"ශුද්ධාත්මයාණන් ගේ භාෂාව ඉගෙණගන්න": සාන්තා මාර්තා දිව්‍ය පූජාවේ භාවනාව

"Learn the language of the Holy Spirit"- Pope Francis


(2017 මැයි 30)
ශුද්ධාත්මයාණන් වහන්සේට නිරන්තරයෙන් විවෘත වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. වැදගත් තීරණ ගැනීමට පෙර උන්වහන්සේට තම හදවත විවෘත කර උන්වහන්සේ ගේ ආලෝකය හා මගපෙන්වීම පතන්නැයි එතුමා පෙන්වා දෙයි.

මැයි 29 සඳුදා සාන්තා මාර්තා තානායම් දෙව්මැදුරේ පැවැති උදාසන දිව්‍ය පූජාවේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය.

එදින පළමු දේව ප්‍රකාශනයට පාදක වූ අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ කොටස එතුමන් ගේ භාවනාවට පාදක වී තිබිණි. ශු. පාවුළු අපෝස්තුළු තුමන් එපීසයේ සභාවට ශුද්ධාත්මයාණන් දානය කිරීම මෙම කියවීමට ඇතුලත් වී තිබුණේය.

මෙම අවස්ථාව "එපීසයේ පෙන්තකොස්තය" ලෙස හැඳින්විය හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. එපීසයේ ජනතාව ඇදැහිල්ල ලබා සිටිය ද ශුද්ධාත්මයාණන් වැඩසිටි බවක් හෝ ඔවුන් නොදැන සිටි බව එතුමා පැහැදිලි කළේය.

"ඔවුන් යහපත් ජනතාවක්ව සිටියා; විශ්වාසයේ ජනතාවක්ව සිටියා. එහෙත් පියාණන් වහන්සේ ගේ මෙම තිළිණය ගැන ඔවුන් දා සිටියේ නැහැ. පාවුළුතුමා ඔවුන් මත අත් තැබූ විට ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී අන්‍ය භාෂා වලින් කතා කිරීමට පටන් ගත්තා," යයි එම අවස්තාව එතුමා විස්තර කළේය.

"ශුද්ධාත්මයාණන් අපගේ හදවත් සසල කරනවා. සුබ අස්නේ හමුවන නිකදේමුස්, දෙළොස් වසරක් ලේමාලයෙන් පෙළෙමින් සිටි කාන්තාව, සමරිතාන ලඳ, සකේවුස් වැනි චරිත තුළ කළා සේ ශුද්ධාත්මයාණන් අපගේ හදවත සොලවනවා. වෙනස් කරනවා. ...එසේ නම් අප අපෙන් විමසමු: මගේ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේට ලැබෙන්නේ කවර ස්ථානය ද?" යි එතුමා විමසුවේය.

"ශුද්ධාත්මයාණන් ගේ හඬ මට ඇසෙනවාද? තීරණයක් ගැනීමට හෝ යම් වැදගත් කටයුත්තක් කිරීමට පෙර උන්වහන්සේ ගේ අනුප්‍රාණය ඉල්ලා සිටීමට මට හැකිද? නැතහොත්  චිත්තවේගයන් හෝ භාවයන් හෝ ආරවුලකින්  හෝ තොරව  මාගේ හදවත නිහඬ වී තිබෙනවාද?"

සමහර හදවත් පිලිබඳ ඊසීජී පරීක්ෂාවක් කළහොත් එහි ප්‍රතිඵලය වන්නේ සමතල රේඛාවක් බව සුදොතුම් පියතුමා කීවේය.එතුමා පෙන්වා දුන්නේ  ඊට හේතුව "එම හදවත් චිත්තවේගවලින් තොර වීම" බවයි. "මෙබඳු ගල්වුණු හදවත් සුබ අස්නේ ද අපට හමුවේ. නීතිය පිලිබඳ ආචාර්යවරුන් ඊට නිදසුනකි. ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා. ඔවුන් සියලු පනත් හා ආඥා දැන  සිටියා. එහෙත් ඔවුන් ගේ හදවත් ගල්ගැසී තිබුනා. මන්ද, ඔවුන් ගේ හදවත් වැසී තිබුණා. ශුද්ධාත්මයාණන්ට ඔවුන් සොලවන්නට නොහැකිව තිබුණා; ඔවුන් කළඹන්නට හෝ කලතන්නට නොහැකිව තිබුණා,"  එතුමා කීවේය.

"දේව වචනය පැහැදිලි ලෙස වටහා ගන්නට, යමක් පැහැදිලි ලෙස දකින්නට අවශ්‍ය වරම් දෙන්නැයි  ශුද්ධාත්මයාණන් වහන්සේ ගෙන් ඉල්ලන්න. ඔබ කළඹන්නට, කලතන්නට උන්වහන්සේට ඉඩ දෙන්න. ...උන්වහන්සේ තේරුම් ගැනීමේ සහ පැහැදිලි ලෙස දැකීමේ ස්වාමියාණෝ යි. උන්වහන්සේගෙන් ලැබෙන කැළඹීම, කැලතීම සිතේ නැති තැනැත්තාට සිදුවන දේ  පැහැදිලි ලෙස දැකිය නොහැකියි; තේරුම් ගත නොහැකියි. එවැන්නකු සතුව ඇත්තේ සීතල ඇදහිල්ලක්, න්‍යායාත්මක ඇදහිල්ලක් පමණයි" යැයි සුදොතුම් පියතුමා කීවේය.

ජේසු සමිඳුන් සමග අමනාපයෙන් සිටි නීතිවේදීන් ගේ 'ඝට්ටනය' පැනනැංගේ ඔවුන් ගේ හදවත් ශුද්ධාත්මයාණන් වෙත වැසී තිබුණු බැවින් යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ හඬට සවන් දෙන්නැයි  ශු. ජුවාම් තුමා  හෙළිදරව්ව පොතේ එන 'සභා සතෙන්' - එනම් එකළ පැවැති රදගුරු පදවි හතෙන්- ඉල්ලා සිටිනවා. මේ නිසා, ශුද්ධාත්මයාණන් වහන්සේ අද අපගේ සභාවට, අපගේ සමාජයට, අපගේ මීසමට, අපගේ පවුලට කියන්නේ කුමක්දැයි සවන් දීමට අවශ්‍ය වරප්‍රසාද දානය කරන්නැයි අපි ඉල්ලමු. එසේම එය තේරුම් ගැනීම සඳහා උන්වහන්සේගේ භාෂාව ඉගෙනගැනීමට අවශ්‍ය වරප්‍රසාද දානය කරන ලෙස ද අපි ඉල්ලමු" යි එතුමා වැඩිදුරටත් කියා සිටියේය.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය