිපතිවරුන් පාප් වහන්සේ මුණගැසීම සම්ප්‍රදායයක් වී තිබුන ද ධවල මන්දිරය ඉකුත් අප්‍රේල් මැද  භාගයේ පවසා තිබුනේ ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීමට ජනාධිපති ට්‍රම්ප් උනන්දුවක් නොදක්වන බවයි. කෙසේ නමුත්, සිය ඊශ්‍රායෙල් හා සෞදි ආරාබි චාරිකාවත් සමග ඔහු වතිකානය යොදා ගත්තේ  "වෙනත් ආගම් හා මත නොඉවසීමට එරෙහි අරගලය සඳහා විවිධ ආගමික කණ්ඩායම් එක් කරගැනීමේ අරමුණින්" (fight against intolerance) බව ධවල මන්දිරය දැන් පවසයි.

 වෙනස් මත දරන දෙදෙනෙක්
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා ලොව බොහෝ ආර්ථික, සමාජයීය, දේශපාලන හා ආගමික කරුණු රැසක් සම්බන්ධයෙන්  එකිනෙකට වෙනස් මත දරන නායකයන් දෙදෙනෙකි.

ඇමෙරිකා-මැක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට පාප් වහන්සේ විරුද්ධය. "යම් පුද්ගලකු සිතන්නේ කොහේ හෝ තාප්ප ඉදිකිරීම ගැන පමණක් නම් ඔහු කිතුණුවෙක් නොවේ. කිතුණුවකු නම් තාප්ප බිඳ දමා පාලම් ඉදි කල යුතුයි" යයි ට්‍රම්ප් ගේ ක්‍රිස්තියානි කම ගැන ප්‍රශ්න කරමින් එතුමා පවසා  තිබිණ. ඊට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුනේ "පාප් තුමා දේශපාලන පුද්ගලයෙක්" යනුවෙනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පරිසර විපර්යාස පිලිබඳ විද්‍යාත්මක මතය පිළිගන්නා කෙනෙකි. මේ නිසා පරිසර සංරක්ෂණයේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරමින් එතුමා "වේ ප්‍රශංසා" නමින් විශ්ව ලේඛනයක් ඉකුත් වසරේ නිකුත් කළේය. මෙය මිහිතලය සුරැකීමේ  පැරිස් ප්‍රඥප්තිය අත්සන් කිරීමට බටහිර නායකයන් පෙළඹවීමෙහි ලා මහත් බලපෑමක් සිදුකළේය. ඊට පරස්පරව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම විද්‍යාත්මක මතය ප්‍රතික්ෂේප කරයි. මේ හේතුවෙන් ඇමෙරිකා පරිසර සංරක්ෂණ අධිකාරයේ ප්‍රධානියා ලෙස ඔහු විසින් පත්කරන ලද්ද්දේ  ගෝලීය උණුසුම් වීම පිලිබඳ විද්‍යාත්මක මතය ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකි. පරිසර සංරක්ෂණය තහවුරු කිරීම සඳහා බරක් ඔබාමා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ජනාධිපති ආඥා සියල්ලම  ප්‍රථම මාස තුන තුලදීම ඔහු අහෝසි කළේය.

කවර ආගමක හෝ ජාතියක හෝ වේවා සරණාගතයන් පිළිගත යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. සිරියාව හා වෙනත් රටවලින් පලා එන සරණාගතයන් පිළිගන්නැයි සියලු කතෝලික රටවල නායකයන් ගෙන් එතුමා ඉල්ලා සිටියේය. එපමණක් නොව ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනට ගිය එතුමා, ආපසු එන විට, මුස්ලිම් සරණාගත පවුල් කිහිපයක් සිය ගුවන් යානයෙන් ම ඉතාලියට රැගෙන ආවේය. ඊට පරස්පරව සරණාගතයන් පමණක් නොව මුස්ලිම් යැයි කියන රටවලින් ජනතාව ඇමෙරිකාවට පැමිණීමට එරෙහිව ට්‍රම්ප් ජනාධිපති ආඥාවක් නිකුත් කර තිබේ. (එය එරට නීතිය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.)

පාප් වහන්සේ සහ ට්‍රම්ප් අතර සාකච්චා වූ කරුණු සම්බන්ධයෙන් වතිකාන පාර්ශවයෙන් කිසිවක් දැනගැනීමට හැකි නොවනු ඇත. මන්ද වතිකානය ඒ සම්බන්ධයෙන් නිකුත් කරන්නේ ඉතා කෙටි රාජ්‍යතාන්ත්‍රික නිවේදනයක් නිසාය. එහෙත් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති නොසලකන්නෙකු හා කටට එන්නක් ප්‍රකාශ කරන්නෙකු බැවින් ඔහු ඒ පිළිබඳව හෙළිදරව් කරනු ඇතැයි  අපේක්ෂා කල හැකිය. (ඇතැම් විට තමන් හා පාප් වහන්සේ අතර පැවැති සාකච්ඡා ගැන අමූලික බොරු පවා ට්‍රම්ප් මෙම හමුවෙන් පසුව පැවසිය හැකිය. මන්ද මේ වනවිටත් ඔහු වෙනත් රටවල නායකයන් හා සිද්ධි අලලා  අසත්‍ය  ප්‍රකාශ කර ඇති බැවිනි. පසුව හෝ ඔහු ඒවා ගැන සමාව ඉල්ලීමක් නොකරයි. මන්ද බොරුව ඔහුගේ පරිපාලනයේ මුල්ගල වී ඇති බැවිනි.)




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය